ඉශාර දුලිප් රත්නායක අවුරුදු තිහක තරුණයෙක්. ඔහු ඉන්නේ බුත්තල. ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවිද්‍යා උපාදිධාරියෙක් වුණත් ඔහු අලුත් මානයන් සොයාගෙන යන්න කැමති කෙනෙක්. ඒ නිසාම ව්‍යාපාර ක්ෂේත්රයට පිවිසිලා ලංකාවට ඩොලර් ගෙන තරුණයෙක් තමයි ඉශාර කියන්නේ.
ඉශාරට කොහොමද මේ වගේ අයිඩියා එකක් ආවේ?
කොරෝනා කාලේ තමයි මට මේ එක්ස්පෝර්ට් අයිඩියා එක ආවේ. අපේ ගමේ ගොඩක් ගොවියො ඉන්නවා. පොඩි කාලේ ඉදන් දැක්ක දෙයක් තමයි මහන්සියෙන් දාඩිය වගුරගෙන ගොවිතැන් කළත් ගොවියන්ට සාධාරණ මුදලක් ලැබුණේ නැති බව.
අස්වැන්න අඩු මුදලට තමයි විකුණුවේ. ඒ නිසා ගොවියො යොදවන මහන්සියට සාධාරණයක් වෙන්න ඕන කියල හැමදාම හිතපු කෙනෙක් මම. අනික් පැත්තෙන් ලංකාවේ රැකියා ප්‍රශ්නයක් තියෙනවා.
ගොඩක් අය ගෙවල්වල නිකරුනේ කාලය ගත කරනවා. ඒ නිසා රැකියා අවස්ථා නිර්මාණය කරන්නත් ආසාවක් මට තිබුණා. මම ජොබ් එකක් කරල සල්ලි හම්බකරගන්නවට වඩා ඒක මට තිබ්බ බලාපොරොත්තුවක්.
ඒ නිසා ව්‍යාපාරයක් කරන්න ආසාවක් ඇතිවුණා. කොරෝනා කාලේ තිබ්බ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක මම හිතුවා ලංකාවේ ඉදගෙන බිස්නස් එකක් කරනවට වඩා රටර ඩොලර් ගේන්න පුළුවන් බිස්නස් එකක් කරන්න. මේ දෙවල් ගැන හිතල තමයි එක්ස්පෝර්ට් බිස්නස් එක පටන් ගත්තේ.
ඇයි බිලිංම එක්ස්පෝර්ට් කරන්න තෝරගත්තේ?
මම ව්‍යාපාරය පටන් ගත්තේ ගස්ලබු, මඤ්ඤොක්කා, පැගිරි වගේ නැවුම් පළතුරු සහ එලවලු එක්ස්පොර්ට් කරන්න. ඒක මහා පරිමාණෙන් කරගෙන ගියපු දෙයක් නෙවෙයි. එක්ස්පෝර්ට් කරන අයට එළවළු පළතුරු එකතු කරල ගිහින් දීපු එක තමයි මුලින්ම කළේ.
මම ඉංජිනේරු ක්ෂේත්රය ගැන අවබෝධයක් තිබ්බට අපනයන ක්ෂේත්රය ගැන තිබ්බේ අවම දැනුමක්. ඒ නිසාම ඒ ගැන ඉගෙනගන්න ආසාව මුල ඉදන්ම තිබ්බා. අවුරුද්දක් විතර එක්ස්පෝර්ට් ආයතනයත් එක්ක වැඩ කරල අත්දැකීම් එකතු කරගත්තා. ඒ දැනුමත් එක්ක තමයි බිලිං එක්ස්පෝර්ට් කරන්න හිතුණේ.
බිලිං කියන්නේ ලංකාවෙ ලොකු වටිනාකමක් නැති ගස් බර වෙන්න හැදිල බිමට වැටිල ඉක්මනටම කුණු වෙලා යන පලතුරක්. ඒ නිසා අපතේ යන බිලිංවලට වටිනාකමක් හදල රටට ඩොලර් ගේන්න ක්‍රමයක් හදන්න හිතුවා.
