මේ ලෝකේ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ හැම මනුස්සයෙක්ම හිතන පතන විදියත් එකිනෙකට වෙනස්. සමහර මිනිස්සු වෙනස් මානයකින් හිතන නිසා එන්න එන්නම ලෝකය සුන්දර වෙනවා. හේමාල් ගයාන් රාජකරුණා කියන්නේ ඒ වගේ අලුත් විදියට හිතන පතන කෙනෙක්. ඔහුගේ විනෝදාංශය තමයි එකතු කිරීම. හැබැයි ඔහු එකතු කරන්නේ මුද්දර නම් නෙවෙයි. ඔහු එකතු කරන්නේ පොඩි කාලෙ ඉදන් ආසාවෙන් හිටපු ගුවන් යානා. අද වෙනකොට සෙල්ලම් ගුවන් යානා වෙනුවට ඇත්තම ගුවන් යානා ආකෘති එකතු කරන ගයාන් දකුණු ආසියාවේ එකම හා විශාලතම විචිත්‍රවත් ගුවන් යානා ආකෘති එකතුවේ හිමිකරුයි.
ගුවන්යානාවලට මේ තරම් කැමති ඇයි?
පොඩි කාලේ ඉදන්ම ගුවන්යානාවලට කැමතියි. හැමෝටම වගේ ගුවන්යානයක් යන සද්දෙ ඇහුන ගමන් මිදුලට දුවල ගුවන්යානය යන දිහා බලන් ඉන්න පුරුද්දක් මටත් තිබුණා. ඒ ආසාව නිසාම ෂොප් එකකට ගියාම ගෑණු ළමයි බෝනික්කො ගාවට දුවල යනව වගේ මම ගියේ ගුවන්යානා වගේ සෙල්ලම් බඩු තියන පැත්තට. මම ගුවන්යානාවලට ආස නිසාම අම්ම මට සෙල්ලම් ගුවන්යානයක් එව්වා. මම පොඩි කාලේ අම්ම හිටියේ විදේශගත වෙලා. අදටත් මම ගාව ඒ ගුවන්යානය පරිස්සමට තියෙනවා.
මොනවද මේ ගුවන්යානා ආකෘති කියන්නේ?
ගොඩක් අය හිතන්නේ ගුවන් යානා ආකෘති එකතු කරනව කිව්වම සෙල්ලම් ගුවන් යානා එකතු කරනවා කියලයි. ඒත් මම එකතු කරන්නේ ඇත්තටම ලෝකය පුරාම තියන සැබැ ගුවන්යානාවල විදියට නිර්මාණය කරපු ආකෘති. ඇත්තම ගුවන්යානයේ තියෙන හැම ඩීටෙල් එකක්ම මේ ආකෘතියෙත් තියෙනවා. පරිමාණය විතරයි වෙනස් වෙන්නේ. මම එකතු කරන්නේ පියාසර කරන මගී හා භාණ්ඩ ප්‍රවාහන සුවිශේෂී ගුවන් යානා ආකෘති විතරයි.
සිහිනයක් තිබ්බද ගුවන් යානා සම්බන්ධ රැකියාවක් කරන්න?
ඔව් තිබුණා. මම පොඩි කාලේ ඉදන් ගුවන් යානාවලට ආස කරපු කෙනෙක්. ඒත් අපි හිතන විදියට හැමදේම වෙන්නෙ නැහැනේ. ඒ කාලේ ආසාව තිබ්බට තිබුණු පවුල් පසුබිමත් එක්ක කොහොමහරි ජොබ් එකක් හොයාගන්න ඕන කියන මයින්ඩ් එකේ හිටියේ. මම ආස දේ කරන්න ඕනමයි කියල හිතුවේ නෑ. මම දැන් බියගම පුද්ගලික ආයතනයක තමයි වැඩ කරන්නේ. ඒත් පොඩිකාලෙ ඉදන් ගුවන් යානාවලට තිබුණ ආසාව නැති වුණේ නැහැ. ඒ නිසා අවුරුදු ගානකට පස්සෙ ගුවන් යානා ආකෘති එකතු කරන්න පටන් ගත්තා.


