අවමංගල්‍යක් යනු බෞද්ධ ඉගැන්වීමට අනුව අප කාටත් ජීවිතයේ අනිත්‍යතාවය සිහි ගන්වන අවස්ථාවක්. මෙවැනි දුක්බර අවස්ථාවකදී අසල්වැසි, පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් මියගිය පුද්ගලයාගේ පවුලේ උදවිය සමග දුක බෙදා ගැනීම අපේ සිංහල සංස්කෘතිය අනුව අනාදිමත් කාලයක පටන් පැවැතෙන සමාජ සම්බන්ධතාවයක් ලෙස සැලකෙනවා. මෙම සංවේග අවස්ථාව මුල් කර ගෙන මරණය සිදු වුන දිනයේ පටන් අවසන් කටයුතු සිදු වෙන දින තෙක්ම සතිපට්ඨාන සුත්‍රය හෝ වෙස්සන්තර ජාතකය කියැවීමේ සිරිත් අද වනවිට කාලයත් සමග නැති වී ගොස් තිබෙනවා. කාලානුරූපව එවැනි සිරිත් සමාජයෙන් බැහැර වුණත් “ පාංශකුලය පිරිනැමීමේ ” බෞද්ධ සම්ප්‍රදායන් අදටත් පැවැත්වෙනවා.
පුද්ගලයෙකුගේ මරණය ආදාහනය හෝ භුමදානය කිරීමට පෙරාතුව පාංශකුලය පැවැත්වීම බෞද්ධ සම්ප්රදායක්. බුදුරජාණන්වහන්සේ ධරමාන කාලයේදී පුද්ගලයෙකුගේ අවසාන කටයුතු කිරීමට පෙරාතුව පාංශකුලය ගැන සඳහන් නොවුනත් මළ සිරුරු ඔතා සොහොනට ගෙනත් දැමීම සිදු වුණා. ඒ මල සිරුරු ඔතා තිබුණ රෙදි භික්ෂුන්වහන්සේලා විසින් සිවුරු ලෙසින් භාවිත කළා. වරක් දෙව්දත් තෙරුන් වහන්සේ විසින් බුදුරජාණන්වහන්සේගෙන් ඉල්ලා සිටි වර පහ අතර භික්ෂුන්වන්සේලා පාංශකුල සිවුරු දැරිය යුතුයි යන ඉල්ලීමක් තිබුණා.බුදරජාණන්වහන්සේ විසින් දෙව්දත් තෙරුන්වහන්සේගේ ඉල්ලීම ප්රතික්ෂෙප කළත් පාංශකුල සිවුරු දැරූ භික්ෂුන්වහ්නසේලා බුද්ධ ශාසනයේ සිටියා. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආරණන්යගතව වැඩ වාසය කළ අතර පාංශකුල චීවරයෙන් තමන්ගේ සිවුරු පිළි සකසා ගත්තා.
අදටත් පුද්ගලයෙකුගේ අවසාන කටයුතු සිදු කිරීමට පෙරාතුව පාංශකුලයදීම සිදු වෙනවා. ඇතැම් ආගමික කණ්ඩායම් පැය විසි හතරක් ගෙවීමට පෙරාතුව සිරුර භුමදාන කරනවා. තවත් ආගමික පිළිගැනීම් අනුව මරණයෙන් පසුව ඔවුන්ගේ මෙලොව ජීවිතය පවත්වා ගෙන ගිය ආකාරය අනුව ස්වර්ගයේ හෝ අපායේ උපත ලබනවා. බුදුදහමට අනුවත් මෙලොව යහපත් සේ ගත කිරීමෙන් අපේ පරලොවත් සුගතිගාමී බවට පත් වෙනවා.
පාංශකුලය දීම…
පංශකුලය දීමේදී අපේ දායකයන් විසින් ස්වාමින්වහන්සේලා කිහිප නමකට ආරාධනා කරනවා. මෙහි සීමාවක් නැහැ. එක් ස්වාමින්වහ්නසේ නමක් වුණත් ප්‍රමාණවත්. නමුත් අද මේ වෙනුවෙන් භික්ෂුන්වහන්සේලා කිහිප නමකටම ආරාධනාවන් සිදු කරනවා. එය එක් එක් අයගේ කැමැත්ත අනුව සිදු වුණත් පාංශකුලය වෙනුවෙන් භික්ෂුන්වහන්සේලාගේ සීමාවක් නැහැ.
පාංශකුලය දීමේ පිළිවෙත්…
දේහය ආදාහනය හෝ භුමදානය කිරීමට පෙර ආගමික වතාවත් නිවසේදී හෝ සුසාන භුමියේදී සිදු කරනවා. අවමංගල සභාවේ වැඩ කටයුතු න්‍යාය පත්රයකට අනුව සිදු වෙනවා. ඒ වගේම මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ සිත සුවපත් කිරීම වෙනුවෙන් ජීවිතයේ අනිත්‍යතාවය සිහිපත් කරනවා. මේ අවස්ථවේදී දුකට පත්ව සිටින ඥාතීන්ගේ සිත් යම් පමණකින් සනසා ගැනීමට හැකි වෙනවා. මෙය එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක උපදේශනයට සමානයි.
මෙහිදී ස්වාමින්වහන්සේ විසින් පැමිණි සිටින පිරිස පන්සිල්හි පිහිටුවන අතර එයින් පසුව මතක වස්ත්‍ර පූජාව සිදු කරනවා. මෙහිදී සුදු රෙදි කඩක් පූජා කිරීම සිදු වෙනවා. මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් මේ රෙදි කඩ අල්ලා ගෙන සිටියදී භික්ෂුන්වහන්සේලා විසින් මේ ගාථා පාඨය සජ්ජායනවා කරනවා.
