කුස හොඳින් පිරී ඇතිවිට පවා බොහෝ දෙනෙක් රසකැවිලි වැනි අතුරුපසක් ගැනීමට ලොල් වෙති. මේ පිළිබඳව සොයා බැලූ විද්‍යාඥයින් පවසන්නේ එම හැඟීම දනවන්නේ මොළයේ බලපෑම නිසා බවයි. අප ආහාර ගත් පසු කුස පිරුණු බව හඟවන මොළයේ ස්නායු සෛලම පසුව රස කැවිලි ආහාරයට ගැනීම සඳහා කුසගින්න වඩවයි.
මීයන් යොදා සිදුකළ අධ්‍යයනයක්
විද්‍යාඥයෝ මීයන් සීනිවලට ආශා කිරීමට හේතුව සොයා බැලූහ. කෙතරම් කුස පිරුණු මීයකු වුවත් සීනි මිශ්‍රිත දේ ආහාරයට ගනියි. විද්‍යාඥයින් විසින් මීට හේතුවන POMC neurons නම් නියුරෝන විශේෂයක් සොයා ගන්නා ලදී. මේ නියුරෝන සක්‍රිය වන අවස්ථාවලදී මීයකු සීනි ආහාර වෙත යොමුවෙයි.
මෙහිදී සිදුවන්නේ කුමක්ද?
මීයකු කුස පිරීමෙන් පසු සීනි ආහාරයට ගන්නා විට මෙම නියුරෝන මගින් රසායනික ද්‍රව්‍යයන් ස්රාවය වෙයි. එක් රසායනික ද්‍රව්‍යයක් මගින් ඔවුන්ට කුස පිරුණු බවක් හඟවයි. තවත් රසායනික ද්‍රව්‍යයක් වන β-endorphin ස්වභාවික අබිං වර්ගයකි. එමගින් සතුට පිළිබඳ හැඟීමක් ඇති කරයි. මේ ප්‍රසන්න හැඟීම නිසා කෙතෙක් කුස පිරුණත් මීයා තුළ තව තවත් සීනි ආහාර ගැනීමේ රුචිය වඩවයි. β-endorphin නිදහස් වෙන්නේ මීයා සීනි ආහාරයට ගැනීමේදී පමණය. වෙනත් සාමාන්‍ය ආහාර ගැනීමේදී හෝ මේද ආහාර ගැනීමේදී එය නිදහස් නොවේ. මින් පෙර කෙදිනකවත් සීනි ආහාර නොගෙන ඇති මීයන් තුළ පවා සීනි ආහාරයට ගත් සැනින් මෙම රසායනිකය නිදහස් විය. අදාළ රසායනිකය නිදහස් වීමේ මාර්ගය අවහිර කළ කුස පිරුණු මීයන්ගේ සීනි ආහාරයට ගැනීමේ රුචිය නතර විය. මෙම නිරීක්ෂණය කුසගින්නෙන් පෙළෙන මීයන් කෙරෙහි අදාළ නොවීය. පුදුමයට කරුණක් ඇත. එනම් මීයන් සීනි ආහාරයට ගැනීමට පෙර ඒ දෙස ආශාවෙන් බලා සිටීමේදී හෝ සීනි රස බැලීමේදී β-එන්ඩොර්ෆින් මුදාහැරීම සිදුවීමය.
මිනිසුන් තුළ මොනවද සිදුවන්නේ?
සීනි ලබාදුන් මිනිසුන්ගේ මොළය ස්කෑන් කළ විද්‍යාඥයින් නිරීක්ෂණය කළේ ඔවුන්ගේ මොළයේද මීයන්ගේ මෙන් ඊට ප්‍රතිචාර දක්වන කලාපයක් ඇති බවයි. එම ප්‍රදේශය කුස පිරුණු බව දැනුම් දෙන, නියුරෝන අසල පිහිටි අබිං ප්රතිග්රාහකවලින් පිරී ඇත. පරිණාමීය දෘෂ්ටි කෝණයකින් මෙය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සීනි මගින් ඉක්මන් ශක්තියක් ලබාදෙන නමුත් ස්වභාවිකව දුර්ලභ නිසා සීනි ඇති සෑම අවස්ථාවකම එහි ප්‍රයෝජනය ගැනීම සඳහා මොළය සැකසී ඇති බවයි.
මින් තරබාරු කමට ප්‍රතිකාරයක්!
මෙම සොයා ගැනීම තරබාරුකමට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකිය. සමහර ඖෂධ දැනටමත් අබිං ප්‍රතිග්‍රාහක අවහිර කරයි. ඒවා ආහාර රුචිය අඩු කරන එන්නත් තරමටම බර අඩුකිරීමට හේතු වී නැත. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම ඖෂධ වෙනත් ප්‍රතිකාර සමග ඒකාබද්ධ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ඇතිවිය හැකි බවයි. එහෙත් මේ සඳහා තවදුරටත් අධ්‍යයනයන් කළ යුතුය.
https://www.sciencedaily.com ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️