“අපි ඉක්මනට බඳිමු” මෙය සියලු පෙම්වතුන්ගේ එකම පැතුම වේ. සියලු ප්‍රේමවන්තයින් විසින් තම ප්‍රේමවන්තියට ආදරයේ නාමයෙන් ලබා දෙන පොරොන්දුව මෙය වේ. එනම්, විවාහ කරගන්නා බවට ලබා දෙන පොරොන්දුවයි. ඔබ මෙතෙක් කල් මෙවැනි පොරොන්දු ඇතුළත් කරමින් ලියූ පෙම් හසුන්, යැවූ කෙටි පණිවුඩ කොපමණ වේද? වාර ප්‍රමාණය කොපමණක් වූවත් ඒ පිළිබද පවතින නීති තත්ත්වය ඔබ දැන සිටියාද? පොරොන්දු වූ පරිදි විවාහයට දුන් පොරොන්දු කඩ කළහොත් ඉන් ඇති විය හැකි නෛතික තත්ත්වය පිළිබදව ඔබ දැන සිටියාද?
විවාහ පොරොන්දුවක් යනු කුමක්ද?
විවාහයක් සිදුවීමට පෙර අදාළ තැනැත්තාව විවාහ කරගන්නා බවට සිදුකරනු ලබන පොරොන්දුව සරලව විවාහ පොරොන්දු ලෙස අර්ථකථනය කළ හැකිය. තවත් ලෙසකින් පවසන්නේ නම්, එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වය විවාහ කරගැනීමේ පැහැදිලි චේතනාවකින් යුක්තව දෙනු ලබන පොරොන්දුවකි. එනම්, එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට විවාහ යෝජනාවක් කිරීම සහ අනෙක් පුද්ගලයා විසින් එම විවාහ යෝජනාව පිළි ගැනීම (අර්පණය කිරීම) විවාහ පොරොන්දුවක් සේ සලකනු ලබයි.
Beling vs. Vethacan යන නඩුවේ දී එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට ලබා දී තිබූ ලිපියක අන්තර්ගත වූ “අප විවාහ වනතුරු මම ඔබ නොරවටමි. අප ඒ ප්‍රීතිමත් දිනය සිකුරාදා ට පසුව එන අප්‍රේල් අටවනදා ට යොදා ගමු” යන ප්‍රකාශය විවාහ පොරොන්දුවක් ලෙස අධිකරණය විසින් අර්ථකථනය කර ඇත. තවද, Kumarathilake Vs. Jayanthμ යන නඩුවේ දී විවාහ වන බව සහ විවාහයෙන් පසු තත්ත්වය පිළිබඳව විස්තර කර තිබූ ලිපියක් විවාහ පොරොන්දුවක් ලබා දුන් බවට අර්ථකථනය කර ඇත.
එමෙන්ම උදලාගම එදිරිව බෝවන්ගේ නම් නඩුවේ දක්වා ඇත්තේ පෙරදී ලබා දුන් වාචික පොරොන්දුවක් පසුව යවන ලිපියකින් පිළිගෙන තවදුරටත් ඉන් බැදී සිටීමට සතුටු බව අදාළ පාර්ශවය විසින් පිළිගෙන ඇත්නම් එය වලංගු ලිඛිත පොරොන්දුවක් බවයි.
විවාහ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් අදාළ වන නීතිය කුමක්ද?
මේ සම්බන්ධයෙන් 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත අදාළ වේ.
එකී පනත ප්‍රකාරව විවාහ පොරොන්දු කඩ කිරීම යනු කුමක්ද?
සරලව ම විවාහ දිනයේ දී එක් පාර්ශ්වයක් විවාහයට නොපැමිණීම, එක් පොරොන්දුවකින් බැඳී තිබිය දී තවත් පොරොන්දුවක් ලබාදීම, වෙනත් විවාහයක් සිදුකර තිබීම වැනි අවස්ථා විවාහ පොරොන්දු කඩ කළා යැයි කිව හැකිය. මුතුකුඩ එදිරිව සුමනාවතී නඩුවේ දි මනාලිය අදාළ දිනයේ දී මංගල ඇදුමින් සැරසී සිටිය ද, මනාලයා නොපැමිණීම නිසා ඇති වූ මානසික පීඩනයට හා සිදු වූ අපහාසයට වන්දි ඉල්ලා නඩුපැවරීමේ දි “නැකැත් පත්‍රය” වලංගු විවාහ පොරොන්දුවක් ලෙස පිළිගෙන වන්දි පිරිනමා ඇත.
තවද, විවාහ පොරොන්දුව කඩ කරන ලද පුද්ගලයා එය ප්රකාශිතව ම කඩ කර තිබිය යුතු නැත. Sawyer Vs. Tringham යන නඩුවේ දී විත්තිකරු විසින් පැමිණිලිකාරිය හට දන්වා ඇත්තේ තමා අනියම් පෙම්වතිය සමඟ ජීවත් වන බැවින් විවාහ ගිවිස ගැනීමෙන් තමාව නිදහස් කරන ලෙසයි. මෙකී ප්‍රකාශය අධිකරණය විසින් විවාහ පොරොන්දු කඩ කිරීමක් වශයෙන් සලකා ඇත.
විවාහ පොරොන්දුවක් ලබා දිය හැකි වන්නේ කාටද?
සාමාන්‍යයෙන් විවාහ පොරොන්දුවක් ලබා දීම කළ හැක්කේ විවාහ වීමේ හැකියාවක් පවතින පුද්ගලයන්ට පමණි.
නීතිය ඉදිරියේ වලංගු විවාහ පොරොන්දුවක් ලබා නොදිය හැක්කේ කාටද?
වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්, වලංගු විවාහයක් පවතින පුද්ගලයන්, තහනම් ඥාති සබඳතාවක පාර්ශ්වයක් සහ උමතු පුද්ගලයන් විසින් ලබා දෙන විවාහ පොරොන්දු නීත්‍යානුකූල විවාහ පොරොන්දු ගණයට අයත් නොවේ.
විවාහ පොරොන්දුව සිදු කර තිබිය යුත්තේ කෙසේද?
විවාහ පොරොන්දුවක් ලිඛිතව සිදු කර තිබීම අවශ්‍ය වුවත්, වර්තමානයේ දී ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ස්ථාපිතවීම සහ කෙටි පණිවුඩ, WhatsApp, E-mail වැනි ඒවා මගින් ලබාදුන් විවාහ පොරොන්දු සාක්ෂි වශයෙන් යොදා ගැනීමට 1995 අංක 14 සාක්ෂිපනත (විශේෂ විධිවිධාන) මගින් ප්‍රතිපාදන සලසා ඇත. මෙහිදි අදාළ විවාහ පොරොන්දුව පැහැදිලිව සහ ස්ථිරව දක්වා තිබීම ද කළ යුතුය.
විවාහ පොරොන්දු කඩ කර ඇත්නම් ලබා ගත හැකි සහනයන් මොනවාද?
අතීතයේ පොදු නීතිය ප්‍රකාරව විවාහ පොරොන්දුවක් කඩ කර ඇත්නම්, කඩ කළ පුද්ගලයාට එකී විවාහ පොරොන්දුව එලෙස ම ඉටු කරන ලෙස බල කිරීමක් කළහැකි තත්ත්වයක් තිබුණි.නමුත් වර්තමානයේ දි එසේ කළ නොහැකි අතර ඒ වෙනුවට අගතියට පත් පුද්ගලයාට විවාහ පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් අලාභ ඉල්ලා වන්දි නඩු පැවරීමේ හැකියාව පවති. එලෙස අලාභ ලබාගත හැකි වනුයේ සත්‍ය වශයෙන් ම සිදු වූ හානිවලට (වර්තමානයේදි වන හානිය” අනාගත හානිය සහ මානසික හානිය) සහ වංචාවටය.මෙහිදි වන්දි ලබා ගැනීමට නම්, එක් පාර්ශවයක් විසින් විවාහ යෝජනාවක් කර තිබිය යුතු අතර අනෙක් පාර්ශ්වය විසින් එකී විවාහ යෝජනාව පිළිගෙන තිබිය යුතු බව ඔප්පු කළ යුතුය.
විවාහ පොරොන්දුවක් කඩ වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය ඇත්තේ කුමන අධිකරණයකට ද?
මෙය සිවිල් කාරණයක් බැවින් මේ සම්බන්ධයෙන් දිසා අධිකරණයේ වන්දි නඩුවක් පැවරීම කළ යුතුය.
විවාහ පොරොන්දු කඩ වී ඇති විටෙක හානි පූරණය කර ගත හැකි වන්නේ කෙසේද?
1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 20 (3) වගන්තිය තුළ විවාහ පොරොන්දුවක් කඩ කිරීම සම්බන්ධයෙන් හානිපූරණය කෙරෙන අන්දම සඳහන් කර ඇත. ඒ අනුව විවාහ වීම සඳහා ලබාදුන් පොරොන්දුවක්, ගිවිසුමක්, පෙලඹවීමක්, හේතුවෙන් සිතට ඇති වූ දුක, කණගාටුව හෝ මූල්‍යමය හානිය උදෙසා ද, පොරොන්දුව කඩවීම හේතුවෙන් ඇති වූ පීඩාව නිසා හැඟීම්වලට සිදු වු හානිය, සමාජයට මුහුණ දීමේදී සිදු වූ අපහසුතා මත පදනම් වී දිලික්තමය හානි සඳහා ද වන්දි ඉල්ලා සිටීමේ හැකියාව අගතියට පත් පාර්ශ්වය සතු වේ.
එමෙන්ම විවාහ පොරොන්දුව පදනම් කොටගෙන පාර්ශ්වයක් රැකියාවෙන් ඉවත්ව ඇත්නම් හෝ විවාහය සඳහා සූදානම් වීමේදී මූල්‍යමය වශයෙන් වියදම් සිදුව ඇත්නම් හෝ විවාහය නිසා අනාගත අවස්ථා අහිමි කරගෙන ඇත්නම් හෝ දැනටමත් එලෙස අවස්ථා අහිමි වීමක් වී ඇත්නම් ඒ යටතේ ද වන්දි ලබාගත හැකිය.තවද, විවාහය සිදු කරතැයි යන පොරොන්දුව මත ඒ අරමුණින් කන්‍යා දූෂණයක් සිදුවී ඇත්නම් එහිදී ද වන්දි ලබා ගත හැකිය.
විවාහ පොරොන්දුවක් ලබා දී විවාහය සිදු නොවුණහොත් නඩු පැවරිය හැකි කාල සීමාව කුමක් ද?
විවාහ පොරොන්දුව කඩ වී වසර හයක් ඇතුළත නඩු පැවැරීම් සිදුකළ යුතුය.ජීවිතයේ සුවිශේෂී සහ සංවේදිමය අවස්ථාවක් වන “විවාහපොරොන්දුව” නීතිමය වශයෙන් මෙන්ම මානුෂීය වශයෙන් ද කඩ කිරීමවනාහි යුක්ති සහගත නොවන්නේය. එබැවින් දෛනික ජීවිතයේ වඩාත් සමීප කරුණක් වන මේ පිළිබදව දැන සිටීම සැමට ප්‍රයෝජනවත් වනු ඇත.
නීතිඥ නවෝද්‍යා ගමගේ
navodyaagamage@gmail.com