ඇය ඉමාන් කාඩර්. ඉමාන්ව අපිට විශේෂ වෙන්නෙ ඇයි? ඒ ඇය දැනට දකුණු ආසියාවේ සිටින එකම ඉස්ලාමීය DJ ශිල්පිණිය වන නිසයි. සංගීතය, විවිධ උත්සව, ඉවෙන්ට්ස් තරමක් විරුද්ධ දේවල් විදිහට සලකන ආගමක තරුණියක් විදිහට ඒ සීමා මායිම් බිඳගෙන මේ ඇවිත් තියෙන ගමන අප කතා කළ යුතුම කාරණාවක්. ඇය DJ ශිල්පිණියක් විදිහට ආපු ගමන ලේසිපහසු නෑ. ඒ වගේම තරුණියක් DJ වැනි කලාවක් තෝරාගැනීමම විශේෂ දෙයක්. ඉතින් මේ ඇගේ කතාව…
ඉමාන් ඇයි මියුසික් තෝරගත්තෙ?
පුංචි කාලෙ ඉඳන්ම මං මියුසික්වලට ගොඩක් කැමතියි. මම සාමාන්‍යයෙන් හැම ජෙනරේෂන් එකකම සින්දු අහනවා. ඒ වගේම මට සින්දු කියන්නත් පුළුවන්.
දැන් ඔබ බොහොම ප්‍රසිද්ධ තරුණියක්
මම ඇත්තටම DJ තෝරගත්තෙ ඒක මගේ පැෂන් එක නිසා මිසක් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් නෙවේ. නමුත් මට ඒක ලැබුණා. ඉතින් සතුටුයි.
කොච්චර කාලයක්ද දැන් මේ ක්ෂේත්රයට ඇවිත්?
දැන් අවුරුදු තුනකට කිට්ටුයි.
ඇයි DJ ආටිස්ට් කෙනෙක් වෙන්න හිතුණේ?
මුල්ම හේතුව ලංකාවේ ෆීමේල් DJ ආටිස්ට්ලා නෑ. කොතන බැලුවත් ඉන්නෙ පිරිමි අයම විතරයි. දවසක් මම යාළුවො කිහිපදෙනෙක් එක්ක ඉවෙන්ට් එකකට ගියා. එතනදි මගේ යාළුවෙක් මගෙන් නිකමට ඇහුවා ඇයි ලංකාවෙ ෆීමේල් ඩීජේ ආටිස්ට්ලා නැත්තෙ කියලා. එතකොට තමයි මටත් ඒක නෝටිස් වුණේ. ඉතින් මට ක්ෂණිකව හිතුණා මේ දේ ට්‍රයි කරලා බලන්න. පහුවදාම මම වැඩේට බැස්සා.
කාගෙන්ද මේ දේවල් ගැන ඉගෙනගත්තෙ?
මට DJ ගැන කිසිම දැනුමක් තිබුණෙ නෑ. මගේ සමීප හිතවතෙක් ඉන්නවා DJ කරන. එයා තමයි DJ ගැන මූලික දැනුම මට ලබාදුන්නේ. කොහොම හරි දවස් තුනකින් මම බේසික් එක අල්ලගත්තා.
ඔබ අදහන ආගම එක්ක ඔබට බලපෑම් එහෙම එල්ලවෙන්නෙ නැද්ද?
ඕනතරම් බලපෑම් එල්ල වෙනවා. මට බයින මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒත් මං එයාලට බයින්නවත් වෛර කරන්නවත් යන්නෙ නෑ. මොකද එයාලා මට බයින්නෙ එයාලා වෙනස් දෙයක් කරන්න බය නිසා. ජීවිතේ ගලාගෙන යන්නෙ එකම විදිහට.
කවුරුහරි කෙනෙක් ඇවිත් එයාලගෙ සුපුරුදු ජීවන රටාවට වඩා වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනව නම් ඒකට එයාලා අනිවාර්යයෙන්ම විරුද්ධ වෙනවා. බනිනවා. මට බැනලා දාන එක කමෙන්ට් එකක්වත් මම ගණන් ගන්නෙ නෑ.
ඒ කියන්නෙ ඉමාන්ගෙ පවුලෙන් හොඳ සහායක් ලැබෙනවා ඇති මේ ගමන යන්න?
