මේ ලෝකෙ ඉපදෙන හැමෝම අංගසම්පූර්ණව ඉපදෙන්නෙ නෑ. ඒක මනුෂ්‍යයින්ට වගේම සතා සිව්පාවටත් පොදු ධර්මතාවක්. ඒ වගේම හැමෝටම හැමදේම ලැබෙන්නෙත් නෑ. ඒත් නොලැබෙන දේත් ලබාගන්න පුළුවන් තමන් තුළ දැඩි ආත්ම විශ්වාසයක්, ධෛර්යයක් තියෙනවා නම්. ඒ විදිහට තමන්ට නොලැබුණු දේවල් ගැන පසුතැවෙන්නේ නැතිව තමන්ගේ අනාගතය ගැන දැඩි අධිෂ්ඨානයකින් ඉඳලා සාර්ථකත්වය තමන් කරා ළඟා කරගත්ත කෙනෙක් තමයි රශ්මි නිමේෂා කියන්නෙ. රශ්මි කියන්නෙ උපතින්ම දෑත් අහිමි දරුවෙක්. ඒ නිසා ඇයට පුංචි කාලෙ ඉඳන්ම අකුරු ලියන්න සිද්ධ වුණේ කකුලෙන්. ඇයට හුරු වම් කකුල. ඇය විවිධ කාලවලදී අපේ රටේ කතාබහට ලක්වුණෙත් ඇගේ කකුලෙන් ඇය තමන්ගේ ජීවිතය පියවරෙන් පියවර ජයග්‍රහණය කළ නිසයි…
රශ්මි මේ වෙද්දි අවුරුදු 22 ක යුවතියක්. කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධියක් ඇය හදාරනවා. තුන්වෙනි වසරේ ශිෂ්‍යාවක්. රශ්මි මේ කතාව ඇගේ පවුලේ විස්තර වලින්ම පටන්ගත්තා.
“මගේ පවුලෙ ඉන්නෙ අම්මියි, අප්පච්චියි, අක්කියි, මායි. අම්මියි අප්පච්චියි දෙන්නම ගුරුවරු. අක්කිත් කැලණිය විශ්වවිද්‍යාලයේ හතරවෙනි වසරේ ශිෂ්‍යාවක්. මම මුලින්ම පාසල් ගියේ දැරණියගල දෙල්ඔළුව කණිෂ්ඨ විද්‍යාලයට. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ඇහැලියගොඩ සෙන්ට්‍රල් එකට ගියා.”
ජීවිතේ ශක්තිය අම්මයි අප්පච්චියි
අම්මියි අප්පච්චියි මං වෙනුවෙන් කරපු දේවල් අප්‍රමාණයි. එයාලා මුළු ජීවිතේම කැප කළේ මං වෙනුවෙන්. 1 වසරේ ඉඳන් 5 වසර වෙනකල් මම ඉස්කෝලෙ ගියෙ අප්පච්චි එක්ක. මං දන්නෑ මං ඉපදුණු වෙලාවෙ ඒ දෙන්නට මොනවා හිතුණද කියලා. නමුත් තවමත් එයාලා මං වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඉස්සර ක්ලාස් යද්දි වගේම දැන් කැම්පස් එද්දිත් මාව ලස්සනට ලෑස්ති කරවන්නෙ අම්මි. මම උසස්පෙළට ක්ලාස් ගියේ රත්නපුරේ. අප්පච්චි උදේ 8 ඉඳන් හවස 5 වෙනකල්ම පන්තියේ එළියට වෙලා හිටියා.

අනාගතය ගැන කවදාවත් බයක් දැනුණෙ නෑ
අම්මියි අප්පච්චියි ගුරුවරු නිසාම වෙන්න ඇති එයාලා මට කවදාවත් ආබාධිත තත්ත්වය ගැන දුක් වෙන්න දුන්නෑ. එයාලා උත්සාහ කළේ මට කොහොම හරි උගන්නන්න. මං කවදාවත් කොන් වුණේ නෑ. මං පොඩි කාලෙ ඉඳන් හොඳට ඉගෙනගත්තා. මං සාර්ථකව අධ්‍යාපන කටයුතු කරගෙන යද්දි මටත් මගේ අනාගතේ ගැන කිසිම සැකයක් තිබුණෙ නෑ. දැන්නම් කොහෙත්ම බයක් නෑ.
අක්කා කියන්නෙ මගෙ දෙවෙනි අම්මා
අක්කගෙයි මගෙයි අතරෙ තියෙන සම්බන්ධය ගැන කියන්න වචන නෑ. පොඩි කාලෙ ඉඳන් දැන් වෙනකනුත් එයාගෙ දේවල් කැප කරගෙන මං වෙනුවෙන් කාලෙ යොදවන්නෙ එයා. අක්කි තමයි මගේ දෙවෙනි අම්මා.

හැම දවසක්ම අභියෝගාත්මක දවසක්
මේ ජීවිත කාලෙ පුරාවටම මට අභියෝග තමයි තිබුණේ. මට යන්තම් මතකයි මම මුලින්ම කකුලෙන් ලියන්න පුරුදු වුණ විදිහ. පන්තිවල හැමෝම අතින් ලියද්දි මම විතරක් කකුලෙන් ලියනවා. ඒ දේට මුහුණ දෙන්න හිත ශක්තිමත් කරගත්ත එකම ලොකු අභියෝගයක්. කකුලෙන් ලියන නිසා මට නියමිත උසක් තියෙන්න ඕනෙ ලියන්න. ඒ නිසා ඉස්කෝලෙටය, පන්තිවලටයි යන යන හැමතැනකම ඩෙස් එකකුයි පුටුවකුයි අරන් යන්න අප්පච්චිට සිද්ධ වුණා.
ටීචර් අප්පච්චිගෙන් ඇහුවා මට කොහොමද උගන්නන්නෙ කියලා
මොන්ටිසෝරි යන්න කලින් අම්මියි අප්පච්චියි ටීචර් කෙනෙක්ව ගෙදරට ගෙන්නලා මට උගන්නලා තියෙනවා. ටීචර් මාව දැකලා අප්පච්චිගෙන් අහලා තිබුණා කොහොමද මට උගන්නන්නෙ කියලා. එතකොට අප්පච්චි කියලා තිබුණා ටීචර් උගන්නන්න එපා ක්‍රියාකාරකම් කරන්න, දුව ඒවා බලන් ඉඳී කියලා.
මම ටීචර් එක්ක මුලින්ම පුරුදු වුණේ කකුලෙන් කොළ ඉරලා ගුලි කරලා අලවන්න. ඒ තමයි කකුලෙන් වැඩ කරන්න පුරුදු වුණ මුල්ම කාලේ. ඒ විදිහට කකුලෙන් පැන්සල අල්ලන් ලියන්නත් පුරුදු වුණා. කකුලෙන් ලිව්වා කියලා සාමාන්‍ය කෙනෙක් අතින් ලියන අකුරු වලට වඩා මගේ අකුරු වෙනස් වෙන්නෙ නෑ. නියමිත ප්‍රමාණයට අනිත් අය ලියන වේගෙන්ම මටත් ලියන්න පුළුවන්.
A 3 ක් එක්ක උසස්පෙළ සමත් වුණා
අනිත් විභාග වගේ නෙවේනෙ උසස්පෙළ කියන්නේ ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එක දිගට ගොඩ වෙලාවක් කකුලෙන් ලියන්න බෑ කකුල ගොඩක් කැක්කුම හැදෙනවා. කැක්කුමයි කියලා මට ලියන එක නවත්තන්නත් බෑනේ. කැක්කුමක් ආවොත් බෙහෙත් අරන් ආයෙත් ස්ටඩීස් කළා. උසස්පෙළ ප්‍රතිඵල ආපු දවස අද වගේ මතකයි. අක්කි තමයි ප්‍රතිඵල බැලුවෙ. මට නම් බලන්න බය හිතුණා.
ප්‍රතිඵල දැකපුගමන් මට ඇඬුණා. අම්මියි අප්පච්චියිත් ඇඬුවා. අවුරුදු 13ක් ඒ දෙන්නා කරපු කැපකිරීම්වල ප්‍රතිඵලය ඒ විදිහට ලබද්දි ඊටවඩා දෙයක් එයාලට තියෙන්න විදිහක් නෑ. සාමාන්‍ය පෙළටත් මම A 8යි B1 යි ගත්තා. ජීවිතේ දිනන්න ඕන කියන සිතුවිල්ල මට ලොකුවටම තියෙනව.
