“මානව පරිණාමය සමඟ දිනෙන් දින දියුණුවට පත්වන ලෝකයක් තුළ ඇතැම් වෘත්තීන් දැඩි ගෞරවයක් සහ ප්‍රශංසාවක් සඳහා විශ්වීය කීර්තියක් අත්පත් කරගෙන තිබේ. එවන් ගෞරවාන්විත වෘත්තියක් ලෙසට “නීතිඥ වෘත්තිය” හඳුන්වාදිය හැක. සමාජය පරිණාමය වනවිට නැගී එන ප්රවණතා සහ වෘත්තිය ඉල්ලුම වැඩි වනවිටද වෘත්තීන්හි ගෞරවනීයභාවය ඉහළ අගයක හැඩගස්වනු ලබයි. එබැවින් සමාජයේ වැඩි යහපතට දායක වන්නා වූ වෘත්තීන් සමස්ථ ලෝකයම වැඩිදියුණු කිරීම සඳහා සිදුකරනු ලබන කැපවීම තුලින් කැපී පෙනෙන පිළිගැනීමක්ද ලබාගනියි. මෙවන් ගෞරවනීය වෘත්තියක් ලෙස පිලිගැනීම ලද නීතිඥ වෘත්තියට ශ්‍රී ලංකාව තුළ නිවැරදි ලෙස පිවිසිය හැකි දිශානතියන් සම්බන්ධයෙන් මනා මාර්ගෝපදේශයක් ලබාගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.”
ශ්‍රී ලංකාව තුළ නීතිඥවෘත්තිය හැඳින්විය හැක්කේ කෙසේද?
1873 වර්ෂයේදි නීති අධ්‍යාපන කවුන්සිලය (The Council of Legal Education CCLE) පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකාවේ විධිමත් නීති අධ්‍යාපනය ආරම්භ වී මේ යටතේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයද ස්ථාපිත කළ අතර නීතිඥවරුන් ලෙස හඳුන්වන්නා වූ වෘත්තිකයන් බිහිවීම සිදුවිය.1973 වර්ෂයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව තුළ පෙරකදෝරුවන් (Proctors) සහ ඇඩ්වකේට්වරු (Advocate) ලෙසත් බෙදා වෙන් කිරීමක් දක්නට ලද අතර පෙරකදෝරුවන් (Proctors) නීතිඥවරුන් ලෙසත් ඇඩ්වකේට්වරුන් (Advocate) අධිනීතිඥනරුන් ලෙසත් හැඳින්වීමක් මෙහිදී සිදුවිය. මෙම මාතෘකාව පිළිබඳව වර්තමානයේ බොහෝ සේ කතාබහට ලක්වීම දක්නට ලැබුණි. 1973 වර්ෂයෙන් පසුව මෙම බෙදීම අවසන් කර “නීතිඥ” (Attorney at Law) ලෙසින් තනි කුලකයක් ස්ථාපිත විය. එබැවින් වර්තමානයේ ඉහත පරිදි බෙදීමක් දක්නට නොලැබෙන අතර නීතිඥවරුන් ලෙසින් තනි අනන්‍ය ආකාරයකින් හැඳින්වීමට හැකියාව ලැබී ඇත.
නීතිඥවරයෙක් ලෙසින් දිව්රුම් දුන් පසු හිමිවන වෘත්තීය අවස්ථාවන් පිළිබඳ ඔබ දැනුවත්ද?
නීතිඥ වෘත්තිය වනාහි විශාල රැකියා සමූහයකට පිවිසීමට මංපෙත් විවර කරන්නා වූ වෘත්තියකි. ප්‍රථමයෙන් සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ පෞද්ගලික නඩු කටයුතු වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ස්වාධීන නීතිඥවරයෙක් වූ පසු හැකියාව ලැබේ. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන, රජයේ ආයතන හා විවිධ රාජ්‍ය නොවන සංවිධානයන් සමඟ නීති නිලධාරින් වශයෙන් සම්බන්ධ වීමට හැකිය.මීට අමතරව නොතාරිස්වරයෙක් ලෙසින් කටයුතු කිරීමටද සමාගම් ලේකම්, දිව්රුම් කොමසාරිස්වරුන් ලෙසද තම සේවය ලබාදීමට අවස්ථාව උදාවන අතර ඉහත අවස්ථාවන්ට අමතරව තවත් වෘත්තීය අවස්ථාවන් නීතිඥවරුන් සඳහා නොපවතින්නේ නොවේ.
“නීතිවේදියා” සහ “නීතිඥයා” යනු එක් අයෙක්ද දෙදෙනෙක්ද?
“නීතිවේදියෙකු” යනු නීති උපාධිය පමණක් සම්පූර්ණ කළ පුද්ගලයෙකි. එනම් Beachelor of Laws Degree (LLB) යන අධ්‍යයන සුදුසුකම පමණක් සම්පුර්ණ කළ තැනැත්තෙක් වන අතර ඔහු නීතිඥවරයෙක් නොවේ.නීතිඥවරයෙකු ලෙසින් හඳුන්වන්නේ නීති විද්‍යාලයේ අවසන් වසර සමත් වී ආධුනික පුහුණුවෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීමෙන් පසුව අධිකරණය ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ නීතිමය බලය ලබාගෙන ඇත්තා වූ නීති වෘත්තිකයෙක්ය. එනම් නීති උපාධියක් පමණක් සතුවීමෙන් නීතිඥවරයෙක් නොවන්නේය.
