ගැහැණු ළමයින්ට ලිංගික අධ්‍යාපන දැනුම බින්දුවයි
ගැහැණු දරුවෙක් මවක්වීම ආශිර්වාදයක්. ඇය සමාජයේ පවා සම්මානයට පත් වෙන කාන්තාවක්. නමුත් මේ සංසිද්ධිය ඇයගේ නිසි වයසට පෙර සිදු වුණොත් ඇති වෙන්නේ විසංවාද තත්ත්වයක්. එවැනි ගැහැණු දරුවන් සමාජයේ අපවාදයට පත් වෙනවා. ඇයගේ අධ්‍යාපනය පවා අතරමග නවතිනවා. මව්පියන්ගේ පවා දෝෂ දර්ශනයට පත් වෙනවා. පවුලේ නම්බුව, ගෞරවය සම්පූර්ණයෙන්ම මේ ළමා වයසේ ගර්භණීත්වය පත් වීම නිසා අහිමි වුණ බවට චෝදනා නඟනවා. සමහර විට මේ තත්ත්වය මොන තරම් මානසික පීඩනයක්ද කිවහොත් ළමා ගැබිණියන් සිය දිවි හානි කර ගන්නා තැනට පත්වීමට තරම් දරුණු වෙනවා.
ළමයෙක් කියන්නේ කවුද?
1989 වසරේ නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු සියලු අය දරුවන්ය. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 ( ඉ ) වගන්තියට අනුව වයස අවුරුදු 16 ට අඩු තැනැත්තියක සමග ලිංගික සංසර්ගයේ යෙදීම “ දූෂණයක් ” ලෙස හැඳින්වෙනවා.
නමුත් අපේ රටේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන වාර්තාවට අනුව 2023 වසරේ පාසල් යන වයසේ ගැහැණු ළමයින් 163 දෙනෙකු ගැබිණි මව්වරුන් බවට පත් වී සිටිනවා. 2024 වසර වනවිට ඒ තත්ත්වය 213 දක්වා ඉහළ ගිය බවත් වාර්තා වෙනවා.
ඒ විතරක් නොවෙයි, 2024 වසරේ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10 ක දැරියක් ගැනත් වාර්තා වෙන අතර ඇය ළමා වයසේ පසුවෙන ගැබිණි මව්වරුන් අතර ලාබාලතම ගර්භණී මවක් බවත් පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දත්තවල සඳහන් වෙනවා. ඒ වගේම මේ වාර්තා වෙන අයගේ දත්ත පමණයි. පොලිසියට වාර්තා නොවන සහ රහසිගත ලෙසින් සිටින ළමා ගර්භණිවරුන්ගේ සංඛ්‍යාවන් මේ දත්තවලට ඇතුලත් වෙන්නේ නැහැ.
ප්‍රේම සම්බන්ධතාවයන්…
අද වනවිට වාර්තාවන ළමා ගැබ් ගැනීම් බොහාමයක් ප්‍රේම සම්බන්ධතාවයන් නිසා සිදු වෙන නොමඟ යෑම් බව වාර්තා වෙනවා. තම ප්‍රේමවන්තයා පිළිබඳව ඇති කර ගන්නා විශ්වාසය මත මෙවැනි අන්දමින් ගැහැණු දරුවන් තමන්ගේ අනාගතයම විනාස කර ගන්නවා. මේවා බොහෝ විට දෙදෙනාගේම කැමැත්ත මත සිදු වෙන්නක්.
ඒ වගේම ගර්භණීත්වය මාස කීපයක් යන තුරු ඔවුන් ඒ බව ඔවුන් දන්නෙත් නැහැ. සමහර විට මෙම සිදුවීම දැන ගත් විට ප්‍රේමවන්තයා ඇය මග හැර යනවා. සමහර විට ඔවුන් අතර විවාහයක් කරන්න පවුලේ විරෝධතා ඇති වෙනවා. නිත්‍යානුකුල ගබ්සාවටත් අවසරයක් නැති නිසා දරුවා ලැබුණාට පසුව නිත්‍යානුකුලව හදා වඩා ගැනීම සඳහා ලබා දෙන අවස්ථා තිබෙනවා.

කෙසේ වුනත් මෙය දැඩි මානසික ගැටළුවක්. ළමා ගර්භණීත්වයේදී ඇය මුහුණ දෙන කම්පනය උපත ලබන දරුවාටත් බලපානවා. දරුවා ගැනත් සමාජයට මාතෘකා ලැබෙනවා.
ඒ වගේම මෙවැනි දරුවෙකුගේ පියා ලෙස සැලකෙන්නෙත් වයස අවුරුදු 18 ට අඩු පිරිමි දරුවෙක්. පවුලක් ලෙසින් ගොඩ නැගෙන්නට තරම් ස්ථාවරත්වයක් ඔහුට නැහැ. ඒ නිසාම මෙම වගකීමෙන් මිදෙන්න ඔහු උත්සාහ කරනවා.
