අපි ඕනම කෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ එදිනෙදා අපිට අවස්ථාවන් ලැබුණත් ඊටත් වඩා හොඳම අවස්ථාවක් එනකල් බලන් ඉන්න. සමහරු අතීතය ගැන පසුතැවෙමින් ඉන්නවා. තවත් සමහරු අනාගතය ගැන දුක් වෙවී ඉන්නවා. නමුත් තමන්ට ජීවත් වෙන්න ලැබිලා තියෙන අවස්ථාව තමයි වර්තමානය. අපි වර්තමානයට ඉංග්‍රීසියෙන් Present කියනව වගේ ඇත්තටම වර්තමානය කියන්නේ Present (තෑග්ග) එකක් තමයි. නමුත් අපි මේ තෑග්ග මගහැරගන්නවා. හොඳම දෙයක් ලැබුණත් ඒ අවස්ථාව හොඳම අවස්ථාව විදිහට බාර නොගෙන ඊටත් වඩා අවස්ථාවක් එයි කියල බලන් ඉන්නවා. ඉතින් ජීවිතේ කවදාවත් සතුටු වෙන්න වෙන්නෙ නෑ. මොකද අපේ සතුට හැමවෙලාවම තියෙන්නේ ඊළඟ මොහෙතෙ නිසා.
අපි උදාහරණෙකට O/L ලියල ප්‍රතිඵල ආපු ළමයෙක් ගමු. ඒ ළමයා ්9ක් සහිතව විභාගෙ පාස් වුණත් සමත්වීමේ සතුට වැඩිකල් තියෙන්නේ නෑ. මොකද ඊළඟට එයා හිතන්න ගන්නවා මොනවද මම ්/ඛ වලට තෝරගන්න ඕන විෂයන් කියලා. O/L ලියපු ළමයා හිතනවා මට සතුටු වෙන්න පුළුවන් A/L පාස් වුණාට පස්සේ. A/L පාස් වුණ ළමයා හිතනවා මට සතුටු වෙන්න පුළුවන් කැම්පස් ගියොත්. කැම්පස් ගිය ළමයා හිතන්නෙ මට සතුටු වෙන්න නම් ඩිග්රි එක ගන්න ඕන. ඩිග්රි එක ගත්ත ළමයා හිතනවා එයාට සතුටු වෙන්න පුළුවන් හොඳ රස්සාවක් හම්බුණාට පස්සෙ කියලා. ඒ වගේ අපේ සතුට තියෙන්නේ අපි පුරුදු වෙලා තියෙන විදිහට මේ අවස්ථාවේ නෙවේ. ඊළඟ අවස්ථාවේ. නමුත් ඊළඟ අවස්ථාව හරිම අවිනිශ්චිතයි.
හුරුවීම කියන දේ අපි හිතලම කරන්න ඕන දේකුත් නෙවේ. අපි හැමෝම ස්වභාවධර්මයේ කොටස් නිසා ඕනම පරිසර තත්ත්වයකට හුරුවීමත් අපිට ස්වභාවිකවම ලැබිල තියෙනවා. පරිණාමයේදි චාල්ස් ඩාවින් කිව්වෙ ලෝකයේ ඉතුරු වෙන්නෙ බුද්ධිමත්ම හෝ ශක්තිමත්ම සතුන් නෙවේ පරිසරයට හුරු වෙන්න පුළුවන් වුණ සතුන් කියලා. එතනින් අපිට පැහැදිලියි පරිසරයට හුරුවෙන්න බැරි වුණොත් අපිට වෙන්නෙ වඳ වෙන්න.
අලුතින් රැකියාවකට ගියොත් එතන තියෙන්නේ අලුත් පරිසරයක්. ඒ අලුත් පරිසරයට එයාට හුරුවෙන්න බැරි නම් එයා කොච්චර සුදුකම් සපිරිණු පුද්ගලයෙක් වුණත් එයාට ඉක්මනින් එතනින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මට මුණගැසුණු ගොඩක් දරුවන්ගෙන් මම අහල තියෙනවා ඔයා ලොකු වුණාම කවුරු විදිහටද ඉන්න කැමති කියලා.
නමුත් ඒ ළමයින්ට අනාගතය ගැන කිසිම ඉලක්කයක් නෑ. හොඳට ඉගෙන ගෙන රස්සාවක් කරන එක විතරයි ඔළුවෙ තියෙන්නේ. මොකද ඒ දරුවන්ගෙ දක්ෂතා අඳුරගන්න කිසිම අවස්ථාවක් ලැබිලා, සිලබස් කවර් කිරිල්ලෙන් ලැබිලා නෑ. O/L පාස් වෙන විදිහෙන් තමයි A/L විෂයන් තෝරගන්නෙ.
A 9 ක් තිබුණ කෙනා බොහෝවිට තෝරගන්නෙ විද්‍යාව, ගණිතය විෂයන්. ඊට වඩා පොඩ්ඩක් ප්‍රතිඵල අඩුනම් කොමස්. ඊටත් අඩුනම් කලා. උසස් පෙළ තමයි තීරණය කරන්නෙ අපි යන්න ඕන මොන පැත්තටද කියලා. නමුත් බොහෝ දරුවන්ට වගේම දෙමාපියන්ට ඕක තේරෙන්නෙ නෑ. සමහරවිට කලා විෂයන්වලට බොහෝම දක්ෂ දරුවා A9 ක් ගත්තු නිසා විද්‍යා විෂයන් කරනවා වෙන්න පුළුවන්. ඊටපස්සෙ තමන් හදාරපු දේවල් අනුව රැකියාව ලැබුණත් ඇතැම්විට නොකැමැත්තෙන් තමන් රැකියා ස්ථානයේ කාලය ගෙවන්න සිද්ධවෙන්නේ.
