වෙළඳපොලේ තරමක් මිල අධික වුණත් බොහෝ දෙනෙක් කැමති පලතුරක් තමයි දෙළුම් කියන්නේ. පුරාණ කාලයේ සිටම දෙළුම් යුෂ විවිධ රෝගවලින් පෙළෙන අය සඳහා ලබා දෙන්නේ එය ප්‍රති ඔක්සිකාරක, තන්තු, විටමින් සහ ඛනිජ ලවණවලින් වඩාත් පොහොසත් වන නිසායි. ඒ අනුව නැවුම් දෙළුම් යුෂ යනු පෝෂණ බලාගාරයක් ලෙසත් ඇතමුන් සලකනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ දෙළුම් යුෂ පානය කිරීම මගින් ඔබට ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය ප්රතිලාභ ගැනයි.
සමේ ඇතිවන පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වෙයි
දෙළුම් යුෂවල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් සම වයසට යාමේ ලකුණු ඇතිවීම ප්‍රමාද කරන අතර, සම හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන හානිකර තත්ත්වයන්ද වළක්වනවා. හිරු එළියට නිරාවරණය වීම සහ විවිධ පාරිසරික සාධක සමේ පිළිකා ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වන අතර විශේෂයෙන්ම UVB කිරණ සමට දරුණු ගණයේ හානිකර බලපෑම් එල්ල කරනවා. මෙම කිරණ මගින් ඇතිවන ඔක්සිකාරක ආතතියෙන් සමේ සෛල ආරක්ෂා කිරීමට දෙළුම් යුෂවල ඇති ප්‍රතිඔක්සිකාරකවලට හැකියාව ඇත.
හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි
දෙළුම් වැනි පොලිෆෙනොලික් සංයෝගවලින් පොහොසත් පලතුරු ආහාරයට ගැනීම මගින් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කර ගැනීමට හැකිවන බවත්, දෙළුම් යුෂ මගින් ධමනිවල ඔක්සිකාරක ආතතිය සහ දැවිල්ල අඩු කිරීමටත්, ධමනි සිහින් වීම සඳහා සටන් කිරීමටත් උපකාරී වන බවත් සමහර පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.
ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වේ
ආහාර දිරවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීමට නම් අප දිනපතා දිනපතාම ආහාර මඟින් අපගේ ශරීරයට තන්තු වැඩි වශයෙන් ලබා ගත යුතුයි. දෙළුම් යනු තන්තුවලින් පොහොසත් පලතුරක් නිසා දෙළුම් යුෂ පානය කිරීම මගින් ශරීරයට අවශ්‍ය තන්තු ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. එමඟින් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කෙරෙනවා.
හිසකෙස් වර්ධනය වේගවත් කරයි
දෙළුම් යනු ප්‍රතිඔක්සිකාරකවලින් සමන්විත පලතුරක් බව ඔබ දන්නවා. එපමණක් නොවෙයි හිස කෙස් වර්ධනය උත්තේජනය කරන සංඝටක ද දෙළුම්වල අඩංගු වනවා. එම සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරමින් කෙස් කළඹ ශක්තිමත් කරනවා.
අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කරයි
2013 වර්ෂයේදී කෙරුණු අධ්‍යයනයකින් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන අයට සහ එම රෝග ලක්ෂණ පවතින අයට දෙළුම් යුෂ පානය කිරීම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව සොයාගෙන තිබෙනවා. තවද උදෑසන කිරි වීදුරුවක් වෙනුවට දෙළුම් යුෂ වීදුරුවක් පානය කිරීම ද අස්ථි පද්ධතියේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට හේතු වෙනවා.
බර පාලනය කර ගැනීමට උපකාරී වෙයි
දෙළුම් යනු තන්තුවලින් පොහොසත් පලතුරක් නිසා එය ආහාරයට ගැනීම මගින් හෝ යුෂ පානය කිරීම මගින් ඔබට ඉක්මනින් පූර්ණ බවක් දැනෙනවා. එමඟින් ඔබ නිතර නිතර ආහාර ගැනීම සහ වැඩිපුර ආහාර ගැනීම වැලැක්වී ඔබේ බර පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
අන්තර්ජාලය ඇසුරෙන්
පවනි දිලේකා ✍️