ඒ 2003 අවුරුද්ද. ලංකාවේ ප්‍රථම ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමය. පෙබරවාරි 04 වැනිදා නිදහස් උත්සව දින අවසන් පෙරහුරුවට සියල්ල සූදානම්. ඒ වනවිට එවක අගමැති රනිල් වික්‍රමසිංහ සහ මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සියලු දෙනා උත්සව භූමියට සම්ප්‍රාප්ත වී අවසන්. ඉතිරිව තිබුණේ ජනාධිපතිනියගේ සම්ප්‍රාප්තිය පමණයි. සුළු මොහොතකින් ජනපතිනියගේ නිල රථය වට කරගත් ආරක්ෂක රථ පෙළ නිදහස් චතුරස්‍රයට දෙසට ඇදුණා. පොලිස්පති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, යුද හමුදාපති ඇය පිළිගැනීමට ඉදිරියට පැමිණියා. නමුත් රථයෙන් බැස ජන සමූහය මැද පීඨිකාව දෙසට ඇදුණේ ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක නොවේ. වෙනත් තරුණියක්. ඇය සිටි ඉසව්ව සමීපයේ සිටි අයවලුන්ට හැර වෙනත් කිසිවෙකුට පැහැදිලිව නොපෙනුණු නිසා ඒ පැමිණියේ ශ්‍රී ලංකාවේ ජනපතිනිය නොවන වග කාහටත් අවබෝධ වුණේ නෑ. නමුත් උත්සවයෙන් අනතුරුව, පැය දෙකක කාලයක් පුරා ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලෙස සභාවේ රැඳී සිටියේ තනූජා ප්‍රියදර්ශනී නමැති ඇගේ ආරක්ෂක නිලධාරිණියක වග හීයක වේගෙන් රට පුරා පැතිරී ගියා. මේ සිදුවීම වනවිට ඇගේ වයස අවුරුදු 23ක්. නමුත් එදා ඇය උත්සව සභාවේ ජනපතිනියගේ නොපැමිණීම කිසිවෙකුටත් දැනෙන්නට ඉඩ හැරියේ නෑ. ප්‍රභූ ආරක්ෂක සේවයට ඇය බඳවා ගනු ලැබුවේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමීප ප්‍රභූ ආරක්ෂක සේවාවට කාන්තාවක් අවශ්‍ය වූ නිසයි. තනූජා ප්‍රියදර්ශනී ශ්‍රී ලංකා ප්‍රභූ ආරක්ෂක අංශයේ සමීප ආරක්ෂක කණ්ඩායමකට එකතු වුණු පළමු කාන්තාව. එම සිදුවීම සිදුවී වසර 22ක් සපිරෙන තැන අපි ගියා මේ අපූරු කාන්තා චරිතය හොයාගෙන අත්තනගල්ලට…
ඔබට ‘අත්තනගල්ලේ තනූජා ලෙස නම පටබැඳුනේ කොහොමද?
මගේ ගම ඌරාපොල. නමුත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ගමනෙ අත්තනගල්ල. අත්තනගල්ලේ තනූජා විදිහට හැමෝම මාව හඳුනගත්තේ මම මැඩම් ගාව ආරක්ෂක නිලධාරිනියක් විදිහට වැඩ කරපු නිසා කියලයි මං හිතන්නේ.
වර්තමානයේ ඔබේ රැකියාව කුමක්ද?
මට මොන්ටිසෝරි එකක් තියෙනවා. ඒ මොන්ටිසෝරියෙ ටීචර්ස්ලා හය දෙනෙක් විතර වැඩ කරනවා. ඊට අමතරව මොන්ටිසෝරි ටීචර්ස්ලගෙ රජයේ ලියාපදිංචි NVQ අධීක්ෂණ නිලධාරිණියක් විදිහට සේවය කරනවා. මනෝ උපදේශකවරියක් විදිහට යම් මට්ටමකින් කාර්යයේ නිරත වෙනවා. මම ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හදාරමිනුයි ඉන්නේ.
ඒ කියන්නෙ ඔබ මේ වෙද්දි ආරක්ෂක සේවයේ නිරත වෙන්නෙ නෑ?
නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය තනතුරේ ඉද්දිමයි මම සේවයෙන් ඉවත් වුණේ. A/L කරපු ගමන් මම ප්‍රභූ ආරක්ෂක සේවයට ගියේ. අවුරුදු පහක් මම සේවය කළා. නමුත් විවාහ වෙලා දුව ලැබෙන්න ඉද්දි මම සේවයෙන් ඉවත් වුණා.
තවමත් එතුමියව මුණගැහෙනවද?
නිතරම මුණගැහෙන්නෙ නෑ. නමුත් සමහර උත්සව අවස්ථාවලදි කලාතුරකින් මුණගැහෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදි ආගිය තොරතුරු අපි කතාබහ කරනවා.
