මස් මාංශ අනුභවය බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.
- මස්, මාංශ අනුභවය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවීම
- ප්‍රාණඝාතය වෙනුවෙන් අනුබලයක් ලබා දීම
- සියළු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම
- ශාඛමය ආහාර ගැනීම නිසා විශේෂ සිල්වත් බවක් ඇති වීම
- බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා මස් මාංශ අනුභව කරාවි දැයි වූ සැකය වැනි කරුණු කාරණාවන් මත මේ සැකය ගොඩ නැගී තිබෙනවා.
මේ පිළිබඳව ඉතා පැහැදිළි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජීවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රය පරිශීලනයෙන් ලබා ගත හැකියි. ඒ වගේම විනය පිටකයට අයත් වන මහා වග්ග පාලියේ භෙසජ්ජකන්ධ වග්ගයේද මේ සම්බන්ධයෙන් ඉතා වටිනා කරුණු ගෙන හැර දක්වනවා.
මස් මාංශ අනුභවයෙන් ප්‍රාණඝාත අකුසලයට අනුබල දීමක් සිදු වෙනවාද…?
කිසියම් සත්ත්වයෙකුගේ ජීවිතය යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත අකුසලයක්. ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට කරුණු පහක් බලපානවා.
- පණ ඇති සතෙකු වීම
- පණ ඇති සතෙකු බව දැනීම
- මරන්නට කැමැති සිත
- මරන්නට උපායක් සැකසීම
- ඒ උපක්‍රමය නිසා මරණයට පත් වීම
මෙම අංග පහ සම්පූර්ණ නොවුණේ නම් ප්‍රාණඝාත අකුසලයක් සිදු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස අපි ගමන් කරනවිට අපට නොදැනී පයට පෑගී සතුන් මිය යනවා. පහනක් පත්තු කළ විට ඒ පහනේ ආලෝකයට එන සතුන් පහන් දැල්ලට වැදී මිය යනවා. එයින් ප්‍රාණගාතයක් සිදු වන්නේ නැහැ. නමුත් මේ පහනට දැවී සතුන් මිය යේවා යැයි සිතා පහනක් දැල්වුවොත් එතැන ප්‍රාණඝාත අකුසලයක් සිදු වෙනවා.
මස් මාංශ අනුභවය පිළිබඳව වූ කාරණාවත් එසේය. මස් අනුභව කරන අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරන අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොඳයි යන චේතනාවක් හෝ නොමැති නම් අනභව කරන්නාට හෝ මිළට ගන්නාට ප්‍රාණඝාත අකුසලයක් සිදු නොවේ.
මස් මාංශ අනුභව කරන්නාට සියලු සත්වයන් වෙත මෛත්‍රි කිරීමට නොහැකිද…?
මෙහිදී අපි මුලින්ම සත්ත්වයා ගැන කතා කරමු. සියළුම සත්ත්වයන් නාම, රූප යන කොටස් දෙකකින් සැදී ඇති අතර එය නැවත රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන ලෙස බෙදිය හැක. රුප කොටස් නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක.යම් සත්වයෙකු මරණයට පත් වනවිට මෙම නාම, රූප දෙක බෙදී යයි. එම අවස්ථාවේදී නාම කොටස් නැති වී යන අතර සතර මහ ධාතුන්ගෙන් සකස් වූ රූප කොටස පමණක් ඉතිරි වේ.
එනම් මස්, මාංශ යනු මෙසේ නාම කොටස නැති වූ සතර මහ භුතයන්ගෙන් සකස් වූ රූප කොටසක් පමණි. ශාඛමය ආාහරයකද මෙහි වෙනසක් නැත.එසේ නම් සතුන් වෙත මෛත්‍රිය පහල කිරීමට සතර මහ ධාතුන්ගෙන් සකස් වූ ආහාරයකින් බලපෑමක් ඇති කරනවා යැයි සිතීම අපහසුය. මෛත්‍රිය පහළ වන්නේ සිතෙහි මිස ආහාරයෙහි නොවේ.