සමහර කාන්තාවන්ට විවාහ වෙලා ගිහින් අලුතින් සම්බන්ධ වෙන පවුලේ පරිසරයට හුරුවීමත් ගැටලුවක්. තමන්ගෙ සැමියට වගේම සැමියාගෙ දෙමාපියන්ට, සහෝදරයන්ට අනෙකුත් නෑදෑයන්ට හුරුවෙන්න ඕන. අපේ සමාජෙ ඇතුළේ පැලපදියම් වෙලා තියෙනවනෙ නැන්දම්මා – ලේලි ගැටුම්. නමුත් ගෑනු ළමයෙක් කසාදයක් බැඳලා වෙන ගෙදරකට යන්නෙ ඒ ගෙදර පුද්ගලයන්ගෙන්
අභියෝගයක් ආවොත් අභියෝගය අඩුකරගෙන ජීවත් වෙන බලාපොරොත්තුවෙන්. කොහොම වුණත් සමහර පරිසර තත්ත්ව තියෙනවා අපිට හුරුවෙන්නම බැරි. විවාහ ජීවිතය ඇතුළේ වැඩියි. විවාහ ජීවිතේදි ඕනවට හුරු වෙන්න ගියොත් වෙන්නෙ විකෘති මිනිසෙක් නිර්මාණය වෙන එක. අධික ලෙස විශාදයට පත්වුණ කෙනෙක් තමයි බොහෝ දුරට හුරුවීම තුළින් අපි දකින්නේ.
ලංකාවේ බොහෝ දරුවන්ට දෙමාපියන් ස්වාධීන වෙන්න දෙන්නෙ නෑ. දරුවව නිදි කරවගන්නෙත් අම්මයි තාත්තයි මැද. ඒකෙන් වෙන්නෙ දෙමාපියන්ගෙත් පෞද්ගලිකත්වයට බාධා වෙන එක. ඔය පුරුද්ද අම්මලා දරුවො ලොකු වෙලා කසාද බැන්දමවත් අත්හරින්නෙ නැතිවීම තුළ තමයි බොහෝ ගැටුම් ඇතිවෙන්නේ.
ලෝකයේ තියෙනවා විසඳන්න ඕන ප්‍රශ්න සහ ඉබේ විසඳෙන ප්‍රශ්න. බොහෝ දෙනා ආතතියට පත්වෙන්නෙ ඉබේ විසඳෙන්න තියෙන ප්‍රශ්න බලෙන් විසඳන්න ගිහින්. කතාවක් තියෙනවනෙ හැමදේම වෙන්නෙ හොඳට කියලා. ලෝකෙ වෙන හැම සිදුවීමකටම රටාවක් තියෙනවා. අපි ඒ රටාව තේරුම්ගත යුතුයි. මේ වෙන හැමදේකම හොඳ පැත්තක් තියෙනවා. නමුත් අපි මනස පුරුදු කරගෙන නෑ ඒ හොඳ පැත්ත දකින්න. එතකොට අපි හිතන්නෙ දෙයක් අහිමි වීම විශාල පාඩුවක් කියලා. නමුත් බොහෝ වෙලාවට අහිමි වීම කියන්නෙ පාඩුවක් නෙවේ.
මේකට හොඳම උදාහරණය මට දවසක් පුද්ගලයෙක් මුණගැසුණා. හොඳ ව්‍යාපාරිකයෙක්. නමුත් එක්වරම ඔහුගේ ව්‍යාපාර සියල්ල කඩාවැටෙනවා. බිරිඳ අත්හැරලා යනවා. පසුව මොහු තීරණයක් ගන්නවා පිස්ටල් එකෙන් වෙඩි තියාගන්න. නමුත් මේ පුද්ගලයගෙ වෙලාවට තුවක්කුවේ උණ්ඩ තිබිල නෑ. අද වෙද්දි ඔහු නැවතත් ව්‍යාපාර ගොඩනගාගෙන සාර්ථක පුද්ගලයෙක් වී අවසන්. ඔහු මට කිව්වා “එදා හොඳ වෙලාවට තුවක්කුවේ උණ්ඩයක් නොතිබුනේ උණ්ඩෙ තිබුණ නම් අද මේ සතුට මට නෑනෙ” කියලා.
ඒ නිසා හොඳම අවස්ථාව කියන්නෙ අපි මේ භුක්ති විඳින අවස්ථාව. අපි අසාර්ථකත්වයට පත්වෙන්නෙ කාලය අභිබවා යන්න ගිහින්. පෙරුම් පුරාගෙන ඉඳලා දරුවෙක් හැදුවත් ඒ දරුවගෙ මූන බලන්න මාස නවයක් ඉවසන්න වෙනවා. ඊට කලින් ළමයව එළයට ගන්න ගියොත් වෙන්නෙ දරුවා විකෘති හෝ ලෙඩ දරුවෙක් වෙන එක. ඔන්න ඔය ඉවසීම තමයි අපිට නැත්තේ. ඒ නිසා කාලයට අභියෝග නොකර කාලය එක්ක සැහැල්ලුවෙන් ගමන් කරන්න පුළුවන් නම් ජීවිතේ බොහෝ ප්‍රශ්න කාලයත් එක්කම විසඳිලා යාවි.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා
මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️