යහගුණ ඇති පුද්ගලයන් රැකියාව දේව කාර්යටත් වඩා උතුම් කොට සලකනවා.නොපෙනෙන දෙවියන්ටත් වඩා ඔවුන්ගේ ජීවිතයේ පැවැත්මට රැකියාවෙන් ලැබෙන ඵලදායීතාවය වචනයෙන් මිල කරන්න බැහැ. ඇතැම් අය රැකියාවට මහත් වූ විදිහට සලකනවා. නමුත් රැකියාවකට අපි පිවිසෙනවාත් සමගම විශ්‍රාම යා යුතු දිනයකුත් තිබෙනවා. ඒ අන්දමින් විශ්‍රාම ගිය දිනයකදී මහත් වූ මානසික හුදෙකලාවක් ඇති වෙනවා. එවැනි හුදෙකලාව පිරිමසා ගැනීම සඳහා තමන් විසින් කළ රැකියාව නිවස තුළ නිර්මාණය කරගත් අපුරු පුද්ගලයෙකු ගැන ගාල්ල බටුවන්තඩාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඔහු අමරදාස බටුවන්තුඩාව…
එහෙමනම් ඔබේ නිවසේ තිබෙන මේ දුම්රිය අංගනය පිළිබඳ සංකල්පය හිතට නැගුන අන්දම ගැන මතකය අප වෙනුවෙන් ආවර්ජනය කරනවා නම්…
මම පුංචි කාලයේ පටන්ම දුම්රිය රියදුරෙක් විදිහට සේවය කරන්න ඕනෑම කියන හීනයෙන් කාලය ගෙවපු පුද්ගලයෙක්. ඒ තරමටම මම මේ රැකියාවට ආදරෙයි.හපුවල මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු මම එතැනින් පසුව දුම්රිය රියදුරු සේවය වෙනුවෙන් රත්මලාන දුම්රිය පුහුණු පාසලට ඇතුලත් වුණා. මේ පුහුණුවෙන් පසුව ලිඛිත පරීක්ෂණයක් තිබුණා. මම එයිනුත් සමත් වුණා. එතැනින් පසුව 1970 වසරේ දුම්රිය රියදුරෙක් විදිහට මම සේවයට සම්බන්ධ වුණා. 2005 වසරේ මම විශ්‍රාම ගත්තා. අවුරුදු 35 ක් ලංකාවේ හැම පළාතකම සේවය කළා. ඒ වගේම විවිධ දුම්රිය එන්ජින් ධාවනය කළා.

විශ්‍රාම ගත්තාට පසුව…
ඕනෑම කෙනෙකු විශ්‍රාම ගත්තාම නිවෙස්වල සීමා වෙනවා. නමුත් අපි හැම දෙනාටම සේවයේ යෙදී සිටියදී ලැබු අත්දැකීම් තිබෙනවා. ඉතින් මේ විදිහට නිවසේ ඉන්න විට මට හිතුණා දුම්රිය ආකෘති ගොඩ නගන්න. ඉතින් මම ඒ කාර්යයට අත තිබ්බා. මට සාමාන්‍යයෙන් මේ විදිහට ආකෘති නිර්මාණය කරන හැකියාව තිබෙනවා. ඒ හැකියාවයි. මගේ දුම්රිය රියදුරු අත්දැකීම් සම්භාරයයි එකට එකතු වුණ අවස්ථාවක් විදිහට මේ දුම්රිය අංගනය හඳුන්වන්න පුළුවන්.
එක රැයකින් නිර්මාණය වුණෙත් නැහැ…
ඔව්. මම මේ සංකල්පය නිර්මාණය කරන්න අවුරුදු හත අටක්ම කල්පනා කළා. පිටරටවලිනුත් පොත් ගෙන්නා ගත්තා. සාමාන්‍යයෙන් මම මේ අංගනය නිර්මාණයටම නොවෙයි, රැකියාව කරන කාලයේ පටන්ම මගේ දැනුම සඳහා ඇමරිකාව, ජපානය, ජර්මනිය වගේ රටවල්වලින් දුම්රිය පිළිබඳ පොත් ගෙන්නා ගෙන කියවනවා. මගේ ඉල්ලීම් අනුව මේ රටවල්වලින් නොමිලයේම මේ පොත් මට එවනවා.
අපි ජීවිතයේදී දැනුම අලුත් කර ගන්න ඕන. රැකියාවක් කියන්නේ අදාල පැය ගණනට සීමා වෙලා මාසය අන්තිමට වැටුප අතට ගැනීම නොවෙයි. මම රැකියාවට ගිය දා පටන්ම අදාල දැනුම පුළුල් කර ගන්න පිපාසයක් තිබුණා. ඉතින් ඒ පිහිටීම නිසාම අදටත් මගේ දැනුම සමාජයට බෙදා දෙන්න පුළුවන්කම මට තිබෙනවා.
