වෛරය ගැන කී සැනින් අපේ හිතට ඇති වෙන්න් බුදුරජාණන්වහන්සේ මුල් කර ගෙන දෙව්දත් විසින් ඇති කර ගත් බද්ධ වෛරයයි. රන්තළිය අහිමි වුණ තැන ඔහු වැලි දෝතක් උඩ දමා මේ වැලි ඇට ගණනින් මම ආත්ම ගණණාවක් පුරා ඔබට වෛර කරනවා යැයි සපථ කිරීම ගැන අප අසා තිබෙනවා. දෙව්දත් යශෝධරාවන්ගේ සහෝදරයා වී උපත ලබා, බුද්ධ ශාසනයේ පැවිදිවී වෛරී සිතින් බුදුරජාණන්වහන්සේට විරුද්ධව කටයුතු කරමින් අවිචි මහ නිරයේ උපත ලැබුවා. ඒ වගේම දහම්පාසලේදී දරුවන්ට උගන්වන්නේත්… පාසලේදී දරුවන්ට කියා දෙන්නෙත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන ආදර්ශයයි.
නහි වේරේන වේරානි- සමන්තීද කුදාචනං
අවේරේනච සම්මන්තී- ඒස ධම්මෝ සනතත්නෝ…
නමුත් අද සමාජයේ අපට ඇසෙන, දකින හැම සාහසික ක්‍රියාවක් පිටුපසම ඇත්තේ වෛරයයි.
අපට වෛරයක් ඇති වෙන්නේ ඇයි…?
මිනිසුන් අතර තරගකාරීත්වයක් තිබෙනවා. ඒ නිසාම එකිනෙකා පරයා ජීවත් වෙන්න උත්සහ කරනවා. මේ තරගය තුළ තමන් කැමැති දේ, තමන්ට කැමැති අන්දමින් නොලැබුන විට වෛරය පටන් ගන්නවා. තමන්ගේ දරුවාට වඩා වෙනත් පවුලක දරුවෙක් උසස් ලෙස විභාගය සමත් වුණොත් ඒ අන්දමින් සමත් වුණ දරුවාට වෛර කරනවා. පසුගිය කාලයේ එක් අවාසනාවන්ත සිදු වීමක් අපි කාටත් අසන්න ලැබුණා.
සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් දරුවෙක් ඒ සතුටු ආරංචිය කියන්න තමන්ගේ ඥාති නිවසකට යන අතරමග ඒ දරුවාට භුමිතෙල් ගසා ගිනි තිබ්බා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් පිටුපසින් තිබෙන්නේ වෛරයයි.අපේ ජනවහරේ කියමනක් තිබෙනවා. ගල් ගහන්නේ ඵල තියෙන ගහකට. ඒ කතාව මෙතැනටත් යෝග්‍යයි. අපට නැති සම්පත් තවත් කෙනෙකු විසින් බුක්ති විඳිනවා නම් ඒවා දරන්න බැහැ. ඒ අය සමග වෛරයක් ඇති කර ගන්නවා. දිගින් දිගටම වෛර කරනවා.
වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිව්වාටම බැහැ…
අපි වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන දහම් පාඨය උදේ සවස කිව්වාටම අවෛරී චේතනාවන් අපේ හිතේ ඇති වෙන්නේ නැහැ. මේ ගැන යමක් කණගාටුවෙන් වුණත් කියනන්ම සිද්ධ වෙනවා.
අපි පුංචි කාලයේ වතුරට වැටිල සිටිය කූඹියෙක්, කඩියෙක් දැක්කොත් කොළ කැබැල්ලකින් අරගෙන ඒ සතාගේ ජීවිතය බේරා දෙනවා. ඒ වගේ අතීතයක් අපට තිබුණා. නමුත් අද දරුවන්ගේ සමාජ රටාව ඊට වෙනස්. අපේ අම්මලා බුදුබණ අපට ඉතාම සරලව නිවරැදිව කියා දුන්නා.
සබ්බේ තසන්ති දණ්ඩස්ස- සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා- නහනෙය්‍ය න ඝාතයේ
අපි හැමෝම දඬුවමට බියයි. මරණයට බයයි. ඒ නිසා තමා උපමාවට ගෙන අනුන් නෙනැසිය යුතුයි. නොනැසවිය යුතුයි.මේ ඉගැන්වීම නිසා පුංචි කාලයේ පටන් තවත් කෙනෙකුට හිරිහැර කරන්න අපි බය වුණා. හොඳ දේ හොඳ විදිහටම දැක්කා. ඒ නිසාම හිතේ වෛරය වැනි දුර්ගුණ නොදැනීම නැති වී ගියා. නමුත් අද බාලපරම්පරාව තුළ මේ ශික්ෂණය ලබා දීමට දෙමව්පියන්ට හැකියාවක් නැහැ.
දවසක් මම රෝහලකට ගියා. ඒ සමීප අසුනක කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් ජංගම දුරකථනයකින් ක්‍රිඩාවක යෙදී සිටියා. එය වෙඩි තබන ක්‍රිඩාවක්. ක්‍රිඩාවේදී එක එකා වෙඩි වැදී මරණයට පත් වෙනවා. ඒ අන්දමින් මරණයට පත් වෙන වතාවක් පාසා දරුවාගේ මුහුණේ සෑබෑ ප්‍රිතියක් මැවෙනවා. ඉතින්… ක්‍රිඩාවකදී වුණත් තවත් කෙනෙකු මරණයට පත් වෙන අන්දම දකිමින් සතුටු වීමට හැකියාවක් තුළ ඔවුන් ජීවත් වෙනවා.