බිලිං කියන්නේ අඩුවෙන් එක්ස්පෝර්ට් වෙන පලතුරක්. ඒ නිසා අලුත්ම දෙයක්. ලංකාවේ වාණිජ වගාවක් නොවුණත් ලංකාවේ හැම පළාතෙම පහසුවෙන් හැදෙන සත්තුන්ගෙන් අවම හානි තියෙන පලතුරක් තමයි බිලිං කියන්නෙත්. ඒ නිසාම බිලිං වල්ඩ් මාකට් එකට එක්ස්පෝර්ට් කරන්න හිතුවා.
බිලිං පිටරට යවන්නේ විජලනය කරලද?
නැහැ. විජලනය කිරීමක් කරල නෙවෙයි. බිලිං හොඳට තම්බල චට්නි අච්චාරු හදනව වගේ පේස්ට් එකක් හදනවා. වියලීමක් නෙවෙයි ආහාරයක් විදියට සැකසීමක් තමයි කරන්නේ.
ඒ හදන පේස්ට් එක කිලෝ විස්සේ ලොකු බල්ක්වලට පුරවල එක්ස්පෝර්ට් කරනවා. බිලිං ඉක්මනට සවුත්තු වෙනවා. කුණුවෙලා බිමට වැටෙන පලතුරක්. ඒත් අපි හදන පේස්ට් එක අවුරුද්දක් දෙකක් වගේ කල් තියාගන්නත් පුළුවන්.
බිලිං කල් තියාගන්න රසායනික ද්‍රව්‍ය භාවිත කරනවද?
නැහැ. කිසිම අහිතකර දෙයක් භාවිත කරන්නෙ නැහැ. ආහාර කල් තියාගන්න විනාකිරි වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරනවා. ආහාර සැකසීමට සුදුසු හීට් කරන මට්ටමෙන් තමයි බිලිං හදන්නෙත්.
ඒ වගේම බිලිං පේස්ට් එක ගබඩා කරන බල්ක්වල ඇතුළට වාතය යන්නෙ නැති විදියට හොදට සීල් කරනවා ඒ නිසා විවෘත කරනකම් නරක් වෙන්නෙ නැතිව තියාගන්න පුළුවන්.
බිලිං අස්වැන්න කොහොමද එකතු කරගන්නෙ?
බිලිං වගා බිම්වල වගා කරල නම් දැනට ගන්නෙ නැහැ. වගා කරල බිලිං අස්වැන්නක් ගන්නවනම් ලංකාවට ඩොලර් වැඩියෙන් ගේන්න පුළුවන්. ලංකාවේ බිලිං වවන්නේ වාණිජ වගවක් විදියට නෙවෙයි.
ඉස්සර පැරැන්නො බිලිං කෑවට දැන් හැදෙන පරපුර බිලිං ආම්ලිකයි ගෑස්ටික් හැදෙනව ඔය වගේ මත ඔලුවෙන් හදාගෙන කන්නෙත් නැහැ. සමහරු බිලිං වැඩකට නැති පලතුරක් කියල හිතල ගස් පවා කපල දානවා.
ඒ නිසා ලැබෙන බිලිං අස්වැන්න අඩුයි. අපට ලැබෙන ඉල්ලුම වැඩියි. අපි උත්සාහ කරනව ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න. ලංකාව වටේටම වාහාන යවල බිලිං හැදෙන පැතිවලින් ගෙනල්ල තමයි දැනට වල්ඩ් මාකට් එකට දාන්නේ. ඉස්සරහට බිලිං වගා කරල බිලිං වැඩියෙන් රට යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
බිලිං විතරද රට යවන්නේ
දැනට බිලිං තමයි ප්‍රධාන එක්ස්පෝර්ට් පලතුර. ඊට අමතරව කුරුඳු, පොල් තැඹිලි වතුර බොට්ල් එක්ස්පෝර්ට් කරනවා. හීන් බෝවිටියා නිල් කටරොළු වගේ හබල් ටී වර්ගත් යවනවා.
ලංකාවේ මාකට් එකටත් මේ ප්‍රොඩක්ට්ස් දානවද?