දෙමා්දර කියන්නේ බොහාම ආකර්ශනීය දුම්රිය ගැටයක්…
ඔව් පිහිටීම අනුව බදුල්ලේ දෙමෝදර දුම්රිය මාර්ගය සුවිශේෂියි. මුලින්ම උඩරට දුම්රිය මාර්ගයේ බදුලු දුම්රිය පටන් ගත්තේ 1921 වසරේ මාර්තු 21 වැනිදා. කොළඹ ඉඳන් ධාවනය වුණ දුම්රිය මේ මාර්ගයේ පිහිටීම නිසා ඉදිරියට ධාවන කරන්න අපහසු බැවින් ආපසු හරවාගෙන ගියා. මේ සිද්ධිය හරක් බලමින් සිටි පුද්ගලයෙක් දැක්කා. ඔහුට කතා කරන්න බැහැ.
ඒ පුද්ගලයා හිසේ තිබුන ජටාව නවා මේ විදිහට දුම්රිය මාර්ගය සකස් වුණොත් හොඳයි යන අදහස දුන් බැව් ජනප්රවාදයේ සඳහන් වෙනවා. ඩී. ජේ විමලසුරේන්ද්‍ර මහතා ඒ නිසා මේ බෑවුම් දිග් අඩි 44 කට එක් අඩියක් බැගින් දක්වා පහත් කරලා මීටර් 800 ක වට රවුමක් සහිත බිංගෙයක් විදිහට නිර්මාණය කළා. 1924 වසරේ පෙබරවාරි 5 වැනි දා මේ බිංගෙය ඇතුලෙන් මුලින්ම දුම්රියක් ධාවනය වුණා.
මේ දුම්රිය ගමන් මාර්ග සර්පිලාකාර හැඩයකින් ගමන් කරනවා. එක පැත්තකින් ඇවිත් නවත්වලා බිංගෙයට ඇතුලු වෙලා කන්ද වටා ගොස් නැවත බිංගෙය ඇතුලින් පිට වෙනවා. මේ දුම්රිය උමඟ මීටර් 127 ක් දිගයි. එකම දුම්රියක් එකම දුම්රිය ස්ථානයකදී ඇතුළු වීම සහ පිටවීම දෙවතාවක් සිදු වීම මේ දෙමෝදර දුම්රය රේල් ගැටයේ සුවිශේෂී ලක්ෂණයක්.

ඒ වගේම මෙතැන සුවිශේෂී ආකර්ශණයක් සහිත තැනක් අඩි 4000 ක උසින් view point එකක් තිබෙනවා. දුම්රිය බිංගෙයට ඇතුළු වෙලා වටයක් ගිහින් නැවත පිට වෙනවා. මම හදපු ආකෘතියත් මේ විදිහටම බිංගෙය ඇතුලෙන් ධාවනය වෙනවා.බිංගෙය ඇතුලෙන් ගිහින් ඉතින් මේ ආකර්ශණීය ගමන ගාල්ලේ මගේ නිවසේ පිහිටි ආකෘතිමය දුම්රිය අංගනයේදී නරඹන්න පුළුවන්.
ඒ කියන්නේ ගාල්ලේ බටුවන්තුඩාවට ආවොත්. දෙමෝදර දුම්රිය අංගනය නරඹන්න පුළුවන්…
සහතිකවම. මේ දුම්රිය අංගනය සම්පූර්ණයෙන්ම දෙමෝදර දුම්රිය අංගනයම පරිමාණයෙන් කුඩා කළ ආකෘතියක්. දුම්රිය මාර්ග… කන්ද පල්ලම දුම්රිය බහින විට විසිල් එක… ආරුක්කු පාලම් නවය… කොටින්ම NH වර්ගයේ එන්ජිමක් හරවන්න Turn table එකක් අවශ්‍ය වෙනවා. මම ඒ ආකෘතියත් මෙතැන තියෙනවා. දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක වෙනවා. එක විදුලිය දැල්වීම දුම්රිය පන ගැන්වීම, විදුලිය දැල්වීම, ධාවනය සීරු මාරුව මේ සියල්ලම තිබෙනවා. බුලට් දුම්රිය, තෙල්, ගල් අගුරු කෝච්චියක්… නිවසේ ඉඳන්ම දුම්රිය ධාවනය කරන්න පුළුවන්. එන්ජින් වර්ග 40 ක් මා සතුව තිබෙනවා.
මේ වෙනුවෙන් වියදම්…
මේ වියදම් සියල්ල මගේ පුද්ගලික වියදම්. නමුත් මම නිර්මාණයෙන් විශාල තෘප්තියක් ලබනවා. අදට වුණත් දුම්රිය සේවය ගැන ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකුට හෝ ඒ ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ ආකෘතියෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවනි. දෙමෝදර යන්න පෙරාතුව මේ ආකෘති නැරඹුවොත් දුම්රිය ගැටයෙන් ආකර්ශනය ගැන ප්‍රායෝගිකව දැනුම ලබා ගන්න පහසුවක් වෙනවා.
ඉදිරියට මේ ආකෘතිය තවත් සංවර්ධනය කරන්න අදහසක් තිබෙනවාද…?
මට දැන් වයස අවුරුදු 89 ක්. ඉතින් තවත් මේ වගේ අලුත් කටයුතුවලට යොමු වෙන්න නම් ලොකු අදහසක් නැහැ. ඒත් මගේ මේ ආකෘතිය මම ජීවත්ව සිටින තෙක් මා සමග ජීවත් වෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️