ලිංගික අධ්‍යාපනය ප්‍රමාණවත් නැහැ…
මේ අන්දමින් බාල වයස්කාර මව්පියන් බිහි වීමට බලපාන ප්‍රධාන හේතුව ලිංගික අධ්‍යාපනය ගැන ඇති නොදැණුවත්කමයි. ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකාවක්. ඒ නිසාම ලිංගික එක්වීමකින් ඇතිවන අතුරු සිදුවීම් ගැනත් අවබෝධයක් නැහැ. පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂිත මෙවලමක් හෝ ඖෂධයක් ගැනීමට ගිය විටත් සමාජය ඔවුන් දෙස බලන්නේ වපර ඇසකින්. මේ නිසා ආරක්ෂිත පියවර ගැන හෝ මෙවලම් ලබා ගැනීමක් සමාජ පිළිගැනීම තුළ ඔවුන්ට ගැටළුවක්.
ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනයේ නොදැනුවත් බව නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ආරක්ෂා වෙන්නේ කෙසේද යන්න ගැන ලාබාල දරුවන්ට දැනුමක් නැහැ. ඔවුන්ට ලිංගිකව එක්වීමට වයස අදාල නැත්නම් මේ ගැන දැනුවත්බව ලබා දීමටත් වයසේ සීමාවන් තබා ගැනීම අවශ්‍ය නැහැ.
ළමා ගර්භණීත්වයට පත් ගැහැණු දරුවන් වගේම ඊට වගකිව යුතු පිරිමි දරුවන් ගෙන් මේ ගැන විමසන විට ඔවුන් බොහෝ දෙනෙක් ගැබ් ගැනීමකින් තොරව ලිංගිකව එක් විය යුතු අන්දම ගැන දැනුවත්ව නොසිටි බැව් තේරුම් යන බැව් පොලිස් නිල වාර්තාවන් අනුව පැහැදිලි වෙනවා.
නමුත් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු වයස පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා. අවුරුදු තුනක දරුවෙකුට ලිංගික කටයුතු ගැන දැනුවත් කිරීම අපහසු වුණත් එවැනි වයසක දරුවන්ට තමාගේ ශරීරය තමන්ට අයිති බවත් එය තවත් අයෙකුගේ ස්පර්ශයට ඉඩ දිය යුතු නැති බවත් අවධාරනයෙන්ම කියා දෙන්න පුළුවන්.
පවුල තුළ පවතින අනාරක්ෂිත බව…
ඒ වගේම මව, පියාගේ වෙන්වීම, දික්කසාදය, විදේශගතවීම නිසාත් දරුවන් අනාරක්ෂිත වෙනවා. ඔවුන් ආදරය සොයා ගෙන යන ගමනේදී හමුවන ආදරවන්තයා පිළිබඳව උපරිම විශ්වාසය තබනවා. ලිංගික අපයෝනය ගැන මේ දරුවන් දන්නේ නැහැ.
ඒ වගේම දරුවන් දැනුම ලබා ගන්නේ අවිධිමත් ක්‍රම මගින්. බොහෝ විට මිතුරන්ගෙන්, චිත්‍රපට නැරඹීමෙන් ලබා ගන්නා අවිධිමත් දැනුම නිසා ඔවුන් ආරක්ෂිතව ලිංගික ඇසුරක් පැවැත්වීම ගැන විධිමත් දැනුමක් ලබා ගෙන නැහැ. ඒ තත්ත්වය නිසාත් ළමා මව්වරුන් බිහිවීමේ අවදානම වැඩි වී තිබෙනවා.
ඒ විතරක් නොවෙයි. වයස අවුරුදු 20 කටත් පෙරාතුව මවක් වීමත් සෞඛ්‍යමය අතින්ද අවදානමක් සහිත බැව් වෛද්‍ය විද්‍යාවෙන්ද පිළිගෙන තිබෙනවා. මෙවැනි වයසකදී ගර්භණිත්වය වෙනුවෙන් ශරීරය සූදානම් නැහැ.
බාල වයස්කාර මව්වරුන්ට එවැනි අවදානමක්ද තිබෙනවා.ඒ නිසා ඔබේ දියණිය පමණක් නොව, පුතාද බාල වයස්කාර ගර්භණීත්වයේ කොටස් කරුවන් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දරුවන්ගේ ජීවිතය අකාලයේ විනාශවීමට ඉඩ නොදී රැක ගැනීම මව්පියන්ගේගේ වගකීමක් ලෙසින් සලකා කටයුතු කිරීම ඉතාම වැදගත්.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️