මොකක්ද පළවෙනියටම මිලදී ගත්ත ගුවන්යානා ආකෘතිය?
මම මුලින්ම එකතු කළේ සාමාන්‍යයෙන් අපි නිතර දකින ගුවන්යානා. සාමාන්‍යයෙන් අපි දකින ගුවන් යානා සුදු පාටයි අමුතු ලස්සනක් නැහැනේ. මුලින්ම ගත්තේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ ගුවන්යානයක්. ඊටපස්සෙ රත්මලාන එයාපෝර්ස් එකෙන් ගුවන් යානා ආකෘති ගත්තා. ඒත් දැන් මම ගාව ගොඩක්ම තියෙන්නේ ලස්සන මල් වර්ග, බිල්ඩින්ස්, ඉවෙන්ට්ස්වල, ගේම්ස්වල ඉමේජස්වලින් ඩිසයින් කරපු ගුවන් යානා ආකෘති. ලෝකේ අනික් රටවල ලස්සන ගුවන්යානා තියෙනවා. නමුත් ලංකාවට ඒ වගේ ලස්සන ගුවන් යානා එනව අඩුයි ඒ නිසා ගොඩක් අය හිතන්නෙ ලෝකේ තියෙන්නේ සුදු පාට ගුවන්යානා විතරයි කියල. ඒ නිසාම මගේ ගුවන් යානා එකතුව දැක්කම බලන අය හරියට සතුටු වෙනවා. ඒ වගේම සමහරු පුදුම වෙනවා.
කොහොමද ගුවන් යානා ආකෘති මිලදී ගන්නේ?
මුලින්ම මිලදී ගත්තේ ඊබේ වගේ ඔන්ලයින් සයිට්ස් වලින්. ඒත් අද වෙද්දී ගුවන්යානා ආකෘති විකුනන සප්ලයිස්ලව මම දන්නවා. ඊට අමතරව යුරෝපයේ මේ වගේ ගුවන්යානා ආකෘති මිලදී ගන්න ශොප්ස් තියෙනවා. ඔන්ලයින් මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ගුවන් යානා ආකෘතියක් මිලදී ගන්න ලොකු මුදලක් වැය වෙනවද?
සාමාන්‍යයෙන් එයාර්ලයින් එකකින් එකකට මිල ගණන් වෙනස් වෙනවා. පොඩි ඒව වගේම ලොකු ඒවත් තියෙනවා. පොඩි ගුවන්යානා එකක ඩීටේල්ස් බලාගන්න අමාරුයි. මගේ ළඟ තියෙන්නේ ඩීටේල්ස් පේන ප්‍රමාණයෙන් ලොකු ගුවන්යානා. ඒ නිසා වැඩි මුදල් ප්‍රමාණයක් වැයවෙනවා මේ ප්ලේන් එන්නෙත් ලිමිටඩ් ප්‍රමාණයක් ඒ නිසා ගන්නත් ලොකු තරඟයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 100 ට වැඩියි ප්ලේන් එකක්.
ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද ගුවන් යානා ගන්න මුදල් නාස්ති කරනවා කියල?
ඔව් ආවා. මගෙ ගෙදරින් පොඩි විරෝධයක් ආවා සල්ලි නාස්ති කරනව කියල. ඒ නිසා මගේ බිරිදත් මුලදි එච්චර කැමති වුණේ නැහැ. හැබැයි ඒ අකමැත්ත තිබුණේ මේ ගුවන්යානා ගැන රූපවාහිනියේ පළවෙනි වැඩසටහන යනකම් විතරයි. ඊට පස්සේ ගෙදරින් විරුද්ධත්වයක් ආවේ නැහැ. ඇත්තටම මමත් ඇබ්බැහිවෙලා. නතර කරන්න ඕන වුණත් පුරුද්දක් වෙලා.
