නීතිය මත පිහිටීම, නැතහොත් නීතියේ ආධිපත්‍ය යනු යම් සමාජයක ප්රගමනය සඳහා පාදම සපයනු ලබන බව අවිවාදිතය. නීතියේ ආධිපත්‍යය සංස්ථාපනය කිරීම සඳහා දායක වන ප්‍රධාන පාර්ශවයන් කීපයක් සිටී. මේ ප්‍රධාන පාර්ශවකරුවන් අතර සිටින නීතිඥයන් වෙත මෙහිදී විශාල කාර්යභාරයක් සිදු කිරීමට භාරව ඇත. පසුගිය දින සති කිහිපය පුරාවට මෙරට පුමුඛ පුවත වූ පොලිස්පති දේශබන්දු තෙන්කෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමත්, පොලිස්පතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් නොවී සැඟවී සිටීමත් සමඟම නීතිඥ භූමිකාව හා නීතිඥවරයාගේ කාර්යභාරය කෙබඳුවේද යන්න පිළිබඳව සමාජයේ යම් කථිකාවතක් නිර්මාණය වූ බව පෙනෙන්නට තිබුණි. සැබැවින්ම නීතිඥවරයෙකුගේ භූමිකාවේ දිග පළල කෙසේද? අද කතාබහ ඒ පිළිබඳවයි.
නීතිඥයෙකු යනු කවුද?
නීතිඥ වෘත්තිය ලොව පිළිගත් අභිමානවත් වෘත්තියකි. වර්ෂ 1833 ට පෙර ලංකාවේ නීතිඥවරු බඳවා ගැනීම සම්බන්ධ නිශ්චිත ක්‍රමවේදයක් නොතිබිණි අතර නිසි නීති අධ්‍යන කටයුතු අවසානයේදී නීතිඥයෙකු ලෙසින් වෘත්තියට බඳවා ගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී ඇත. ඒ 1833 යුක්ති සන්නස මඟිනි.
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත අනුව නීතිඥවරු ලෙස බඳවා ගැනීමේදී යහපත් චරිතය, මනා වූ නීති දැනීම හා හැකියාව පිළිබඳව සලකා බලනු ලබයි. එසේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ශ්‍රීලාංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දීමෙන් පසු නීතිඥයෙක් ලෙසින් නීතිඥ වෘත්තියට එක්වන පුද්ගලයන් නිතැතින්ම යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාවලිය තුල පාර්ශවකරුවන් වේ. ඔවුන් අධිකරණයක තම සේවාදායකයින් නියෝජනය කිරීම හෝ වෙනත් නීතිමය කටයුතුවලදී සේවාදායකයින්ට උපදෙස් දීම ඇතුලු කාර්යයන් සිදු කරනු ලබයි.
නීතිඥවරයෙක්ගේ කාර්යභාරය කුමක්ද?
නීතිඥවරයා යනු යුක්තිය පසඳලීම, සමාජය නීතිය මත පිහිටුවීම යනාදීන් මුඛ්‍ය පරමාර්ථ කරගනිමින් රාජකාරියේ නිරත වන්නෙක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙක්ට තමාට අවශ්‍ය වන්නේ නම් නීතියේ සහයක් ලබා ගැනීමේ අයිතියක් තිබේ. මෙම නීතියේ සහය ලබා දීම සිදු කරනු ලබන්නේ නීතිඥවරුන් විසින්ය.
නීතිඥවරයෙකුගේ කාර්යභාරය කෙබඳු වේද යන්නට හොඳ පැහැදිලි කිරීමක් –
බණ්ඩාරනායක එදිරිව ජගත් සේන, නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ලබා දී තිබේ’ එම නඩු තීන්දුවට අනුව
“නීතිඥවරයෙකුට තම සේවාදායකයාට උපදෙස් දීමට පමණක් නොව සෑම අධිකරණයකම හා යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති වෙනත් ආයතනයකදීද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට හා උත්තරවාද ඉදිරිපත් කිරීමට අයිතියක් ඇත” යනුවෙන් නීතිඥවරයාගේ කාර්යභාරය පිළිබඳව අධිකරණය පැහැදිලි කර තිබෙනවා.
තමා හමුවට එන ඕනෑම සේවාදායකයෙකුට නීතීයේ සහය ලබා දීමට නීතිඥවරයා බැඳී සිටිනවාද?
1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් මගින් නීතිඥවරයෙක්ගේ වෘත්තීය ජීවිතයට සීමා පනවන ආචාරධර්ම මාලාවක් හඳුන්වාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ගේ 05 වෙනි රීතියට අනුව නීති සහය ලැබීමට අවශ්‍ය යම් පුද්ගලයෙකු විසින් නීතිඥවරයා අය කරනු ලබන ගාස්තුව ගෙවීම සඳහා සූදානම්ව සිටී නම්, තමා හමුවට එන ඕනෑම සේවාදායකයෙක්ට අවශ්‍ය නීතිමය සහය ලබා දීමට නීතිඥවරයා බැඳී සිටිනවා.