නැහැ. සම්පූර්ණයෙන්ම වර්ල්ඩ් මාකට් එකට විතරයි එක්ස්පෝර්ට් කරන්නේ. බිලිං කියන්නේ රට ඇතුළෙ වටිනාකමක් නැති නිකරුනේ කුණු වෙලා බිම වැටෙන පලතුරක්. ලෝකල් මාකට් එකේ බිලිංවලට ඉල්ලුමක් නැහැ.
ඒත් වර්ල්ඩ් මාකට් එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා රටට ඩොලර් ගේන්න වර්ල් මාකට් එකට තමයි එක්ස්පෝර්ට් කරන්නේ.
ලැබුණු සහයෝගය ගැන මතක් කළොත්
තාම එක්ස්පෝර්ට් කරන්න පටන් අරන් අවුරුදු දෙකක් වගේ. තාම මුල් අදියරේ ඉන්නේ. හිතේ හයියෙන් මහන්සියෙන් තමයි කරන්නේ. පවුලෙ අයගෙන් යහළුවන්ගෙන් සහයෝගයක් ලැබෙනවා.
මොනවද ආපු අභියෝග?
ඇත්තටම ලොකුම ප්රශ්නය වුණේ බිස්නස් එක පටන් ගන්න මුදල් හොයාගන්න එක. බැංකුවලින් ණයක් ගන්න හරිම අමාරුයි. බිස්නස් එකෙන් යම් මට්ටමක අදායමක් දැන් ලැබෙන නිසා බැංකු ණය දුන්නත් මුල් කාලේ අමාරු වුණා.
ඒ වගේම වාණිජ වගාවක් විදියට බිලිං ව්‍යාප්ත කරන එකත් අපිට තියෙන අභියෝගයක්. බිලිං ලංකාවේ ආදායම් උපයන්න වවන පලතුරක් නෙවෙයිනේ.
ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ආයතන තියෙනවා. බිලිංවලට අඩු කාලයකදි හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන් විදියට ප්‍රභේදයක් හදන්න පුළුවන් නම් රටට තවත් ඩොලර් ගේන්න පුළුවන්.
අපිට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි බිලිං සැපයුම අඩුකම. ඒ ප්‍රශ්නෙට හොඳ විසදුමක් ඒක. ඒ වගේම බිලිං පේස්ට් එක පහසුවෙන් හදන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණවත්ව නැහැ. තවමත් බිලිං තම්බල පේස්ට් එක හදන්නේ මිනිස් ශ්‍රමයෙන්. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඒ අභියෝගයත් ජයගන්න.
අලුතින් කරන්න ඉන්න වැඩ මොනවද?
මේ මාසේ අලුත් ෆැක්ටරි එකක් ඕපන් කරනවා බුත්තල. මේ වෙනකම් බිලිං එකතු කරල තවත් තැනකට ගෙනිහින් පේස්ට් එක හදල තමයි එක්ස්පෝර්ට් කරේ ෆැක්ටරි එක ඇතුළේ ඔක්කොම එක තැනකින් කරන එක තමයි අරමුණ.
ඒ වගේම වඩාත් ගුණාත්මකභාවයෙන් බිලිං නිෂ්පාදනය කරන්නත් විශ්වාසනීයභාවය වැඩි කරන්න ජාත්‍යන්තර තත්ත්ව සහතික ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක අපිට බිලිං අපනයනය කරන්න පහසුවක්.
අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?
ලංකාව වගේ රටක ඕන තරම් අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවන් හඳුනාගෙන ප්‍රයෝජන ගන්න ඕන. හඳුනගත්ත වගේම හොදට අධ්‍යයනය කරන්න ඕන. මොනවද තියෙන අභියෝග වාසි මොනවද ඒ දේවල් ගැන බලන්න ඕන.
පටන් ගන්න අමාරු වුණත් කල් දාන්නෙ නැතිව, නැකැත් බල බල ඉන්නෙ නැතිව හිතට අපු දේ ක්‍රියාවට නංවන්න ඕන. මුලදි අමාරු වුණත් කරගෙන යද්දී තමන්ට කරන්න ඕන මොනවද කියල අත්දැකීම් එක්ක තේරෙනවා. උත්සාහය ආසාව තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ.
පවනි දිලේකා ✍️