ලංකාව තුළදි නීතිඥ වෘත්තියට පිවිසිය හැක්කේ කෙසේද?
මෙම ප්රශ්නය තාමත් බොහෝ පුද්ගලයන් අතර පවතින්නා වූ ගැටළුවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයෙක් ලෙසින් දිව්රුම් දී වෘත්තීය කටයුතු සිදුකරගෙන යාම සඳහ පිවිසිය හැකි මාර්ගයන් කිහිපයක්ම පවතී. එම අවස්ථාවන් පිලිබඳව පහත පරිදි පෙළගැස්විය හැක.
රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට ඇතුල්වීම හරහා මෙරට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටීමෙන් ඉහල ඉසෙඩ් අගයක් (z – score) ගැනීමෙන්, දිස්ත්‍රික් කුසලතාවය අනුපිලිවෙලට සීමිත ශිෂ්‍යයන් පිරිසක්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය, පේරාදේණිය සහ යාපනය විශ්වවිද්‍යාලයන් හි නීති දෙපාර්තමේන්තු සඳහා ඇතුළත් කරගනු ලබයි. ඔවුන් වසර 4 ක් අවසානයේදි නීති උපාධිය ලැබීමෙන් අනතුරුව නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයද සමත් විය යුතුය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කිරීම හරහා රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස සැලකුවද විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා ඇතුළත් වීමට ශිෂ්‍යයෙකු කඩඉම් විභාගයකට මුහුණ දී එය අනිවාර්යෙන් සමත් විය යුතුය. මෙයින්ද තෝරාගනු ලබන්නේ සීමිත පිරිසකි. සිව් අවුරුදු උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය මොවුන්ද සමත් විය යුතුය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කිරීම හරහා මෙහිදී ද වාර්ෂිකව ප්‍රවේශ විභාගයක් පවත්වනු ලබන අතර එයින් සමත්වන්නන් අවුරුදු හතරක් වූ නීති උපාධිය සමත් විය යුතුය. මෑතකදී සිට ඔවුන් නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පමණක් පෙනී සිට සමත් වීම ප්‍රමාණවත් වී තිබේ.
විදේශ විශ්වවිද්‍යාලයන් මඟින් ලබාගන්නා නීති උපාධිය සමත්වීම හරහා විදෙස් රටවල මෙන්ම වර්තමානයේදි ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබෙන විදෙස් රටවල විශ්වවිද්‍යාලයන්හි අනුබද්ධ ආයතනයන් හරහාද නීති උපාධිය සම්පූර්ණ කිරීම සිදුකළ හැක. ඉන් අනතුරුව නීති විද්‍යාලයේ අධ්‍යයන වර්ෂ ත්‍රිත්වයේම විභාගයන් සමත්වීම අනිවාර්ය වනු ඇත.
නීති විද්‍යාලයට ඇතුලත්වීම හරහා ශ්‍රී ලංකාවේ දැනට පවත්වනු ලබන අතිශය තරඟකාරි ප්‍රවේශ විභාගයක් වන නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වන ඉතා සීමිත පිරිස නීති විද්‍යාලයට ඇතුල් වී එහි අධ්‍යයන වසර තුනේ විභාගයන්ට මුහුණ දී එයින් සමත් වීම සිදුකළ යුතුය .ඉහත පරිදි ශ්‍රී ලංකාව තුළ නිතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දිව්රුම්දීමට හැකියාව ලැබෙන අතර එකි සෑම අයෙක්ම නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සමත් වීමෙන් අනතුරුව මාස 6 ක් වූ ආධුනිකත්ව කාලය සම්පූර්ණ කිරීමද සිදුකළ යුතුමය.
ඩිප්ලෝමාවක් හෝ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් මේ සඳහා ප්‍රමාණවත්ද?
කිසිසේත්ම නැත. වර්තමානයේ විවිධ පෞද්ගලික ආයතනයන් විවිධාකාර වූ සහතික පත්‍ර, ඩිප්ලෝමා ආදි වූ නීති අධ්‍යාපන පාඨමාලාවන් ආරම්භ කිරීම සුලභයෙන් දක්නට ලැබේ. එවන් පාඨමාලාවන් හුදු නීතිමය දැනුමක් ලබාගැනීමට සහ වෙනත් රැකියාවක් සඳහා අමතර සුදුසුකමක් වීමට පිලිවණ. නමුත් මෙයින් සෘජුව නීතිඥයෙකු වීමට මාර්ගය විවර කිරීමක් සිදුනොකරයි.
ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයෙක් ලෙස කටයුතු කිරීම සඳහා ඉහත පරිදි උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව නීති විද්‍යාලයේ අවසන් වසර සමත් වීම හෝ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හරහා නීති විද්‍යාලයට ඇතුල්වීම එහි අධ්‍යයන වසර තුන නිම කිරිම යන අවස්ථා ද්විත්වයෙන් පසුව මාස 6 ක ආධුනිකත්ව පුහුණුව අවසන් කිරීම හරහා පමණකි.
නීතිඥ ඉසංකා නිශ්ශංක
isankathring@gmail.com