කාලයක් රේඩියෝ එකක වැඩ කරන කාලෙ එක්තරා රසිකයෙක්ට මාව බලන්න ඕන වුණා. ඒ කාලෙ වට්සැප්, ෆේස්බුක්, ඉස්ස්ට්රග්රෑම් මුකුත්ම නෑ. දවසක් ඒ රසිකය මාව බලන්න අපේ කාර්යාලයට ආවා. මමත් ඔහු බලන්න ගියා.එකවරම ඔහු මාව ප්‍රතික්ෂේප කළා. “ ඔයා රේඩියෝ ඉන්න කෙනා නෙමෙයි ” කියල කීව මම සෑහෙන අපහසුතාවට පත්වුණා, මට සිද්ධවුණා මගේ රාජකාරි හැඳුනුම්පත ඔහුට ඉදිරිපත් කරල මේ මම බව සනාථ කරන්න.
මට ළඟදි මුණගැහුන ලංකාවෙ ජනප්‍රිය රේඩියෝ නිවේදිකාවක්. ඇය කවදාවත් සමාජ මාධ්‍යවල නැත්නම් රූපවාහිනී මාධ්‍යවල පේන්න නෑ.
මම ඇගෙන් ඇහුව “ ඇයි ඔයා ෆෙස්බුක් නැත්තෙ ” කියල. ඇගේ උත්තරය හරි අපූරුයි.ලෝකෙ ජනප්‍රිය රේඩියෝ චරිතයක් ඉන්නව මිනිහ හැමදාම තමන්ගෙ වැඩසටහන නිමා කරන්නෙ “ I will see you tomorrow ” කියල. රූපවාහිනී නිවේදකයකුට සාමාන්‍ය කතාවක් වුණත් රේඩියෝ චරිතයක් හෙට අපිව මුණගැහෙන්නෙ කොහොමද කියල කාටහරි හිතන්න පුළුවන්.
ඒත් ඇත්තම කතාව කියන්නෙ, අපි හැමවෙලේම අනෙකාගෙ හිතේ මවන පින්තූරය පවත්වාගෙන යාම කොයිතරම් වටිනවද කියන එක. අනිකාගෙ හිතේ තමන් නඩත්තු කරගෙන යන චිත්‍රය කොයිතරම් වැදගත් ද කියන එක. මූණට මුණගැසීමට වඩා හදවතට මුණ ගැසීම හරි සුන්දර වැඩක් වගේම අමාරු වැඩක්. මුහුණට මුණගැසෙන මිනිස්සුන්ගෙන් බහුතරයක් අපේ හදවතේ නෑ.
ඒත් මුහුණට මුණ නොගැසෙන සමහර අය අපේ හදවතේ ඉන්නවා. හදවතින් බැහැදකින මිනිස්සු, මුහුණට බැහැදකින මිනිස්සුන්ට වඩා ලස්සනයි සුන්දරයි.
මුහුණට මුණගැහෙන වෙලාවට පේන සමහර කැත, අවලස්සන හදවතින් මුණ ගැහෙන වෙලාවට පේන්නෙ නෑ. මියුසික් වීඩියෝ නැති කාලෙ අපි අහපු පරණ සිංදු තාමත්

ලස්සනයි, අපි ඒවට තාම ආසයි. ඒකට හේතුව අපි ඒ සිංදු මුණගැසුනෙ හදවතින් නිසා. ලෝකෙ ජනප්‍රිය රේඩියෝ තරු කවදාවත් රූපවාහිනී මාධ්‍යයට නොඑන්නෙ ඒ නිසා. නවකතා කෙටිකතා කවි අමරණීය වෙන්නෙ ඒ නිසා. නවකතාවලින් හැදෙන චිත්‍රපට අසාර්ථක වෙන්නෙ ඒ නිසා. කඩදාසිවල ලියන පෙම්හසුන් හරිම රෝමාන්තික ඒ නිසා.
I will see you tomorrow
නුවන් ගම්මම්පිල