ශාකමය ආාහර ගැනීම නිසා විශේෂ සිල්වත් බවක් ඇති වේද…?
බුදුරජාණන්වහන්සේ ගිහියන්ට පවා ඇති නිත්‍ය ශීලය පන්සිල්ය. ඊට අමතරව උපෝසථ ශීලය, ගිහි දස ශීලය පනවා තිබෙනවා. මේ එකදු සිල් පදයකවත් මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැලකී සිටිය යුතු යැයි සිල් පදයක් දක්වා නැහැ.
මහා සිහනාද සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට සඳහන් කළ අන්දමට දුෂ්කර කියා කාලයේදී ලබාගත් ආහාර නිසා කිසිදු විශේෂිත අධිගමනයක් නොලැබූ බැව් දේශනා කළ සේක. ඒ නිසා ශාඛමය ආාහර ගැනීමෙන් විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යැයි කියන්න අපහසුයි.
බුදුරජාණන්වහන්සේ විසින් වාරණය කළ මස් මාංශ…
මහාවග්ග පාලියේ භෙසජ්ජකන්ධය ඇසුරෙන් සලකා බලන විට බුදුරජාණවහන්සේ විසින් අනුභවයට තහනම් කරන ලද මස් වර්ග 10 ක් දැක්වෙනවා.
- මිනී මස්
- අලි මස්
- අශ්ව මස්
- බලු මස්
- සර්ප මස්
- සිංහ මස්
- ව්යාඝ්ර මස්
- දිවි මස්
- වලස් මස්
- තරස් මස්
මේ අන්දමින් විවිධ අවස්ථාවල, විවිධ හේතුන් මත මෙම මස් වර්ග අනුභව කිරීම තහනම් කර තිබෙනවා. ඒ හැර අනිකුත් මස් මාංශ අනුභවය තහනමක් පනවා නැත. බුදුරජාණනන්වහන්සේ මස්, මාංශ අනුභව කළ බැව් ජීවක සුත්‍රය සහ සිහ සේනාපතිගේ දානය වැනි අවස්ථාවන්හිදී කියැවෙනවා.
ආහරයක් ගැනීමට පෙර එම ආහාරය ගැන ප්රත්යවේක්ෂා කිරීම…
බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කළ ධර්මය අප අනුගමනය කළ යුත්තේ ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුසල මූලයන් දුරු වන ආකාරයටයි. එබැවින් මොනයම් ආහාරයක් වුව අධික ලෙස ගිජු නොවී එම ආහාරය ලබා ගැනීම වැදගත්.
මා මෙම ආාහරය ගන්නේ රස විඳීමට නොවේ. ශරීර වර්ධනය කිරීමට නොවේ. ජවය පිණිස නොවේ. ඇති වූ කුසගින්න නිවා ගැනීම පිණිසත්, කාය, ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පමණයි වූ ප්රත්යවේක්ෂා කිරීම බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළහ. මෙය භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් අනිවාර්ය වුවත්, ගිහියන්ටත් මේ අන්දමින් සිතන්නට නිදහස ඇත.
එවිට ඕනෑම නීරස ආහාරයක් පහසුවෙන් හා සතුටෙන් අනුභව කිරීමට පුළුවන්. ආහාරයක රස විඳීම නොකල යුත්තක් නොවේ. නමුත් ආාහරය වෙනුවෙන් ගිජු නොවන්න. මේ අනුව මස් මාංශ අනුභව කිරීම තමන්ගේ පෞද්ගලික කාරණාවක්. මස් මාංශ අනුභව කළා යැයි තවත් අයෙකු ගැරහීම සුදුසු නැහැ. ඒ වගේම නිර්මාංශ ආහාර වෙනුවෙන් යොමු වුණ අයද ඒ ගැන අනවශ්‍ය අන්දමින් මානයක් උපදවා ගත යුතු නැහැ.
ශාස්ත්‍රපති පුජ්‍ය බෝගමුවේ ධම්මානන්ද ස්වාමින්වහන්සේ
ශ්‍රි ධර්මරාජ පිරිවෙන,
පහළ මහයාය,
මහනුවර
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️