දරුවන් ගැන අද චෝදනාවක් තිබෙනවා. මේ ළමයින්ගේ කිසිම තැන්පත් කමක් නැහැ. මොන දෙයක්වත් අවධානයෙන් කරන්නේ නැහැ. ඒ එක පැත්තක්. මේ අතරේ තවත් මව්පියන්ගේ මැසවිල්ලක් තියෙනවා. දරුවන් ජංගම දුරකථනයේ… එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලා නිසා නැති නාස්ති වෙනවා. මේ වගේ පරිසරයක් තුළ දරුවන්ගේ අවධානය රඳවා ගැනීමේ විකල්ප ගැනත් අපි යොමු වීම වැදගත්. අතීතයේදී දරුවන් අතර විවිධ විනෝදාංශ තිබුණා. ඒ අතර ගැහැණු දරුවන් අතර මැහුම් ගෙතුම් අනිවාර්යෙන්ම සිදු වුණා. පාසල් නිවාඩු කාලයේදී ලේන්සුවක්, කොට්ටඋරයක් මහන්න යොමු වුණා. මේ නිසා ඔවුන්ගේ හැකියාවන් වැඩි වුණා. අත්රේන්ද, වූල් ගොතන්නත් ඔවුන්ගේ කැමැති අත්කම් නිර්මාණ අතරට එකතු වුණා. ඒ අතරේ විසිතුරු මැහුම් ගැනත් ඔවුන්ගේ උනන්දුව ඇති වුණා. මේ අතරේ කතිර මැස්මෙන් ලස්සන නිර්මාණ කිරීමට දැරිවියන් පුංචි කාලයේ පටන්ම කැමැත්තක් දක්වන්න පටන් ගත්තා.
කතිර මැස්ම ඉතාම සියුම් කලාවක්
අද දරුවන් ගැන නැගෙන චෝදනාවක් තමයි ළමයි හරිම කලහකාරියි. ඉවසීමක් නැහැ කියලා. නමුත් දරුවෙක් මේ වගේ කතිර මැස්මක් වගේ අවදානය, ඉවසීම සහ වින්දනය යන හැම දෙයක්ම එකට එක්ව කරන කටයුත්තක යෙදෙනවා නම් ඔවුන්ගේ විවේකය ඵලදායී විදිහට යොදවා ගන්න පුළුවන්. මොළය උතතේජනය වෙනවා. කතිර මැස්මක යෙදෙන විට අත හා ඇස් අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා දරුවන්ගේ බුද්ධිය පවා උත්තේතජනය වෙනවා. ඒ වගේම මෙතැන ගණිත සංකල්ප, වර්ණ ගැළපීම වැනි කටයුතු ඉතා
සංයමයෙන් සහ ඉවසීමෙන් සිදු වෙනවා.
අපි හැමෝම දැන් ආතතිය ගැන කතා කරනවා. නමුත් ආතතිය නැති කරන්නේ කොහොමද කියල අපි කතා කරන්නේ නැහැ. විෂය මාලාව බර වැඩි නම් විවේකයේදී මනසට සතුටක් දැනෙන දෙයක් කිරීම වැදගත්.
එවිට ඒකාකාරී ජිවන රටාවෙන් යම් නිදහසක් ලැබෙනවා. ඒ වගේම මෙවැනි නිර්මාණාත්මක කටයුත්තක නිරත වනවිට ආතතිය අඩු වෙනවා. ඒ වගේම පාසල් විෂය මාලාවේ ප්රාග්වෘත්තිය තාක්ෂණ කුසලතාවයන්හිදීත් මේ වගේ නිර්මාණවලට ඉඩක් ලබා දී තිබෙනවා.
විවේකය ගෙවන්න
නිවසේ කාලය ගෙවන වගේම විවේක දවසේදී තමන්ගේ කාලය යොදා ගෙන කාටත් කතිර මැස්මට යොමු වෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් දැන් ඉල්ලුමක් තිබෙනවා. මේ වගේ නිර්මාණවලින් තමන්ගේ හැකියාව දියුණු කර ගෙන අමතර ආදායමක් ලබා ගන්නත් පුළුවන්.
දැන් කතිර නිර්මාණ බිත්ති සැරසිලි වෙනුවෙන් සමාජයේ ඉල්ලුමක් තිබෙනවා. කාන්තාවන්ට වුණත් මේ වගේ නිර්මාණයක නිරත වනවිට මනසට එක්තරා ආකාරයක ව්‍යායාමයක් ලැබෙනවා. ඔවුන්ටත් ආතතිය නැති කර ගැනීමේ හොඳ අවස්ථාවක්. තමන්ගේ විවේක කාලයත් උපරිම ලෙසින් ඵලදායී දෙයක් වෙනුවෙන් වෙන් කිරීම ගැන හිතේ.
දැන් නිවාඩු කාලය…
පාසල් නිවාඩුව ලැබුණ මේ කාලයේදී නිවසේ සිටින දරුවන් ගේ කාලය ඵලදායී විදිහට යොදවන්න මව්පියන් දැන ගත යුතු දෙයක්. ඒ නිසා කතිර මැස්ම වැනි කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් දරුවන්ගේ කාලය යොදවන්න ඔබ උනන්දු වෙන්න.
කතිර මැස්මක් අවසාන වනවිට දැනෙන සතුට නිර්මාණාත්මක කලාවක යෙදුන විට අත්දැකීමෙන්ම ඔබට දැනේවි. ඒ නිසා ඔබේ දියණිය වෙනුවෙන් මෙවැනි සියුම් සහ මනස සන්සුන් කරන කලාත්මක නිර්මාණයක යෙදෙන්නට අවශ්‍ය පරිසරය සූදානම් කර දෙන්න ඔබට පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️