ඉමං මතක වත්ථං භික්ඛු සංඝස්ස දේම
හේ මතක වස්ත්‍රය භික්ෂු සංඝයාට පූජා කරමු. මතක වස්ත්‍රය පිළිගත් භික්ෂුන් වහන්සේලා විසින් ජීවිතයේ අනිත්‍ය පිළිබඳව මෙම ගාථාව සජ්ජායනා කරනු ලබනවා.
අනිච්ඡාවත සංඛාරා- උප්පාය වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුද්දන්ති- තෙසානං වූප සම්පති…
පැන් වඩා පින් අනුමෝදන් කිරීම
පාංශකුලය අවසානයේදී මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පවුලේ අය විසින් පැන් වඩා පින් අනුමෝදන් කිරීම සිදු කරනවා. මෙහිදී හිස් භාජනයකට පැන් කෙණ්ඩියකින් වත් කරන විට භික්ෂුන්වහන්සේලා විසින් මෙම ගාථාව සජ්ජායනාව සිදු කරනවා.
යථා වාරි වහා පුරා- පරිපුරෙන්ති සාගරං
ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති
තේරුම- යම් සේ ගංඟාවක් පිරී ගිය කල මහා සමුදුරට වදීද එසේම මෙතැනින් වෑහෙන ජලය ගලා යන සේ එහි සිටින මියගිය වුනට ඵලදායී වේවා
මියගිය පුද්ගලයාගේ ගුණ කථනය…
මියගිය පුද්ගලයා පිළිබඳව සිදු කරන ගුණ කථනයන්ද මෙතැන වැදගත් වෙනවා. එය මියගිය පුද්ගලයාට වඩා ජීවත්ව සිටින අයටත් වැදගත් ආදර්ශයක් සපයනවා. අපේ සමාජයට ලබා දෙන ආදර්ශ පාඨයක් තිබෙනවා. පුද්ගලයෙක් සමාජයට දැනෙන්න ජීවත් වෙන්න ඕන. යම් පුද්ගලයෙකු මිය ගිය අවස්ථාවක කිසිම දවසක ඒ පුද්ගලයා කොතරම් නරක චරිතයක් වුණත් ඒ ගැන සඳහන් කරන්නේ නැහැ. මියගිය පසුව ඒ තැනැත්තාට අගෞරව කිරීමක් අපේ ශික්ෂණය තුළ නැහැ.එහෙත්… මේ ගුණ කථනයන් තුළ අදාල මියගිය තැනැත්තා ජීවත් වුණ ආකාරය ගැන විස්තර වර්ණනාවන් කරන විට ඔහු හෝ ඇය සමාජයට දැනෙන ලෙසින් ජීවත් වුණ අයෙකු බැව් අපටත් පැහැදිළි වෙනවා.
මරණානුස්ථාති භාවනාවක්…
මරණය ගැන මෙනෙහි කිරීමත් භාවනාවක්. නමුත් බොහෝ දෙනා කවදා හෝ දිනක අපි මරණයට පත් වෙන බැව් සිතන්නේ නැහැ. විළියම් ෂේක්ස්පියර් සඳහන් කරන අන්දමට මේ ලෝකය රඟමඬලක්. අපි එහි රගන නළුවෝ වෙමු. මේ අන්දමින් අපේ පැවැත්ම ඉතාම තාවකාලිකයි. එහෙත් බොහෝ දෙනා මේ ගැන සිතන්නේ නැහැ.
ලෝවැඩ සඟරාවේ අසල් ගෙයක සොරකම් ගෙන ගිය දවසක- කුහුල් සිතින් ඉදිනේ එය රැක මෙය මිනිස් ස්වභාවයක්. නමුත් මළගිය පුද්ගලයා වෙනුවෙන් පාංසකුලය සිදු කරන විට හැම දෙනාටම තමන් කවදා හෝ දිනක මරණයට පත් වෙන බවට වූ සිතුවිල්ල සිතේ ඇති වෙනවා. මෙය තමන්ගේ චරිතය ගොඩ නගා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ලෙසින් දැක්විය හැක.
පුද්ගලයෙකු මියගිය පසුව අනිවාර්යෙන් පාංශකුලය දිය යුතුද?
පුද්ගලයෙකු මිය යෑමෙන් පසුව අනිවාර්යෙන් පාංශකුලය දිය යුතුය යන ස්ථාවරයක් බුදු දහමේ ඉගැන්වීම්වල නැහැ. පසුගිය කොවිඩ් වසංගත සමයේදී එවක පැවැති සමාජ වාතාවරණයට අනුව පාංශකුලය නොදීම මෘත දේහ පිළිබඳ අවසාන කටයුතු සිදු කළා. එයින් මියගිය පුද්ගලයාගේ පරලොව දුගතිගාමී හෝ සුගතිගාමී වීමට ඉඩක් නැහැ. එහෙත් මෙවැනි බෞද්ධ සම්ප්‍රදායන් නිසා ජීවත්ව සිටින පුද්ගලයන්ට තමන් ජීවත් විය යුත්තේ කෙසේද යන්න ගැන මනා උපදේශයක් ලැබෙනවා. ඒ වගේම මානසිකව ඇති වෙන පීඩනය දුරු කර ගැනීමට හේතු වෙනවා.
කිවියර, ගීත රචක-
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා