පොල් කටු කියන්නේ අපි ගෙවල්වල පාවිච්චියට අරගෙන අහක දාන දෙයක්. පොල් මදෙන් ප්රයෝජනයක් ගත්තත් පොල් කට්ට යන්නේ කුණු ගොඩට. ඒත් මේ අහක දාන පොල් කට්ට හරි විදියට පාවිච්චි කරල පරිසර හිතකාමී ලස්සන නිර්මාණ කරන්න කරන දක්ෂ තාත්ත කෙනෙකුයි පුතෙකුයි මිහින්තලෙන් අපට හමුවුණා.
කවුද ඇත්තටම මේ තාත්තයි පුතයි
මම රෝහිත සුසන්ත දේවසිංහ. අපි ඉන්නේ මිහින්තලේ. මගේ පුතා තමයි මනිල්ක අයංගන දේවසිංහ. අපි දෙන්නා එකතුවෙලා පොල් කටු නිර්මාණ කරන්න පටන් අරන් අවුරුදු තුනක් විතර වෙනවා.
ඇයි මේ පොල් කටුවලින් නිර්මාණ කරන්න හිතුවේ?
කොරෝනාවලට කලින් අපි කළේ බිස්නස්. ඒත් කොරෝනා වසංගතයත් එක්ක අපිට අපේ බිස්නස් එක කරගෙන යන්න බැරි වුණා. ඊටපස්සේ අපි මුලින්ම කළේ ලුණු පොල්කටු හදන එක. ඒත් ඒක දිගටම කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා පොල්කටුවලින් තව අලුත් නිර්මාණ කරන්න හිතුවා.

මේ තාත්තයි පුතයි පොල් කටුවලින් කරන නිර්මාණ මොනවාද?
මාල, මුදු, කරාබු. සාරි කටු, පළදනා, කීටැග් පොල් කටුවලින් හදන තුන්පත් රෑන වගේ ස්ටැචූස් මේ සියලු නිර්මාණ කරනවා. කස්ටර්මස්ලා ඉල්ලන විදියටත් අපි නිර්මාණ කරල දෙනවා. ඒ වගේම පොල් කටුවලින් මීට කලින් කවුරුත් කරපු නැති දෙයක් කරන්න හිතුවා. ඒකේ ප්රතිඵලයක් තමයි පොල් කටු පෑන.
මොනවද පොල් කටු පෑනෙන් තියන ප්රයෝජනය
ඇත්තටම පෑන් නම් දැන් ඕන තරම් කඩවල්වල තියෙනවා. පොල්කටු පෑනෙන් තියෙන ප්රයෝජනය මොකක්ද කියල ගොඩක් අය හිතන්න පුළුවන්. පොල් කටු පෑන පරිසර හිතකාමීයි. ප්ලාස්ටික් අන්තර්ගතයක් නැහැ. අද වෙද්දී නොහිතුවට බාල මහලු බේදයක් නැහැ හැමෝම පෑන් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන පෑන් වීසි කරන්නේ පරිසරයට. ටොන් ගාණනක ප්ලාස්ටික් පරිසරයට එකතු වෙනවා.


ඒත් මේ පොල් කටු පෑන ඉවර වුණාම පරිසරයට බැහැර කරත් කිසිම හානියක් වෙන්නේ නැහැ දිරල යනවා. ඒ වගේම මේ පෑන දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. පෑනෙ තීන්ත ඉවර වුණාම වෙන පෑනක තින්ත බටයක් පෑනට දාගෙන නැවත ලියන්න පුළුවන්. ඒ නිසා පෑන් ගන්න යන සල්ලි පවා ඉතුරු කරගන්න පුළුවන්.
කොයිතරම් කාලයක් යනවද පොල් කටු පෑනක් හදන්න?
පැය තුනක් විතර යනවා. මේක අත්කම් නිර්මාණයක්නේ. ඒ නිසා ගතවෙන කාලය වැඩියි. පොලිෂ් පවා කරන්නේ අතින්. පොල් කට්ට හයියයි. ඒ නිසා හරි ඉවසීමෙන් කරන්න ඕන.
ලංකාවේ විතරද පොල්කටු නිර්මාණ විකුනන්නේ පිටරටටත් යවනවද?
මුලින් අපි මේක පටන් ගත්තේ පාර අයිනේ තියාගෙන විකුණන්න. ඒත් දැන් මේ වෙද්දී ලංකාවේ කඩවල්වලට පොල්කටු නිර්මාණ දෙනවා. ඒ වගේම ඔන්ලයින් ඕඩර්ස් දෙනවා. තාම වර්ල්ඩ් මාකට් එකට දෙන්න බැරි වුණා. ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා.
පොල්කටු නිර්මාණ වෙනුවෙන් ජනාධිපති සම්මානයක් හම්බවුණා නේද?
ජාතික ශිල්ප සභාවෙන් පොල් කටු නිර්මාණ සදහා තරඟයක් පැවැත්වුණා. ඒ තරඟයට පුතයි මමයි එකතු වෙලා උඩරට මනාලියන්ගේ මාල හතෙන් හංසපූට්ටුව කියල හඳුන්වන මාලය හදල ඉදිරිපත් කළා. උතුරුමැද පළාතෙන් දෙවෙනි ස්ථානය ගන්න අපට පුළුවන් වුණා. ඒ වගේම ඒ වෙනුවෙන් ජනාධිපති සම්මානයක් ලබා ගන්න පුළුවන් වුණා. පුතාට තමයි සම්මානය හම්බ වුණේ.


කොහොමද පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඉල්ලුම…
ඇත්තටම හොඳ ඉල්ලුමක් තියෙනවා. මුලදි පටන් ගත්තට වඩා දැන් ලොකු පාරිභෝගික විශ්වාසයක් අප වටා එකතු වෙලා තියෙනවා. ගොඩක් අය අපව අගය කරනවා.
ලැබෙන සහයෝගය ගැන කිව්වොත්
මම තනියම නෙවෙයි පොල් කටු නිර්මාණ කරන්නේ. මගේ පුතාත් එක්ක තමයි කරන්නේ. මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
ආපු අභියෝග මොනවද?
අභියෝග නම් වැල නොකැඩී ආවා. මුලදි පටන් ගද්දිම දන්න හදුනන අය කිව්වේ පොල් කටුවලින් මේ නිර්මාණ හදල වැඩක් නැහැ ආදායමක් ගන්න බැහැ කියලා.
කාලය මුදල් වැය වෙනව විතරයි කියලා. ඔය වගේ කතා තමයි දිගටම ඇහුණේ. ඒත් ඒ දේවල්කිව්ව කියල පටන් ගත්ත දේ නතර කළේ නැහැ.
අද වෙද්දී හිතුවටත් වඩා හොඳ ඉල්ලුමක් ලැබෙනවා. ඉල්ලුමට සරිලන විදියට එක පාර නිර්මාණ දෙන්න අමාරුයි. කාලය වැය වෙන එක තමයි දැනට තියන අභියෝගය. ඒත් උපරිමයෙන් නිර්මාණ ඉක්මනින් දෙන්න කටයුතු කරනවා.
මොනවද ඉස්සරහට අලුතින් කරන් ඉන්න වැඩ?
මේ පෙරවාරි 14 වැලන්ටයින් දිනේටත් අපි අලුත් නිර්මාණයක් කළා. හංස පූට්ටුවක් හැදුවා. හංසයො දෙන්නෙක් එකට එකතු වෙලා හාට් එකක් හැදෙන විදියට තමයි නිර්මාණය කළේ. තනිකරම පොල් කටුවලින් නිර්මාණය කළේ.
හිතුවට වඩා හොඳ ප්රතිචාර ලැබුණා. තව පොල් කටු පෑනේ නම ගහල කස්ටමස්ල ඉල්ලන විදියට දෙන්න හිතන් ඉන්නවා. තව මේ වගේ අලුත් නිර්මාණ කරන්න හිතන්න ඉන්නවා.
පවනි දිලේකා ✍️