නමුත් එහිදී එයට ව්යතිරේඛයන්ද කීපයක් ඇත. නීතිඥවරයාට තමා භාරගන්නා නඩුව වෙනුවෙන් උපරිම කැපවීමෙන් හා මනා උද්යෝගයකින් කටයුතු කිරීමට නොහැකි නම් එවන් අවස්ථාවක සේවාදායකයාට අවශ්‍ය නීතිමය සහය ලබා නොදීමට හැකියාවක් පවතිනවා.
එමෙන්ම තමා විසින් පවත්වාගෙන යනු ලබන යම් ප්‍රතිපත්තීනට පටහැනි නඩු කටයුත්තක් නම් එවැනි අවස්ථාවක නීතිමය සහය ලබා නොදී සිටීමට නීතිඥවරයාට හැකියි.නිදසුනක් ලෙස සමහර නීතිඥයන් හෙරොයින් මත්ද්‍රව්‍ය නඩු, ළමා අපචාර වැනි කාරණා සම්බන්ද නඩු සඳහා පෙනී නොසිටීමේ ප්‍රතිපතියක් අනුගමනය කරයි. එහිදී තමා වෙත පැමිණෙන එවැනි නඩුවක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව එම නීතිඥයාට ඇත.
තමාවෙත පැමිණෙන සේවාදායකයාට විරුද්ධ පාර්ශවය සමඟ හෝ මෙම නඩු කටයුත්තට අනිත් පාර්ශවය සමඟ යම් සම්බන්ධයක් පවතී නම් හෝ ළබැඳියාවන් අතර ගැටුමක් පවතී නම් (Conflict of interest) එවැනි අවස්ථාවකදී එම නඩුව භාරනොගෙන සිටිය හැකිය.එමෙන්ම නිසිපරිදි උපදෙස් ලබාදීම හා සියළු විස්තර අණාවරණය කිරීමට සේවාදායකයා සූදානම් නොමැති නම් හා යම් නීති විරෝධි කාර්යක් කිරීමට නීතිඥවරයාගේ සහය ඉල්ලා සිටීනම් එවැනි අවස්ථාවකදී එම නඩු කටයුත්තෙන් ඉවත්වී සිටීමට නීතිඥවරයාට හැකිවේ.
නීතිඥවරයෙක් වැරදිකරුවෙක් ලෙස සමාජයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් වෙත තම සේවය ලබා දීම දක්නට ලැබෙනවා. එසේ වැරදිකරුවෙක් ලෙසින් පෙනෙන්නට තිබෙන සමාජ චෝදනා තිබෙන සේවාදායකයෙක් වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටින්නේ ඇයි?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 13 (02) වගන්තිය අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙක් හට නීති සහය ලබා ගැනීමට අයිතියක් ඇත. එය පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමකි. ( Fundamental rights) එබැවින් නීති සහය ලබා ගැනීමට අපේක්ෂාවෙන් තමා වෙත පැමිණෙන අයෙක් වරදකරුවෙක් ලෙසින් සමාජයෙන් චෝදනා කරනු ලැබුවත් ඔවුන් වෙත සේවය සැපයීමට නීතිඥවරයා බැඳී සිටියි. එමෙන්ම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට (Presumption of innocence) අනුව ඕනෑම පුද්ගලයෙක් නිසි අධිකරණයක් මගින් වැරදිකරුවෙක් කරන තෙක් එම පුද්ගලයා සැකකරුවෙක් පමණක් බව පෙන්වා දෙනවා.
එමෙන්ම ස්වභාවික යුක්ති මූලධර්ම (Principles of Natural Justice) අනුවද අධිකරණය තීන්දුවක් දීමට පෙර දෙපාර්ශවයටම සවන් දිය යුතු වෙනවා. එම නිසා දෙපාර්ශවය වෙනුවෙන්ම නීති සහය ලබා දීම සඳහා නීතිඥවරයින් පෙනී සිටීම සිදුකරනු ලබනවා. ඒ අනුව කුමන චෝදනා සමාජය විසින් කරනු ලැබුවද තම සේවාදායකයා සැකකරුවෙක් පමණක් නිසා ඔහු හෝ ඇය වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටීමේ කිසිදු වරදක් නෑ.
සේවාදායකයා නීතිඥවරයෙක් පත් කරගන්නේ කෙසේද?
සිවිල් නඩු විධාන සංග්‍රහයේ 27(1) වගන්තියට අනුව සේවාදායකයාට තමා වෙනුවෙන් අනු නියෝජිතවරයෙක් පත් කරගැනීමට හැකියාවක් තිබෙනවා. එම අනු නියෝජිතවරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥවරයායි. ඔහු තම සේවාදායකයා වෙනුවෙන් අධිකරණය සමඟ කළයුතු සියළුම කාර්යන් සිදුකරනු ලබනවා.
නීතිඥවරයෙකුට තමාගේ සේවාදායකයා පිළිබඳ සියළු කරුණු අධිකරණයට අණාවරණය කළ යුතුද ?