ඔබ ප්‍රභූ ආරක්ෂක අංශයේ සමීප ආරක්ෂක කණ්ඩායමකට (Ring Round) එකතු වුණු පළමු කාන්තාව. කොහොමද ඒ අභියෝගය බාරගත්තෙ?
මං හිතන්නෙ බය නැතිව ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන් හැකියාව මට ලැබුණේ ක්‍රීඩාව නිසා. මම ශ්‍රී ලංකා කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායමේ කාලයක් ක්‍රීඩා කළා. ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජයේ තමයි මම ක්‍රීඩා කළේ. පාසල් ශිෂ්‍ය නායිකාවකුත් වුණා. මං හිතන්නෙ ක්‍රීඩාව සහ නායකත්වය තුළින් තමයි මට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබුණේ.
මෙවැනි බැරෑරුම් කටයුත්තක් කරනකොට ගෙදරින් බලපෑම් එල්ල වුණේ නැද්ද?
මගේ තාත්තා නැති වුණේ මට අවුරුදු නවයෙදි. තාත්තා හැරෙන්න මගේ පවුලෙ ඉන්නෙ අම්මයි නංගියි. තාත්තගෙ මරණෙන් පස්සෙ අපිට උගන්නලා උස්මහත් කරන්න අම්මා ලොකු දුකක් වින්දා. පොඩි කාලෙ ඉඳන්ම මම කිසිදේකට බය නෑ. බෑ කියලා දෙයක් තිබුණෙ නෑ. ගෑනු ළමයෙක් වුණාට මගේ ඇඟ ඇතුළෙ පිරිමි ළමයෙකුත් හිටියා. ඒ දේවල් එක්ක අම්මට විශ්වාසයක් තිබුණා කොහේ ගියත් මං මාව පරිස්සම් කරගෙන දේවල් කරගන්නවා කියලා.
පසුකාලීනව මම අංගම්පොර ශිල්පයත් හැදෑරුවා. රාජ්‍ය අංගම්පොර ශිල්පිණියක් ලෙස මං ගාව රජයෙන් දීපු හැඳුනුම්පතකුත් තිබුණා. මේ සේරම දේවල් කරන්න ඇඟෙන්ම එන කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත එක්ක මට ඒ දේවල් අභියෝග වුණේ නෑ. පිරිමි ගොඩක් එක්ක මට පුහුණු වෙන්න සිද්ධ වුණෙත්. ඒ කිසිම කාලෙකදි මට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලත් නෑ.
ඔබට විවිධ ආයුධ හොඳින් හැසිරවීමටත් හැකියි…
ඔව්. මං හරිම ආසයි ආයුධ හසුරුවන්න. තත්ත්පර දෙකකදි උණ්ඩ තුනක් පිටකිරීමේ හැකියාව මට තිබුණා. ඒකත් ඉනේ තියෙන පිස්ටල් එක අරගෙන.
අපහසු වුණේ නැද්ද ඔසරියක්ඇඳගෙන පිස්තෝලය හසුරවන්න?
මට ඔසරිය වගේම පිරිමි අය අඳින විදිහේ කලිසමයි ෂර්ට් එකයිත් තිබුණා. පිරිමි ආරක්ෂක නිලධාරීන් මදි වුණ දවසට මම අඳින්නෙ ඒ ඇඳුම. එහෙම නැති දවස්වලට නම් ඇන්දෙ සාරිය හෝ ඔසරිය. ඉණේ පිස්තෝලය තියාගත්තෙ කවුරුත් කියලා නෙවේ. හෑන්ඩ් බෑග් එකෙන් පිස්තෝලය අදිනවට වඩා පිස්තෝලය ඉණේ තියාගන්න එක මට පහසුයි.
ආයුධ සම්බන්දයෙන් මොනවගේ හැකියාවක්ද ඔබට තිබුණෙ?
විවිධ පුපුරන ද්‍රව්‍ය, ආයුධ ගැන විශේෂ පුහුණුවක් අපිට ලැබුණා. TIS ගන් එක, P365 ගන් එක ගලවන්නත් නැවත සකස් කරන්නත් මට පුළුවන්. පිස්ටල් එකනම් ඇස් දෙක පියාගෙන ගලවන්න, සවි කරන්න හැකියාවක් තියෙනවා.
අපි 2003 අවුරුද්දට නැවත ගියොත්, එදා නිදහස් උත්සවය දවසෙ වුණ සිදුවීම යළිත් ඔබට මතක් කරගත හැකිද?
ඇත්තටම එදා වුණ සිදුවීම මට සම්පූර්ණයෙන්ම මතක නෑ. නමුත් මතක විදිහට කියන්න පුළුවන්. මේ අවස්ථාවට මුහුණ දෙද්දි මගේ වයස අවු 23යි. එදා උදේ අපි ප්‍රභූ ආරක්ෂක සේවය සඳහා සූදානම්ව කොටුව ජනාධිපති මන්දිරයේ හිටියා. ජනාධිපතිනියගේ නිල රථය ජනාධිපති මන්දිරයේ ආලින්දය ගාව නවත්තලා තිබුණා. අපි හැමෝම හිටියේ ජනාධිපතිනිය පැමිණෙනකල්.
