දරුවෝ කියන්නේ අම්මගෙයි තාත්තගෙයි නිෂ්පාදනයක්’ නමුත් සමහර දරුවෝ දිහා බැලුවම දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් අපි මේ දරුවා හදන පිළිවෙළේ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා. දරුවන්ට අධ්‍යාපනය දෙන්න දෙමාපියන් විශාල මුදලක් වැය කරනවා. මහන්සි වෙනවා. හැබැයි වියදම් කරපු පලියට මහන්සි වුණ පලියට ගොඩක් දෙමව්පියන් දන්නෙ නෑ අධ්‍යාපනයෙන් අනාගතයට දරුවන් නිසි විදිහට පුහුණු කරවන්නේ කොහොමද කියලා.
අම්මලා තාත්තලා හිතනවා ළමයා දවස පුරාම පාඩම් කළොත් ඒ දරුවා හොඳට ඉගෙනගන්නවා කියලා. දරුවෙක්ව පාඩම් කරවන එක හොඳයි. ඒ හොඳ රිසල්ට් එකක් එක්ක එයාට විභාග සමත් වෙලා කැම්පස් ගිහින් අනාගතයේදී හොඳ රැකියාවක් කරගන්න පුළුවන් නිසානේ. හැබැයි තමන් අධ්‍යාපනය මෙහෙයවන විදිහෙන් දරුවාට වෙන්නේ මොනවගේ බලපෑමක්ද කියලා බහුතරයක් දෙමව්පියෝ හිතන්නේ නෑ. අතලොස්සක් දෙමව්පියෝ තමයි සමාජයේ විවිධාකාර රැලිවලට හසු නොවී තමන්ටම ආවේණික විදිහට දරුවටත් අපහසුවක් නොවන ආකාරයට අධ්‍යාපන කටයුතු මෙහෙයවන්නේ.
දරුවෙක් කුඩා කාලයේ පටන් වැඩිහිටියෙක් දක්වා වන කාලය තුළ සමාජයේ ජීවත් විය යුතු ආකාරය සකසාගන්න තමයි අධ්‍යාපනය යොදාගන්නේ. පුංචි කාලේ ඉඳන් පුළුවන් තරම් මහන්සි වෙලා උගන්නපු දරුවා ලොකු වෙලා ටීචර් කෙනෙක් වුණාට වැඩක් නෑ එයාගෙ පන්තියෙ ළමයින්ට හැමතිස්සෙම කෝටුවෙන් තළනව නම්, හරියට විෂය නිර්දේශ උගන්නන්න දන්නෙ නැත්නම්, ළමයින්ට දැනුම විතරක් ඔළුවට ඔබන්න වෙහෙස වෙන කාර්යයේදී ආකල්ප කියන කොටස දෙමව්පියන්ට මගහැරෙනවා.
මේ ලෝකේ හැම කෙනෙක්ටම යම්කිසි දැනුමක් අත්‍යවශ්‍යයි සමාජයේ ජීවත් වෙන්න. ඒ දැනුමත් එක තමයි ඒ ළමයා සමාජයේ සිද්ධ වෙන දේවල් ගැන කුතුහලයෙන් බලන්නේ. තර්ක කරන්නේ සහ නව අදහස් බිහි කරගන්නේ. හැබැයි අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට වෙන්නේ ළමයාගේ නිදහස් චින්තනය අවහිර කරන එක.
මම කියන්නේ පාඩම පාඩමක්ම විතරක් නොකර දරුවා ගැන ඒ සම්බන්ධව නිදහසේ කතා කරන්න. ප්‍රැක්ටිකලි දේවල් කරන්න. එතකොට එයාට ඒක පාඩමක්ම විතරක් වෙන්නේ නෑ. දරුවට, දරුවා යන්න කැමති මාවත විවර කරලා දෙන්න. නැතුව දෙමවුපියන්ට යන්න ඕන මාවතේ දරුවව යවන්න එපා.