1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතින්හී 31 සිට 38 දක්වා පවතින රීතින්ට අනුව නීතිඥවරයා විසින් තම සේවාදායකයාගේ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතුයි. සේවාදායකයා සම්බන්ධ කරුණු එසේ අණාවරණය නොකළ යුතු බව මෙම රීතින් මඟින් පැහැදිලිවම දක්වා ඇත. එහි සීමාව කෙතෙක්ද යත් සේවාදායකයා මරණයට පත්වූවත් එයින් පසුවද සේවාදායකයාගේ රහස්‍යභාවය නීතිඥවරයා විසින් අණාවරණය නොකර සිටීමේ අයිතිය ඔහු සතු වේ.
සේවාදායකයාගෙ ලිඛිත අවසරය ලබා ගැනීමෙන් අනතුරුව පමණක් යම් තොරතුරක් අණාවරණය කිරීම කළ හැකි වෙනවා. එමෙන්ම සේවාදායකයා නීතිඥවරයා වෙත යම් චෝදනාවක් කරනු ලබයි නම් එවැනි විටක, එසේත් නැත්නම් සේවාදායකයා තමා වෙත පැමිණි පසුවත් යම් අපරාධයක් හෝ වංචාවක් සිදු කරනු ලබන්නේ නම් එවැනි අවස්ථාවන්හීදී පමණක් අධිකරණය වෙත ඒ පිළිබඳව දැනුම් දීමට නීතිඥවරයාට හැකියි.
මේ බව 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් මඟින් මනා ලෙසින් දක්වා තිබෙනවා. ඒ අනුව අපට පෙනීයනවා සේවාදායකයාගෙ රහස්‍යභාවය ආරක්ෂා කිරීම නීතිය මඟින් කොපමණ ප්‍රමාණයකින් බලාපොරොත්තු වෙනවාද යන්න.
එමෙන්ම 1895 අංක 14 දරන සාක්ෂි ආඥා පනතේ 126 වගන්තියට අනුව කිසිදු නීතිඥවරයෙකු තමා වෙත තම සේවාදායකයා දක්වන ලද තොරතුරු සේවාදායකයාගේ ප්‍රකාශිත අවසරය නොමැතිව හෙළි නොකළ යුතු බව දක්වා ඇත. ඒ අනුව සේවාදායකයා හා නීතිඥවරයා අතර වන තොරතුරු හුවමාරුවීම් සාක්ෂි වශයෙන් ලබා නොදීමට නීතිඥවරයාට හැකියි. ඒ මඟින්ද ව්‍යවස්ථාපිත නීතිය සේවාදායකයාගේ රහස්‍යභාවය ආරක්ෂාකරනු ලබන බව පෙනී යයි.
නමුත් සාක්ෂි ආඥා පනතේ 126(1) වගන්තියේ අතුරු විධානයට අනුව නීති විරෝධී කාර්යන් සඳහා කරනු ලබන ඉල්ලීම් හා සේවාදායකයාට අවශ්‍ය නීතීමය සහය ලබා දීමේදී සේවාදායකයා යළිත් අපරාධයක් කිරීමට සැලසුම් කරන්නේ නම් එවන් අවස්ථාවක සේවාදායකයාගේ රහස්‍යභාවය අනාවරණය කිරීමට නීතිඥවරයාට හැකියාවක් තිබෙනවා.
මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනු ලබන ආචාර්ය ඒ. ආර්. බී. අමරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, වෘත්තීමය කටයුතු තුළ ලද කිසිදු තොරතුරක් අණාවරණය කිරීමට නීතිඥවරයෙකු බැඳී නොමැති බවත් එයට හේතුව එය නීතිඥවරයාගේ නොව සේවාදායකයාගේ වරප්‍රසාදයක් බවත්, එවැනි තොරතුරු හෙළි කිරීම සඳහා අවසර දිය හැක්කේ සේවාදායකයාගේ ලිඛිත අවසරයකින් පමණක් බවත් ය.
නමුත් ඔහු තවදුරටත් පවසන්නේ ඇප මත නිදහස් වී ඇති තැනැත්තෙකු යම් හෙයකින් උසාවිය මඟ හැර සිටින්නේ නම් එවැනි අවස්ථාවකදී එම පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳව නීතිඥවරයා දන්නේ නම් එය අධිකරණයට හෙළි කිරීමට නීතිඥවරයාට යුතුකමක් පවතින බවයි.
එසේ ක්‍රියා නොකළහොත්, විනයානුකූලව ඔහුට එරෙහිව පියවර ගත හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. මෙයට හේතුව වන්නේ නීතිඥවරයෙකු යනු අධිකරණයේ කටයුතු කරන නිලධාරියෙකු බැවින් හා නීතිය මත පාලනය පවත්වාගෙන යාමට අවශ්‍ය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිඥවරයෙකු යනු වැදගත් පාර්ශවකරුවෙකු බැවින්ය.
නීතීඥ ප්‍රවීණ සේනාධීර
praveenavisual@gmail.com