සංචාරකයන්ට අපේ රට ආකර්ශණීය පාරාදීසියක්. සංචාරකයන්ගේ පැමිණීම අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක්. රටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් වූ ආගන්තුක සත්කාර වගේම ඔවුන්ට මාර්ගෝපදේශ ලබා දෙන්නන්ගේද අඩුවක් නැහැ. අපේ රටේ ආවේණික ආාහර පාන ලබා දුන්නත් ඔවුන් එක් අවස්ථාවක මේ අන්දමින් සටහනක් තබා තිබුණා. දඹුල්ලට ගිය සංචාරකයන්ට සූපවේදියෙක් ආහාර සකස් කරන අන්දම ප්‍රදර්ශනය කළා, ඔවුන් එය හොඳින් දැක බලා ගෙන සතුටු වුණා. අවසානයේදී මෙම ඉතාලි සංචාරකයන් “ Sivola” සංචාරක සමාගමට යම් අදහසක් ඉදිරිපත් කළා. අපට ලංකාවේ සූපවේදීන් ආහාර සකස් කිරීම නරඹනවාට වඩා මේ ආහාර අපටම සකස් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් වඩාත් වටිනා බැව් ඔවුන් සඳහන් කළා. ඉතින් ඉතාලි සංචාරකයන්ගේ මේ හීනය සැබෑ වෙලා.
එහෙනම් මාලිකා හීනටිගලගෙන් ඒ ගැන තොරතුරු අසා දැන ගනිමු. අපට ඔබ හඳුන්වා දෙනවා නම්…
ගාල්ල දඩල්ල පදිංචි මම මාලිකා හීනටිගල ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එතැනින් පසුව SLIAT ආයතනයෙන් ව්‍යාපාර මුල්‍ය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව පාඨමාලාව හැදෑරුවා. එතැනින් පසුව විගනණ ආයතනයකට සම්බන්ධ වුණා. මේ ආයතනය හරහා Shipping සමාගමකත් සේවය කළා. මාතර මහානාම පාලම ව්‍යාපෘතියේ සහකාර ගණකාධිවරියක් විදිහට සේවයේ යෙදී ඉඳලා දරුවන් කුඩා නිසා එතැනින් අයින් වුණා.
සංචාරක සම්බන්ධතාවයක් ඇති වුණේ…
මගේ සැමියා නීති විභාගය සමත්ව ඇටර්නි විභාගය වෙනුවෙන් දැන් සූදානමින් සිටිනවා. ඔහු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරන කෙනෙක්. මමත් දැන් නීති උපාධිය හදාරනවා. මේ අතර ඉතාලියට සම්බන්ධ “ Amerna Holiday ” සංචාරක ආයතනයේ දිනුෂ ෆර්නැන්ඩු මහතා හරහා සංචාරකයන්ගේ අවශ්‍යතාවය දැන ගන්න ලැබුනා.
මේ ආයතනයේ ක්ලැරන්ස් සැමුවෙල් මහතාද ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන්නා. සංචාරකයන්ට උයා ගෙන කන්න නිදහස තිබෙනවා. මේ වෙනුවෙන් අපේ ගෙවත්තේ වෙනම කොටසක් තිබෙනවා. ඒ කොටසේ එකවර 15 දෙනෙකුට උයන්න පුළුවන්.
සංචාරකයන් පැමිණියාම අපි ඔවුන් සුහදව පිළිගන්නවා. චාරිත්‍රානුකුලව පොල් තෙල් පහන දැල්වීම වැනි කටයුතු සිදු කරනවා. ඔවුන් උයන්න කැමැත්ත පළ කළාම තෝරා ගත් ආහාර වට්ටෝරු හතරක් තිබෙනවා.
මේ හතර ඔවුන්ට පිළියෙල කරන්න පුළුවනි. මේ වෙනුවෙන් Camp ලිපක් ලබා දෙනවා. එක අවස්ථාවක පහළොස් දෙනෙකුට උයන්න පුළුවන්. සමහර විට හය, හත් දෙනා ආවත් මේ වට්ටෝරු හතරම උයන්න අවස්ථාව ලබා දෙනවා.