අපිට තියෙන්නෙ දේවල් හොයලා, ඒවට හේතු දැනග්න හොඳට මහන්සි කරවන්න පුළුවන් මොළයක්. හැබැයි අපි ඒකෙන් භාවිත කරන්නේ මතකය සම්බන්ධ කොටස විතරයි. අපි ළමයින්ව පුරුදු කරවන්නෙත් ඔය ක්‍රමේට. ඒකෙන් වෙන්නේ පුද්ගලයා ගොඩනැගුණත් ආකල්ප ඔළුවට යන්නෙත් නැති එක. ලංකාවේ සමහර පාසල් බාහිර ක්‍රියාකාරකම් එක්ක පුංචි දරුවන්ට පාඩම් ඉගැන්නුවට ලංකාවේ හැම පාසලකම එම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා කියලා අපිට හිතන්න බෑ. ඉතින් ඒකයි ඒ දේ ගෙදර අම්මා තාත්තවත් කරන එක වැදගත් වෙන්නේ. නමුත් මෙතනදි තේරුම්ගත යුතුයි තමන්ගේ හිතේ තියෙන දේවල් දරුවා ලව්වා බලෙන් කරවන්න යන්න එපා.
ගොඩක් අම්මලා දරුවන්ට පාඩම් වැඩවලට කාල සටහනක් සකස් කරගෙන තියෙනවා. පැයක් දෙකක් තියෙනවා පාසලේදී දුන්නු ගෙදර වැඩ ටික කරන්න. නමුත් දරුවාට ඒක ඉවර කරන්න යන්නේ පැය භාගයක් විනාඩි 20 ක් වගේ කාලයක් වෙන්න පුළුවන්. හෝම් වර්ක් කරන්න පැය දෙකක් තියෙද්දි ළමයා පැය බාගෙන් ඒක ඉවර කරපු පලියට අම්මා ඒ ළමයට සෙල්ලම් කරන්න යන්න දෙයිද? නෑ. අම්මා කියන්නේ හෝම්වර්ක් ඉවර නම් වෙන පොතක් බලාගන්න කියලා. හැබැයි දරුවාට පුළුවන් නම් නියමිත කාල සීමාවට කලින් ඒ වැඩ ටික සේරම ඉවර කරලා තමන් කැමති දෙයකුත් ඒ කාලසීමාව ඇතුළෙම කරන්න ඒක එයාගේ දක්ෂකමක්.
අනිත් කාරණේ පාසල් වයසේ පසුවන දරුවෙක් ව්‍යායාමයක්, සෙල්ලමක් කරන එක අනිවාර්යයි. මොකද මොලේ විතරක් නෙවෙයි දරුවෙක් ශරීරයත් වෙහෙසවන්න ඕනේ. ළමයා කොච්චර පාඩම් කරනවද කියලා තීරණය වෙන්නේ පාඩම් කරන වෙලාවෙන් නෙවේ. මුළු දවසම පොත අතේ තියන් හිටියත් වැඩක් නෑ ඒ ළමයට පාඩම් කරන දේ අවධාරණය කරගන්න සුදුසු වාතාවරණයක් ගෙදර නැත්නම්. දරුවෝ කරන හැමදේටම ‘එපාඛ කියන අම්මෙක් තාත්තෙක් වෙන්නත් එපා. සෙල්ලම් කරන්න ඇහුවත් එපා කියනවා. කාටුන් එකක් බලා බැලුවත් එපා කියනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කළත් එපා කියලා ඇයි ඒ? සෙල්ලම් කළොත්, කාටුන් බැලුවොත් පාඩම් වැඩ මගහැරෙනවා.
ඉන්ටර්නෙට් ගියොත් අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒත් ඇයි බැරි දෙමාපියන්ට “පුතේ දවසම කාටුන් බැලුවොත් පාඩම් වැඩ මග හැරෙයි”, “ඉන්ටර්නෙට් එකේ ළමයින්ට සුදුසු නැති දේවල් තියෙනවා” කියලා ගයිඩ් කරන්න. මොකද ඕනම දේක හොඳ සහ නරක දෙකම තියෙනවා.