ප්ලේන් එකක් දැක්කොත් මම ඒක කොහොමහරි ගන්න උත්සාහ කරනවා. ඒ වගේ සිදුවීම් ඕන තරම් තියෙනවා. 2019 අලුත් ගුවන්යානා ආකෘතියක් ආවා මට ඇත්තටම සල්ලි තිබුණේ නෑ ඒ වෙලාවේ ඒ මොඩ්ල් එක ගන්න.




ඒත් ආසාව නිසාම අවුරුද්දක්ම හොයල ගුවන්යානය ගන්න පුළුවන් රටක් හොයාගත්තා.වියට්නාම්වල ඉන්න කෙනෙක්ට විතරයි මොඩ්ල් එක ගන්නත් පුළුවන්. ඉන්පස්සෙ මගේ යාලුවෙක්ගේ වියට්නාම්වල අදුනන යාළුවෙක් මාර්ගයෙන් තමයි මොඩ්ල් එක ගෙන්න ගත්තේ. ඒ ප්ලේන් එක ලබන සතියේ ලැබෙනවා.
හරිම ගුවන් යානා අකෘතිය තෝරල බේරල මිලදී ගැනීම් කරන්නේ කොහොමද?
මුල් කාලේ නම් හිසකෙස් ගානට වැරදීම් වුණා. ෆෙක් මොඩ්ල්වලට රැවටුණා. ඔන්ලයිට් සයිට්වල ෆොටෝවලින් දැකල ලොකු ප්ලේන් ඕඩර් කරල ගෙදරට ගෙනල්ල බැලුවම ආකෘති පොඩියි. ඒත් දැන් මම අත්දැකීමෙන් දන්නව හරිම මොඩ්ල් එක ගන්නෙ කොහොමද කියල. ඇත්තම ගුවන් යාන පොඩි නම් ආකෘතියත් පොඩියි. ඇත්ත ගුවන්යානය ලොකුයි නම් ආකෘතියත් ඊට සමගාමීව ලොකුවට තමයි එන්නෙ.
මොනවද තියන සුවිශේෂී ගුවන්යානා ආකෘති?
දැනට ආකෘති තුන්සීයක් විතර මගේ ගාව තියෙනවා. හැම එකකම විශේෂතා තියෙනවා. පොකිමොන් කියන්නේ ජපානෙන් හදපු වීඩීයෝ ගේම් එකක් දැන් ඒ විඩීයෝ ගේම් එක වර්ල්ඩ් ෆේමස්. ඒ පොකිමොන් බ්‍රෑන්ඩ් එක දැන් වෙද්දී ඇදුම්, ෆිල්ම්ස්, ප්ලේන් යනකම්ම පැතිරිලා තියෙනවා.
පොකිමොන් ප්ලේන් 21 විතර මේ වෙනකොට රිලීස් වෙලා තියෙනවා. මම ගාව ඒ පොකිමොන් ප්ලේන් 12 ක් තියෙනවා. ඒ වගේම ස්ටාර්වෝස් සීරියස් එක සම්බන්ධව ප්ලේන් අටක් රිලීස් වෙලා තියෙනවා. ඒ මොඩ්ල් අටම මම ගාව තියෙනවා.
ඇමරිකාවේ ජනාධිපතිගේ ඩොන්ල්ඩ් ට්‍රම්ප් පළවෙනි ධූර කාලේදී එයාෆෝර්ස් වන් කියල ප්ලේන් එකක් ඩිසයින් කළා. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ නැවත ජනාධිපති වුණාම ට්‍රම්ප් කේක් එකක් කපනවා. ඒ කේක් එකේ තියෙන්නේ ඒ පළවෙනි පාර ඩිසයින් කරපු ප්ලේන් එක. ඒ ප්ලේන් එකේ මොඩ්ල් එකත් මම ගාව තියෙනවා. ඒ වගේ සුවිශේෂී ගුවන්යානා ගොඩක් තියෙනවා.

