හොඳ දරුවකු හදන්නේ මෙහෙමයි
පුංචි කාලේ හොඳට හිටිය දරුවා හිටි ගමන් මුරණ්ඩු වෙනවා. හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා. අද බොහෝ මව්පියන්ට මේ තත්ත්වය මානසික ගැටළුවක් බවට පත් වෙලා. අපි මෙතැනදී විමසිය යුතු දෙයක් තිබෙනවා. දරුවන් මේ විදිහට වෙනස් වෙන්නේ ඇයි…?
දරුවෙකු කුස පිළිසිඳ ගත් නිමිත්ත දැනගත් අවස්ථාවේ පටන් මව්පියන් ඉතාම දැහැමිව ජීවත් වෙනවා. ආගම ධර්මයට ලැදියි. සෙත් පිරිත්, බෝධි පූජාවන් පවත්වමින් දරුවා වෙනුවෙන් ආශිර්වාද ලබා ගන්නවා. නමුත් දරුවා බිහි වීමෙන් පසුව මව්පියන්ගේ මේ ධාර්මික පැවැත්ම ක්‍රමයෙන් හීන වෙනවා.
දරුවා ලැබුණ පසු මව්පියන් අවිවේකයි. එතැන් පටන් ඔවුන්ගේ මනස යොමු වෙන්නේ දරුවා පෝෂණය කිරීමටයි. ඒ නිසා දරුවාට හොඳින් කිරි පෙවීම සහ නිදි කරවීම අනිවාර්ය බැව් සිතුවත් දරුවාගේ භාවමය සිතුවිළි අවදිවීමට නම් දරුවා නිදා ගත යුත්තේ අපට අවශ්‍ය වෙලාවට නොව, දරුවාට අවශ්‍ය වෙලාවට බව අමතක කරන්න එපා.
ඒ නිසා මව්පියන් විදිහට ඔබ අවිවේකි බව ඇත්ත. මව්පියන් හිතන්නේ දරුවා වැඩි වේලාවක් නිදා ගත්තොත් අපට වැඩ කරගන්න පුළුවන්. නමුත් බලහත්කාරයෙන් දරුවා නිදි කරවීම නිසා දරුවාට පරිසරය සමග සම්බන්ධ වීමට ඉඩක් නැහැ. ඒ නිසා වයසත් සමග දරුවා විරෝධාකල්ප ගොඩනගා ගන්නවා. මව, පියා, සහෝදරයන් සමග ගැටෙනවා.
අඬල දිනන්න පටන් ගන්නවා.
පරීක්ෂණ දත්ත තොරතුරු අනුව අඬල දිනන දරුවන් අතිශය දරුණු වෙනවා. දරුවා අඬන්නේ ඇයි…? සමහර විට ගෙදර බත් උයල තියෙද්දී චූන් පාන් ඉල්ලලා අඬන්න පුළුවන්. අම්මා දරුවාගේ ඉල්ලීම ප්රතික්ෂෙප කළාම බිම පෙරලී අඬාවි. නමුත් අත්තම්මා දරුවාගේ පැත්ත අරගෙන අදට අරගෙන දෙන්න කියාවි. දරුවාට චූන් පාන් ලැබෙනවා. තමාගේ බලය පාවිච්චි කරමින් දරුවා ඉල්ලීම ජය ගන්නවා. මේ දරුවා අනාගතයේදීත් තමන්ට අවශ්‍ය දෙය අනිවාර්යෙන්ම ලැබිය යුතු යැයි සිතනවා.
නමුත් අපට පාලනය කර ගත නොහැකි විදිහට අඬනවා නම්…
හය හතර නොතේරෙන දරුවන්ට දත්ත කියලා දුන්නාට බැහැ. ඔවුන්ට අවවාද සහ උපදෙස් ප්‍රයෝජනයක් නැහැ. නමුත් දරුවා ඉල්ලන හැම දෙයම දෙන්න එපා. නමුත් ඉඳහිට දරුවා ඉල්ලන දෙයක් අරගෙන දෙන්න ඕන. එතකොට දරුවා දන්නවා මට අවශ්‍ය හැම දෙයක්ම හැම විටම නොලැබුණත්, යම් වෙලාවක මට අවශ්‍ය දෙය ලැබෙන බව තේරුම් ගන්නවා. ඒ නිසා දරුවාට අඬල ජය ගන්න බැරි බව කියා දෙන්න.
මුල් ළමා විය සංවර්ධනය…
අද මව්පියන් දරුවාගේ මුල් ළමා විය සංවර්ධනය බලාපොරොත්තු වෙන්නේ පෙර පාසලෙන්. එහෙම නැත්නම් පාසලෙන්. එහෙත්…මව්පියන් විදිහට දරුවාගේ මුල් ළමා විය සංවර්ධනය ඇත්තටම සිදු විය යුත්තේ තමන්ගේ නිවසෙන් බව සිතන්න.කුඩා කාලයේ දරුවා ලබන අත්දැකීම් අනාගත පෞරෂයට බලපානවා.
ඒ නිසා නිවස තුළ දරුවා මුහුණ දෙන පරිසරය වැදගත්. අද මව්පියන් දරුවන් වෙනුවෙන් මුදල් හොයනවා. මේ සේරම දරුවන් වෙනුවෙන්…. යැයි ඔවුන් කියනවා. නමුත් ඔබ දරුවාට නිවස තුළ හිතකර පරිසරයක් සූදානම් නොකළ විට අද උපයන මුදල හෙට දවසේ ඔවුන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමටත් ප්‍රමාණවත් නැහැ.