ඒ සිතුවිල්ලත් එක්ක මම ගොඩක් මහන්සි වුණා. මොකද මේ විභාග දෙක කරගත්තොත්නෙ ජීවිතේ ගොඩදාගන්න පුළුවන්. කඩාවැටුණු තැන් නැතුව නෙවේ. නමුත් හැමතැනදිම අම්මියි අප්පච්චියි හයියට හිටියා. මං හිතාගෙන ඉන්න ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ මට අනිවාර්යයෙන්ම ළඟාකරගන්න ඕනෙ.

දෛවය මට හොඳ යාළුවෝ මුණගැස්සුවා
මොන්ටිසෝරි කාලෙ ඉඳන් මේ වෙනකල්ම මට යාළුවන්ගෙන් අඩුවක් තිබුණෙ නෑ. හම්බුණෙත් මට හොඳටම උදව් කරන යාළුවෝ. කැම්පස් එකෙත් මට ඒ වගේම යාළුවො ගොඩක් ඉන්නවා. ඒ අය ඉන්න එක මට ලොකු හයියක්.
මං ගායිකාවක් වෙන එක අප්පච්චිගෙ හීනයක්
මගේ අම්මි මියුසික් ටීචර් කෙනෙක්.අම්මිගෙන් තමයි මට ඒ හැකියාව ආවෙ. අප්පච්චිට ආසාවක් තිබුණා ශිෂ්‍යත්වෙන් පස්සෙ මම මගේම සින්දුවක් කරනවට. ඒ විදිහට මං මගේ පළවෙනි ගීතය හය ශ්‍රේණියෙදි කළා.
ඒකෙ මියුසික් කළේ නවරත්න ගමගේ අන්කල්. පද රචනය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. මම මේ වෙද්දි සින්දු පහක් විතර කරලා තියෙනවා. කොන්සර්ට් පහකුත් කළා. නදීක ගුරුගේ, නවරත්න ගමගේ වැනි ක්ෂේත්රයේ ප්‍රවීණයෝ මට ඒ වැඩවලට ලොකු සහයෝගයක් දුන්නා.
මම අභිප්‍රේරක කථිකයෙක්
මට ආරාධනාවක් ලැබුණොත් පාසල්වලට, රැකියා ආයතනවලට ගිහින් මෝටිවේෂනල් ස්පීච් කරනවා. මම මේ සතියේ පටන්ගන්නවා ‘The miracle journey‘ කියලා වැඩසටහනක්. ඒකෙ එක කොටසක් විදිහට මම කරන්නෙ මගේ ජීවිතේ උදාහරණ අරගෙන ඉලක්කයකට මුහුණ දෙන විදිහ, අභියෝග ජයගන්න විදිහ වගේ දේවල් කතා කරන එක.
පාසල්වලින් මට එවැනි වැඩසටහන්වලට ගොඩක් ආරාධනා ලැබෙනවා. The miracle journey එකේ තව කොටසක් විදිහට උසස්පෙළ ගැන නිසි ඉලක්කයක් නැති, පාඩම් කරන්න උනන්දුවක් නැති, පාසල් වැඩ එක්ක පීඩනයෙන් ඉන්න ළමයින්ව අවසාන මාසෙ ඉඳන් හෝ වැඩ කරන්න ධෛර්යමත් කරවන Online program එකකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මම වගේ අයට මං දෙන අවවාදය
මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම හැමදේම ලැබෙන්නෙ නෑ. ලැබෙන දේවල් තියෙනවා. නොලැබෙන දේවල් තියෙනවා. කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. විශේෂ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්නම් එහෙම අවශ්‍යතාවයක් තිබුණත් ඒ කෙනාට ඇත්තටම කරන්න පුළුවන් දේ ඊට වඩා ලොකු දෙයක් වෙන්න පුළුවන්. සමාජය කොහොම තමන් දිහා බැලුවත් තමන් තමන්ගේ ගමන යනවා කියන ආකල්පය තියාගන්න. තමන්ට ආබාධයක් තිබුණා කියලා සමාජයෙන් ඈත් වෙලා ගෙදරට වෙලා ඉන්න එපා. තමන්ට පුළුවන් දේහඳුනගන්න. ඒ දේ ප්‍රයෝජනයට ගන්න.
එරංදි කෞශල්‍යා ✍️