මොනවද ඒ ආහාර වට්ටෝරු…
රොටී’ පරිප්පු, පොල්සම්බෝල සහ පෑන් කේක්. මේ හතරම පිළියෙළ කරන්න දෙනවා. අවශ්‍ය තුනපහ ප්‍රමාණ මම ලබා දෙනවා. සමහර විට ඔවුන් මිරිස්, අමුමිරිස් වගේම සුදු ලූනු අපි දෙන ප්‍රමාණයට වඩා අඩු කරනවා.
මේ අයට සැර කන්න අපහසුයි…
ඒ වගේම අපි මුලින්ම ඔවුන්ට කියනවා මේ ඔයාලට අත්දැකීම් ගන්න අවස්ථාවක්. ඒ නිසා වරදින්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. බොහෝ වෙලාවට මේ ගොල්ලන් සතුටින් උයනවා. පිටි අනනවා. වතුර වැඩි කර ගන්නවා. සමහර තැන් වරදිනවා. රොටී අනන විට වතුර දාලා අපි වගේ පිටි මෝලිය හදා ගන්න අපහසු වෙන අයත් ඉන්නවා. කොහොම වුණත් මේ ගැන ඔවුන් හරිම සතුටුයි.
පෑන් කේක් හදන්න සීනි උණු කරනවා වෙනුවට පොල් පැණි ලෑස්ති කරනවා. අපේ ගෙවත්තේ පොල් පැණි වෙනුවෙන් මදින පොල් ගස් තිබෙනවා. ඒවායේ පොල් ගස් මදින කාලයට ඔවුන්ට ඒ ගැනත් කියා දෙනවා. රා වගේ දේවල් පානයටත් ලබා දෙනවා. අපේ ගෙවත්තේ එලවළු සහ පළතුරු වගා කරල තිබෙනවා.


ඔවුන් උයන දෙය ඔවුන්ම අනුභව කරනවා…
මේ වට්ටෝරු හතර සමග අපි ලංකාවේ ක්‍රමයට සකස් කළ ආහාර ලබා දෙනවා. මුල් කාලවලදී රොටී මුලින් උයන්න සූදානම් කර තිබුණා. එතකොට ඔවුන් පොල් සම්බෝලයයි, පරිප්පුයි හදන්න කලින් රොටි කනවා. ඒ නිසා අනිත් දේවල් කන්න බැහැ. බඩ පිරෙනවා. දැන් මම රොටී අන්තිමට සකස් කරන්න කියල උපදෙස් ලබා දී තිබෙනවා. පොල් ගාන, පොල් මිරිකන මේ කටයුතු සියල්ලම ඔවුන් විසින් හරි සතුටින් කරනවා. ඒවා බලන අපටත් විනෝදයි.
ඔබ සංචාරකයන් සම්බන්ධ කර ගන්නේ…
මුලින් සඳහන් කළ විදිහට සංචාරකයන්ටම උයන්න අවස්ථාව ලබා දෙන ස්ථානයක් විදිහට ඉතාලියේ සංචාරක ආයතන දැන් අපි ගැන දන්නවා. ඒ නිසා ඉතාලි සංචාරකයන්ගේ පැමිණීම සිදු වෙනවා. ඊට අමතරව ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරන අයටත් අපි ගැන ආරංචිය ගියාම විවිධ රටවල සංචාරකයනුත් අපව සොයා ගෙන එනවා.
ඒ හැර මම කිසිම ප්‍රචාරයක් කරල නැහැ. ආරංචිවලින්ම තමයි අපේ තැන හොයා ගෙන එන්නේ. ඒ වගේම සංචාරකයන් උයන වීඩියෝ බෙදා හැරියාම ඒ ඔස්සේ ප්‍රසිද්ධියක් ලැබෙනවා.


මේ කටයුතුවලට සහයෝගයක් ලැබෙන්නේ කාගෙන්ද…?
අපට ලොකු වගකීමක් තියෙනවා. භාජන පිරිසිදු කිරීමේ පටන් ඔවුන් උයා ගෙන ආහාර බුත්ති වින්දත් ඒවා පිරිසිදු කරන කාර්යය තුළ ලොකු වගකීමක් තිබෙනවා. හදිසියේ හෝ පුංචි අඩුපාඩුවක් වුණොත් ඒක රටටම අපකීර්තියක්.
මගේ සැමියා…
සැමියාගේ මව සහ සහෝදරිය මගේ උදව්වට ඉන්නවා. මගේ මවගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ පුතාලා තවම පාසල් යන වයසේ. ඒ වුණත් ඔවුන්ටත් හැකි හැම විටම මේ වෙනුවෙන් උදව් වෙනවා.ව්‍යාපාරයක් කරනවා නම් එතැනත් යම් විවිධත්වයක් අවශ්‍ය වෙනවා.
සංචාරක කර්මාන්තයේදී නවාතැන්, ආාහරපාන, මාර්ගෝපදේශ ලබා දෙමින් ආදායම් ලබන පිරිසක් අපේ රටේ සිටිනවා. මේ එකාකාර රාමුවට සීමා නොවී අලුත් විදිහකට සංචාරකයන්ටත් අලුත් අත්දැකීමක් ලබා දෙන “අපි උයා ගෙන අපි කමු.” කියන සංකල්පය සමාජගත කළ මාලිකා වැනි නිර්මාණශීලි චරිත සැබැවින්ම අගය කළ යුතු වෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️