වාචසික අපයෝජනය එපා…
බොහෝ මව්පියන් දරුවන්ට ආදරයෙන් ආමන්ත්රනය කරන්නේ නැහැ. සත්තු වත්තේම සතුන්ගේ නම් කියමින් ආමන්ත්රනය කරනවා. මේ ආමන්ත්‍රනයත් එක්තරා සීමාවක් වෙනුවෙන් පමණයි.
මොනවද මේ සීමාවන්…
විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන දුර්වලතාවයන් දකින විට ගොනා, හරකා, බූරුවා වැනි වචනවලින් ආමන්ත්රනය කරනවා. මේ වචන දරුවාගේ යටි හිතේ තැන්පත් වෙනවා. ඔයින් ඔබට ඇති වෙන්නේ ලොකු හානියක්. වරදක් දුටු විට ආදරයෙන් කියා දෙන්න. අතීතයේ අම්මලා දරුවන්ට බොහොම ආදරණීය විදිහට ආමන්ත්‍රණය කළා. මයේ දුව… මයේ පුතා… මේ වගේ ආදරණීය වචනවලින් දරුවන්ට ආමන්ත්‍රණය කළ බැව් අපේ වැඩිහිටි පරම්පරාවට අදටත් මතක ඇති.
ගහන්න අවශ්‍ය නැහැ…
හැඳි නොගා හදන හොද්දයි ගුටි නොගහා හදන දරුවයි සමාජයට වැඩක් නැහැ යැයි කියන කියමනක් අතීතයේ පටන් පැවැතුණා. ඒ අතරම තවත් පිරිසක් මෙහෙම කියනවා.අපේ අම්මලා… තාත්තලා… අපට ගහල හැදුව නිසා අද මේ තැනක ඉන්නවා… නමුත් මේ තැනක ඉන්නවා යැයි ඔවුන් වෛද්‍යවරයෙක්… නීතිඥයෙක් හෝ ඉංජිනේරුවෙක් විය හැකියි. අධ්‍යාපන සුදුසුකම් සපුරා ඉහළ තනතුරක වැජඹෙනවා ඇති.
නමුත් ඔවුන් අපේක්ෂා කරන මේ “ හොඳ ” අර්ථ දක්වන්නේ කොහොමද…? සැබැවින්ම හොඳට හැදෙනවා යන්නෙන් අර්ථවත් වෙන්නේ ඉහළ තනතුරකට යෑම නොව, එම තනතුරේ ගෞරවයට අනුව සේවය කිරීමයි. ඉහළ තනතුරක වැජඹෙමින් සූක්ෂම විදිහට හොරකම් කරනවා නම්… ආයතනයේ කීර්තියට පවා අවැඩක් වෙන අන්දමින් හැසිරෙනවා නම් ඒ පුද්ගලයා “ හොඳ ” යැයි අපට කිව හැකිද…?
දෙමව්පියන්ගේ ආවේග දරුවන් මත යැවීම…
පවුලක් වුණාම විවිධ හැලහැප්පීම් ඇති වෙනවා. ඒවා සාධාරණයි. නමුත් මේ විවිධ ප්‍රශ්න නිසා ඇති වෙන පීඩනය දරුවන් පිටින් යැවීම සුදුසු නැහැ. සැමියා නිසා බිරිඳට ඇති පීඩනය දරුවා මතින් යවනවා. නමුත් කිසිදු විටෙක එසේ කළ යුතු නැහැ. දරුවා ඔබේ වුණත් ඔවුන්ගේ අනාගත පෞරෂයට හානි කිරීමට ඔබට කිසිදු අවසරයක් නැහැ.
දරුවන් හදන්නේ කොහොමද…?
දරුවන් කායිකව පෝෂණය කිරීමේ වගකීම සහ කැපවීම මව්පියන් පරම යුතුකම ලෙසින් සලකනවා. නමුත් දරුවාගේ මානසික සංවර්ධනය ගැන මව්පියන්ට දැනුවත් බවක් අත්‍යවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සායන මගින් දැන් මව්පියන් දැනුවත් කිරීමක් සිදු වුණත් ඒවාට සහභාගී වෙන්නේ ගර්භණී මාතාව පමණයි.
ඒ නිසා ඇය දැනුවත් වුණත් සැමියා මේ දැනුවත් වීම ලබන්නේ නැහැ. ඔය මනෝවිද්‍යාවට වැඩ කරන්න මම සූදානම් නැහැ. සමහර විට සැමියාගේ ස්ථාවරය එය විය හැකියි. එවිට අම්මා තවත් පීඩනයට පත් වෙනවා. ඒ නිසාම ඇය තුළත් දරුවන්ගේ මානසික හැසිරීම ගැන දක්වන උනන්දුව නැති වෙනවා. ඒ නිසා දරුවන්ගේ පෞරෂය ගොඩ නගා ගැනීමට නම් සමස්ථ සමාජය තුළම “ දෙමව්පියකරණය ” පිළිබඳව ලබන දැනුවත්වීම ඉතාම වැදගත්.
ශ්‍රි ධර්මෝදය පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත, මනෝවිද්‍යා උපදේශක
පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින්වහන්සේ
වැල්ලවත්ත
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️