පාටි, ඉවෙන්ට්ස්, මියුසික් කියන්නෙ අපි අදහන ආගමට අනුව විරුද්ධ දේවල්නේ. ඒ නිසාත් වෙන්න ඇති ගෙදරින් නම් ලොකු සහයක් මට ලැබුණෙ නෑ. හැබැයි එපා කිව්වෙත් නෑ. මොකද අම්මයි තාත්තයි දන්නවා මම දෙයක් කළොත් කරන්නෙ හොඳට මොළේ කල්පනා කරලා කියලා.


ඉමාන් කාඩර් මෙනවගේ චරිතයක්ද?
නිදහසේ ඉන්න කැමති ගෑනු ළමයෙක්. මම ඩාන්ස් කරනවා, ට්‍රැවල් කරනවා. ඒ වගේම තමයි ජීවිතේ හැමදේම කරන්නෙ බැලන්ස් එකේ.
පෙම්වතියක්ද?
නෑ. ආදරේ කරලා තියෙනවා. ගෙදරින් නම් නිතරම අහනවා බඳින්නෙ නැද්ද කියලා. නමුත් විවාහය කියන්නෙ ලොකු වගකීමක්. අපි විවාහ වෙන්නෙ අවුරුදු පහ හයකින් දික්කසාද වෙන්න නෙවේනේ. ඒ නිසා ඒක ගොඩක් හිතලා බලලා හදවතින් ගන්න ඕන තීරණයක්. දැන්ම ඒ ගැන හිතන්නෙ නෑ.
මේ තාක් ආපු ගමන්මග ලේසි පහසු නෑ නේද?
ඇත්තටම නෑ. ජීවිතේ කඩන් වැටුණු තැන් ගොඩක් තියෙනවා. හැබැයි මම හරිම ශක්තිමත් ගෑනු ළමයෙක්. ලේසියෙන් අඬන්නෙ නෑ. කකුලෙන් ඇදපු අයත් ඕනතරම් හිටියා. නමුත් ඊට වඩා මට උදව් කරපු අය වැඩියි. ගමන පටන්ගත්තු කාලෙ උදව් කරපු අය තවමත් මට උදව් කරනවා.
සම්පූර්ණ දායකත්වය සංගීතයටද?
මියුසික් කරන අතරේ මම මගේ අධ්‍යාපන කටයුතුත් හොඳින් සම්පූර්ණ කරගත්තා. මට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් තියෙනවා. මේ දවස්වල මාස්ටර්ස්වලටත් සූදානම් වෙනවා. මගේ උසස් අධ්‍යාපන වැඩකටයුතුවලට මම සල්ලි හොයාගත්තෙ මගේම මහන්සියෙන්.
ලංකාවෙන් පිටත් DJ ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවද?
ඔව්. ගිය අවුරුද්දෙ මට ඩුබායිවල ෂෝ එකක් තිබුණා. ඩුබායිවල ප්ලේ කරපු පළවෙනි මුස්ලිම් DJ ආටිස්ට් මම. පහුවදා මම නැගිටලා බලද්දි මං ගැන ෆේස්බුක් එකේ ආටිකල් එකක් පළවෙලා තියෙනවා දැක්කා. ඒක දැකලා මට පුදුම හිතුණා. ඒ මොහොතේ තමයි මට හිතුණේ මං ලොකු දෙයක් ඇචීව් කරගෙන තියෙනවා කියලා.
කවුරු මොනවා කිව්වත් බොහෝ ශ්‍රී ලාංකිකයො පිරිසක් ඔබ වටා ඉන්නවා. ඔබ වෙනුවෙන් ඔවුන් චියර් කරනවා. මොකද හිතෙන්නෙ ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන?
මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ලෝකෙ මොන රටක ඇවිද්දත් අපේ රටේ තරම් හොඳ මිනිස්සු කොහෙවත් නෑ. ඒ වගේම කෑම අතින් ගත්තත් ඇවිදින්න තියෙන තැන් අතින් ගත්තත් මට හොඳම ශ්‍රී ලංකාව.
විශේෂ ස්තූතිය – අශේන් සේනාරත්නට
එරංදි කෞශල්‍යා ✍️