නමුත් ඇය පහළට පැමිණියේ නෑ. එක්වරම ජනාධිපතිනියගේ ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉක්මණින් ඇවිත් මට කිව්වා ඉක්මනට වාහනේට එකට නඟින්න, අපි පිටත් වෙන්න හදන්නේ කියලා.
එතකොට ස්කෝඩ් එකත් රෙඩි. මොකද්ද වෙන්නේ කියලා මට අවබෝධයක් තිබුණෙ නැහැ. මං කාර් එකට නගින අතරේ ඩීඅයිජී ගෙන් ඇහුවා “සර් මට මොනවද කරන්න තියෙන්නේ?” කියලා. ඔහු කිව්වා “ඔයාට මොනවත් කරන්න නැහැ මැඩම් ඉන්නවා වගේ ඉන්න විතරයි තියෙන්නේ” කියලා.

පස්සෙ මම කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ වාඩි වුණා. චන්ද්‍රිකා මැඩම්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි ඩැනිස්ටර් මහත්මයා ඉදිරි අසුනේ වාඩි වුණා.
අපි ගමන් කළ ජනාධිපතිනියගේ නිල රථය මැදි කරගෙන ස්කොඩ් එක ඉදිරියට ගියා. නිදහස් මාවත ආරම්භයේ සිට පොලිස් යතුරුපැදි කණ්ඩායමත්, යුද හමුදා යතුරුපැදි කණ්ඩායමත්, පොලිස් අශ්වාරෝහක කණ්ඩායමත් අප ඉදිරියෙන් ගමන් කළා.
මේ මොහොතේ මම ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය හැටියට ක්‍රියා කළ යුතුයි කියලා මට තේරුම් ගියා. එන දේකට හොඳින්, ශක්තිමත්ව මුහුණ දෙනවා කියන අධිෂ්ඨානය තිබුණා. මං ගමන් කරපු මෝටර් රථය ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රය අසල ඉදිකොට තිබූ පීඨීකාව අසල නවත්තනකොට නිලධාරියක් ඇවිත් කාර් එකේ දොර ඇරියා.
මං රියෙන් බහිද්දි පොලිස්පති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, යුද හමුදාපති සැලියුට් කරලා මාව පිළිගත්තා. අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, මැති-ඇමැතිවරුනුත් මා පිළිගත්තා.
සමහර විට ඔවුන් හිතන්න ඇති මං ජනාධිපති කාර්යාලයේ ලේකම්වරියක්, නැතිනම් අමාත්‍යාංශයක ලේකම්වරියක් කියලා. ශබ්ද විකාශ යන්ත්‍රවලින් නිවේදන කටයුතු කළ අය ‘ගරු ජනාධිපතිනිය ජාතික ධජය එසවීම සඳහා කැටුව යනවා ආදි වශයෙන් කියනකොට මං ඒ අනුව ක්‍රියා කළා.
ඔබට එදා ජාතිය අමතන්නත් සිද්ධ වුණාද?
එහෙම දේකට සූදානම්ව හිටියට ජාතිය අමතන්න සිද්ධ වුණේ නෑ. මම කිසිම දේකට සූදානම්ව නොහිටියත් බයක් දැනුණෙත් නෑ. කාගෙන්වත් අහ අහ කරන්නත් බෑනේ. නමුත් එන දේකට සූදානම් වෙලයි හිටියේ. ඉතාම බැරෑරුම් කාර්යයක් වුණත් මම සංසුන්ව පෝඩියම් එක ඉස්සරහා හිටගත්තා.
මගේ පිටිපස්සෙ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති සීරුවෙන් හිටගෙන හිටියා. නමුත් මට ජාතිය අමතන්න සිද්ධ වුණේ නෑ. එදා පොඩි වෙලාවක් එතන හිටියම ආචාර වෙඩි මුර පටන්ගත්තා.
එදා ඔබට පැය දෙකකට හෝ ශ්‍රී ලංකාවෙ ජනපති වීම ගැන දැනුණු හැඟීම කොහොමද?
මට එදා තදටම දැනුණෙ ජාතික කොඩිය ඔසවපු සිදුවීම. එවැනි සිදුවීමක් දකින්න ලැබෙන්නෙත් ඉතාම සුළු පිරිසකට. මොකද යුද්ධෙ කාලෙ නිසා නිදහස් උත්සවය බලන්න සෙනග එන්නෙත් නෑ ගොඩක්. එදා පැය දෙකකට හෝ ජනපතිනිය විදිහට ඉන්න ලැබුණු එක මගේ වාසනාවක්. මට එදා දැනුනේ ෂා, මැඩම්ගෙ වැඩේනෙ මම මේ කරන්නේ වගේ හැඟීමක්.
එරංදි කෞශල්‍යා ✍️