මේ දුර්දාන්ත සිතුවිළි දරුවා සමගම මෝරනවා. එතැනින් පසුව ඔහුගේ සිතේ ඇති වෙන්නේ මරන්න… කොටන්න… වෙඩි තබන්න වැනි සිතුවිළි මිසක තවත් අයෙකු ජීවත් කරන නිවුණු සිතුවිලි නොවෙයි. ඒ නිසා දරුවන්ගේ බාල කාලයේ පටන් මනස දයාව, කරුණාව ඇතුව සමාජයේ ජීවත් විය හැකි අන්දමින් ගොඩ නැගීම ඉතාම වැදගත්.
පවුලක අර්ථචර්යාව…
අපි පුංචි කාලයේදී අම්මලා, තාත්තාලා අපට ගහන්න හැඳි මිට ගන්නවා. එහෙම නැත්නම් පොල් කොළයක් ඉරටුව ඉවත් කරල ගන්නවා. ඒත් අපි ඒකටත් බයයි. නමුත් අද දරුවන් දඬුවමට බිය නැහැ. අම්මට…
තාත්තට වුණත් අත ඔසවන තරමටම අද සමාජය පිරිහිලා. තාත්තා අම්මාට ගහන නිසා තාත්තාට පිහියෙන් අනින තරම් දරුවන් දරුණුයි. පවුලක් තුළ ගැටුම් ඇති වෙනවා.
ඒවා දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සුදුසු නැහැ. සමහර අඹු සැමියන් ඔවුනොවුන්ගේ වැරදි දරුවන් සමග කියමින් ඔවුන්ගේ මොළශෝධනය කරනවා. මෙය කිසිම දිනක නොවිය යුත්තක්.
මව හෝ පියා මුල් කර ගෙන දරුවා තුළ ගොඩනැගෙන වෛරය ඔවුන් සමගම වර්ධනය වෙනවා. බාල කාලයේ පටන් මේ දරුවන් තමන්ගේ මවට එහෙම නැත්නම් පියාට වෛර කරන්න පටන් ගන්නවා.
මත්ද්‍රව්‍ය උත්තේජන ලබා දෙනවා.
බොහෝ සාහසික අපරාධ පිටුපස කුමන හෝ කතාවක් තිබෙනවා. බෝසත් කතාවලත් තල අහුරක් කෑ නිසා තමාට දඬුවම් දුන් ගුරුවරයාට පෙරළා දඬුවම් ලබා දීමට පෙළඹුන රජ දරුවෙක් සිටියා. ඒ වගේම වෛරය පිරිමහන්න නිමිත්තක් තිබෙනවා. ඒ නිමිත්ත අතීතයක එකක් වෙන්න පුළුවනි.
නමුත් මේ නිමිත්ත ක්‍රියාවට නංවන්න උත්තේජනයක් අවශ්‍ය වෙනවා. ඒ උත්තේජනය නොදැනීම ඇති වෙන්න විවිධ මත්ද්‍රව්‍ය හේතු වෙනවා. වෛරය පිරිමහන්නේ එවිටයි. වෛරී සිතුවිළි ඇති පුද්ගලයා තුළ ඉවසීම නැහැ. ඔහු ඉක්මනින් කෝප වෙනවා. අහිමිවුන තැන වෛරය පටන් ගන්නවා.
ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසකට සමාන බැව් ගීත සාහිත්යායේ සඳහන් වෙනවා. මේ ගැන මම එක් උදාහරණයක් කියන්නම්. මගේ පන්සලට තරුණ දරුවෙක් ඇවිත් ඔහුගේ හිතේ තිබුණ දුක් පීඩාවන් සියල්ල මට කිව්වා. ඔහු වසර ගණණාවක් තරුණ ගැහැණු දරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියා. දැන් ගැහැණු ළමයා ඔහු ප්රතික්ෂෙප කරනවා.
මේ සිදුවීම ඔහුට දරා ගන්න බැහැ. මානසිකව වැටීමකට පත් වෙලා. මම මේ දරුවාට ධර්ම මාර්ගය කියා දුන්නා. බුදුරජාණන්වහන්සේගේ ධර්මය අනුව හැසිරෙන්න. සැබෑ නිවීම එතැනින් ලැබෙන බව මම ඔහුට කිව්වා.
මේ තරුණ දරුවා දැන් තමන්ගේ හිත හදා ගෙන ඔහු දැන් මේ විදිහට කියනවා. ස්වාමින්වහන්ස… මම දැන් හොඳින් ඉන්නවා. ඇයත් හොඳින් ඇති. බුදුරජාණන්වහන්සේගේ ධර්මය මට කිවෙන්න මග කියා දුන්නා… මේ අද ඔහුගේ ආත්මීය ප්‍රකාශයයි.
ධර්මදේශක පූජ්‍ය
අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමින්වහන්ස
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල, කුලියාපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️