ආපු අභියෝග ගැනත් කිව්වොත්
මම ඉස්සරහට එන ප්ලේන් ගැන නිතරම අප්ඩේට් වෙලා ඉන්නේ. ඒ ප්ලේන් ගන්න මුදල් කලින් ඉදන් ඉතුරු කරනවා. සමහර වෙලාවට මූල්‍යමය බාධක ආපු අවස්ථා තියෙනවා. ඒ දේවල් ජයගෙන ඉස්සරහට ආවා.
ගුවන් යානා ආකෘති එකතු කරද්දී මුහුණ දුන්න අමතක නොවුණු සිදුවීම් තියෙනවද?
ඇමරිකාව පිළිකාවලට අලුත් ප්ලේන් මොඩ්ල් එකක් ඩිසයින් කළා. ඒ ප්ලේන් එක ගන්න ෂොප් එකට ඔන්ලයින් මම සල්ලි ගෙව්වා. ඊට පස්සෙ මොඩ්ල් එක එයාලා ගාව නෑ කියල මට රිෆන්ඩ් කරන්න හැදුවා.
රෑ නවයට ආපු චැට් එකේ පාන්දර තුන වෙනකම්ම හිටියා ප්ලේන් මොඩ්ල් එක ගන්න ඕන නිසාම. චැට් එකෙන් අයින් වුණෙත් නැහැ. මගේ උත්සාහය නිසාම ෂොප් එකේ අය ප්ලේන් එකක් හොයාගෙන තිබ්බා. ඊට පස්සෙ දවසෙ මට එක්පෝර්ට් කරන්නම් කියල කිව්වා. ඒ වගේ ඕන තරම් සිදුවීම් තියෙනවා.
ගුවන්යානා ආකෘති එකතු කරද්දී සුන්දර මිනිස්සු හමුවුණේ නැද්ද?
ඔව් බොහෝ අය හමුවුණා. ඒ අය අතරින් ජීවිතේ මට අමතක නොවන අපූරු හමුවීමක් වුණා. වසර 34 ක් උඩු ගුවනේ සැරිසරමින් ලෝකයක් පුදුම කළ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව Antonov 225 Mriya හි ප්‍රධාන ගුවන් නියමු දිමිත්‍රෝ ඇන්ටොනො මට හම්බවුණ සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු හා මම දැන් හොඳ මිතුරන්. ගුවන්යානා ආකෘති එකතුකරන මට තිබුණ ලොකුම හීනය මගේ ආකෘතියකට කැපටන් කෙනෙකුගේ අත්සනක් ගැනීම. ඉතින් ඒ හීනය හැබෑ කර දුන්නේ ඔහුයි.
අනාගතයේදි මොනවද කරන්න ඉන්නේ?
චිනයේ ජාතික පුෂ්පය තමයි “ෆියෝනි ” මල කියන්නේ. ඒ මල්වලින් ඩිසයින් කරපු ගුවන් යානා නවයක් මේ වෙනකොට ලෝකෙට රිලීස් වෙලා. ඉතින් එයින් කිහිපයක් මේ එකතුවට ගන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ ගුවන්යානා එකතු කරල එක්සිබිශන් එකක් තියන්න හිතාගෙනත් ඉන්නවා.
අලුතින් ගුවන්යානා ආකෘති එකතුකරන්න හිතන් ඉන්න අයට මොකද කියන්නේ?
ඇත්තටම ලස්සන ගුවන්යානා ගොඩක් තියෙනවා. ලස්සන වගේම තමයි මිල ගණනනුත්. සල්ලි තියෙනවානම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අලුතින් එකතු කරන කෙනෙක් තමන් එකතු කරන කැටගරි එක දැනගෙන ඉන්න ඕන. එහෙම නැති වුණොත් එකක්වත් හරියටම එකතු කරගන්න බැරි වෙනවා.
පවනි දිලේකා ✍️