දරුවන්ව හැමතිස්සෙම අවිශ්වාස කරන්න එපා. ඒ වගේම තවත් ළමයින් එක්ක තමන්ගෙ ළමයව සංසන්දනය කරන්න යන්නත් එපා. ගොඩක් අම්මලා පිට අයත් එක්ක කියනවනෙ “අපේ පුතා නම් කිසි වැඩක් නෑ නට නට ඉන්නවා” කියලා. තවත් වෙලාවකට කියනවා එයාගෙම වයසෙ ළමයෙක් ඉන්න තව අම්මෙක් එක්ක “මම නම් හිතන්නෑ මෙයා විභාගෙ ගොඩ දාගනියි කියලා” කියලා.
එතකොට අම්මා දරුවාගේ ඔළුවට නිකංම නෙගෙටිව් දෙයක් දාලා ඉවරයි. ඊටපස්සෙ දරුවෝ හිතන්න ගන්නවා මම දන්නෙ සෙල්ලම් කරන්න විතරයි. මම පාඩම් කරන්නෑ. අම්මත් දන්නවා මට විභාගය ගොඩ දාගන්න බෑ කියලා. ඉතින් විභාග ලියන්නත් කලින් ළමයා හිතින් ෆෙල් වෙලා ඉවරයි.
ඒ වෙනුවට කියල බලන්න දරුවට ඇහෙන්නම එයා ඔය සෙල්ලම් කර කර හිටියට මං දන්නවා විභාගේ පාස් වෙනවා කියලා. එතකොට ඒ දරුවාට තමන් ගැනම ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම්. මම පොඩි කාලේ පොතක් අතින් අල්ලපු ළමයෙක් නෙවෙයි. අපේ අම්මා බයේ හිටියේ මට හරියට විභාගය කරගන්න බැරිවෙයි කියලා. නමුත් තාත්තට විශ්වාසයක් තිබුණා මං හොඳට ඉගෙනගෙන කොහොමහරි කැම්පස් යයි කියලා. මට ඇහිලා තියෙනවා තාත්තා අම්මට කියනවා “ඔය නට නට හිටියට එයා හොඳට ඉගෙනගෙන කැම්පස් යයි” කියලා. තාත්තගේ
හිතේ මං ගැන තිබුණ විශ්වාසය මගේ හිතෙත් නිරන්තරයෙන්ම තිබ්බා.දෙමව්පියෝ නොහිතුවට තමන් ගැන විශ්වාසයක් තියන් ඉන්න අම්මා තාත්තා ගැන එයාලට තියෙන්නේ ලොකු ආදරයක්. නමුත් නිරන්තරයෙන් දරුවා අවතක්සේරුවට ලක්කරද්දී ඔවුන්ගේ හිතේ අම්මා තාත්තා ගැන දැනෙන්නේ කලකිරුණු හැඟීමක් වෙන්න පුළුවන්. දරුවො උස් මහත් කරද්දි දෙමව්පියෝ ගොඩක් මිත්‍ය වල හිරවෙලා ඉන්නේ.
හැමතිස්සෙම මතක තියාගන්න ඕනෙ දරුවෝ හැදෙන්නේ අම්මා තාත්තා දිහා බලාගෙන කියන එක. දෙමාපියන් නරක දේවල් කර කර ළමයින්ට හොඳ දේවල් ගැන ඉගැන්නුවට වැඩක් නෑ. අනිත් විශේෂම කාරණය දරුවන්ට පුංචි කාලේ ඉඳන් තනියම වැඩ කරගන්න පුරුදු කරවන්න. තනියම තීරණය ගන්න ඉඩ දෙන්න’ සමහර තැන් වලදී ඔවුන්ට වැරදෙයි හැබැයි ඊළඟ පාර ඒ වැරදුණ තැන හදාගෙන ඔවුන් ඒ දේ ලස්සනට කරගනියි.
මනෝ විද්‍යාඥ
මනෝ චිකිත්සක
සමිතා ඇතුල්දොරආරච්ච්
එරංදි කෞශල්‍යා ✍️