ශරීර සෞඛ්‍ය පවත්වගෙන යන්න අපි විවිධ ව්‍යායාම්වල නිරත වෙනවා වගේම මානසික සෞඛ්‍ය පවත්වගෙන යන්නත් ව්‍යායාම්වල නිරත වීම අත්‍යවශ්‍යම දෙයක්. හුස්මට අරමුණු කරලා සිදුකරන මේ ව්‍යායාමය අපි හඳුන්වනවා සරල සංයම අභ්‍යාසය කියලා. මේ ව්‍යායාමයෙන් අපිට විශාල ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්. ඒ තමයි ඔබට මානසික වශයෙන් ලැබෙන සැහැල්ලුව. ඔබේ මුළු ජීවිතේම සැහැල්ලු කරගන්න මේ ව්‍යායාමයට පුළුවන්. ඒ වගේම එය ඔබට කායිකවත් මානසිකවත් සාමාජීය වශයෙනුත් වඩා නිරෝගී ජීවිතයකට යන්න උපකාර කරනවා. අපි බලමු මේ අභ්‍යාසය කරන්නේ කොහොමද කියලා. අවම වශයෙන් දිනකට විනාඩි 05 – 10 අතර කාලයක් මේ ව්‍යායාමය කරන්න කියලා මම යෝජනා කරනවා.
මේ සඳහා ඔබ සැහැල්ලු පරිසරයක් තෝරාගත යුතුයි. එය ඔබේ කාමරය වෙන්න පුළුවන්. මිදුලේ තැනක් වෙන්න පුළුවන්. ඊළඟට ඔබට අවශ්‍ය වෙන්නේ කොන්ද කෙලින් තබාගෙන ඉඳගත හැකි පුටුවක්. පුටුවේ කොන්ද කෙලින් තබාගෙන වාඩිවෙලා කකුල් දෙක එකිනෙක පටලැවීමෙන් තොරව පොළොව මත තියාගන්න.
අත් දෙක ඇඟිලි හොඳින් දිගෑරලා දණහිස අසලින් හෝ කලවා මත සැහැල්ලුවෙන් තියාගන්න. නැත්නම් ඔබ තෝරගෙන තියෙන්නෙ ඇඳි සහිත පුටුවක් නම් අත් දෙක ඇඳි දෙක මතින් තියාගන්න. මේ ව්‍යායාමයේදී අත් පා එකිනෙක පටලවා ගැනීමෙන් තොරව තබාගැනීම ඉතාම වැදගත්.
ඊළඟට දෑස් වසාගෙන ඔබගේ හුස්මට අවධානය යොමු කරන්න. මනසින් බලන්න ඔබේ ශරීරය සෘජුව තියෙනවද කියලා. හිස, අත්, පා වකුටු කරගෙනද කියලා ඇස්, නළල, හකු, තොල් වගේ දේවල් ඔබ තදකරගෙන ඉන්නවද කියලා බලන්න. ක්‍රමානුකූලව මුළු ශරීරයම සැහැල්ලු කරන්න. ලිහිල් කරන්න. දැන් ඔබේ අවධානය ඔබේ හුස්ම රටාවට ගේන්න.
සෙමෙන් නමුත් ගැඹුරු ලෙස වැඩි වායු ප්‍රමාණයක් ඇතුළු වන ආකාරයට ලොකු හුස්මක් ගන්න. හෙමීට වාතය පෙනහලු තුළට ඇදගන්න. පෙනහලු තුළ උපරිමයටම වාතය පිරුණු පසු ශරීරයේ පේශීන් තද කරගැනීමෙන් තොරව ඔබ ලබාගත් වායු ප්‍රමාණය තත්ත්පර කිහිපයක් ඔබේ පෙනහලු තුළ රඳවාගෙන සිටින්න.
නාසය තුළින් ඔබ පුරවාගත් වාතය සම්පූර්ණයෙන්ම පෙනහලු තුළින් බාහිර පරිසරයට මුදාහරින්න. නැවතත් පෙනහලු තුළට වායුව පුරවාගැනීම වළක්වා ගනිමින් තත්ත්පර කිහපයක් හුස්ම සිරකරගෙන සිටින්න. පසුව නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් පිටකරන්න. මේ අයුරින් වාර තුනක් කරන්න. වාර තුනෙන් පසුව සාමාන්‍ය විදිහට හුස්ම වැටෙන්නට ඉඩ දෙන්න. තත්ත්පර 15 – 20 අතර කාලයක් සාමාන්‍ය විදිහට හුස්ම ගන්න. නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. මේ විදිහට ගැඹුරු හුස්ම සහ සාමාන්‍ය හුස්ම මාරුවෙන් මාරුවට ගන්න.
මෙසේ මාරුවෙන් මාරුවට හුස්ම ගැනීම ඔබ මතකයෙන්, අවධානයෙන් කළ යුතුයි. ඔබගේ හුස්ම ගැනීමේ රටාවේ තුළ වායුව ශරීරයට ඇතුළු වෙන අයුරු සහ බාහිරට ගලාගෙන යන අයුරු මනසින් දකින්න. මෙය බොහොම සරල, පහසු අභ්‍යාසයක්. ඔබ නිවැරදිව මේ අභ්‍යාසය කළොත් එයින් ඔබට ඉතාම ඉහළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. මනස සන්සුන් කරගැනීමටත් ඒකාග්ර කරගැනීමටත් ඔබට මෙයින් හැකි වෙනවා.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක
වෛද්‍ය කමල් එස්. ජයසේකර
එරංදි කෞශල්‍යා ✍️