දිනෙන් දින ඉඩකඩම් සීමාසහිත වීම හේතුවෙන් අද බොහෝ දෙනෙකුට තම නිවාස ඉදිකර ගන්නට සිදුවන්නේ පර්චස් හයක හෝ එසේ නැතිනම් ඊටත් වඩා අඩු බිම් ප්‍රමාණයකය. එවැනි ඉඩකඩක කුඩා නිවසක් ඉදිකර ගත්තද එහි ජීවත්වන නිවැසියන්ට අවශ්‍ය සියලු පහසුකම් මනා කළමනාකරණයකින් ඒ තුළ ගොඩනඟා නොගතහොත් එය එදිනෙදා ජීවිතයට ස්ථිර වශයෙන්ම බාධා ගෙන දෙන කාරණාවක් වනු ඇත. නිදනකාමර, නාන කාමර, කෑම කාමරය මෙන්ම සාලය, මුළුතැන්ගෙය වැනි අත්‍යවශ්‍යම කොටස්වලින් සමන්විත නිවසක් ඉඩ පහසුකම් පිරිමැසෙන ආකාරයට තමන් සතු කුඩා ඉඩකඩක සාදාගන්නට සැළසුම් කිරීම ඉතාමත් කල්පනාවෙන් කළ යුතු කටයුත්තකි.
එලෙස නිවසේ සැළසුම සකස් කරද්දී ගරාජයක් කුඩා මිදුලක් සඳහා බිම් ප්‍රමාණය ඉතිරිකර ගැනීමේ අවශ්‍යතාවය මත දෙමහල් නිවාස ඉදිකර ගැනීමෙන් ඉඩකඩ පිරිමසා ගත හැකි අතර මහල් නිවසක් සඳහා තරප්පු පෙළක් නිර්මාණය කිරීමේදී ඒ සඳහාද අමතර ඉඩකඩක් වෙන් කිරීමට සිදුවේ.
එලෙස ඉදිකරන තරප්පු පෙළ යට ඉතිරිවන හිස් ඉඩ ප්‍රමාණයද නිවසේ ඉඩකඩ පිරිමසා ගැනීමට හැකිවන අයුරන් භාවිතයට ගැනීමට හැකියාව තිබුණද බොහෝ දෙනා එම ඉඩ ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබෙන අයුරු දක්නට ලැබෙන අතර තවත් සමහරුන්ගේ මතය වන්නේ එම ඉඩ ප්‍රමාණය ප්‍රයෝජනයට ගත හැක්කේ ගබඩා පහසුකම් නැතහොත් (Storage) සඳහා පමණක් බවය.
එය වැරදි මතයකි. එබැවින් මෙම ලිපියෙන් අප ඔබට කියා දෙන්නේ ඔබ විසින් ඉදිකරන නිවසේ තරප්පු පෙළ යට ඉතිරිවන බිම් කොටස භාවිතයට ගෙන නිවසේ පෙනුම මෙන්ම අලංකාරය වැඩිකර ගනිමින් වඩාත් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගත හැකි ක්‍රම කිහිපයකි.
වඩාත් කල්පනාකාරීව සිතා බලා තම නිවසට මෙන්ම පඩිපෙළේ හැඩයට අනුව එම ස්ථානය වඩාත් ගැලපෙන්නේ කුමන කටයුත්තක් සඳහාද යන්න පිළිබඳ දැනුවත් වී එය ක්‍රියාවට නැංවීමට ඔබ කල්පනාකාරී විය යුතුය.
● වෝටර් ෆීචර්ස් (water features)
තරප්පු පෙළ නිවසේ සාලයට පූර්ණ වශයෙන් නිරාවරණය වී ඇති අවස්ථාවක එම ඉඩකඩෙහි කුඩා දිය ඇල්ලක් සමග පොකුණක් ඉදිකර ඒ තුළ සුරතල් මසුන් ඇති කිරීමෙන් නිවස ඇතුළත ප්‍රියජනක මෙන්ම අලංකාරවත් ස්ථානයක් බවට පත්කරගත හැකිය.කළ යුතුය.
● රීඩින් ඒරියා (Reading Area)
පවතින ඉඩකඩෙහි හැඩය සැලකිල්ලට ගෙන උසින් අඩු ස්ථානයන්හි රාක්ක සාදා ඒ තුළ නිවැසියන් දිනපතා කියවීමට ගන්නා පුවත්පත් තබාගත හැකි අතර වැඩි එළියක් ලබාදෙන විදුලි බුබුළු යොදා සෝපාවක් තබා ගැනීමෙන් එම ඉඩකඩ කියවීමේ කාමරයක් බවට පත්කරගත හැකිය.
● ප්ලේ ඒරියා (Play Area)
කුඩාදරුවන් සිටින නිවසක ඔවුන්ගේ සෙල්ලම් බඩු තබා ගැනීමට එම කොටසේ රාක්ක සවිකර දීමෙන් නිවස පුරා විසිරෙන සෙල්ලම් බඩු එම ස්ථානයේම තබාගෙන සෙල්ලම් කරන්නට දරුවන් පුරුදු පුහුණු වනු ඇත. එහිදී උසින් අඩු තැන්වලට දරුවන්ට යාමට නොහැකි ලෙස ආවරණය කර ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිතා බලා රාක්ක ඉදිකරදීම සුදුසුවේ.
● බා කවුන්ටර් (Bar Counter)
ඩයිනින් රූම් එකට යාබදව බා කවුන්ටර් එකක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය එහෙත් ඒ සඳහා ඉඩකඩ වෙන්කර ගත නොහැකි අවස්ථාවක මෙම ඉඩකඩ භාවිතයට ගෙන බොට්ල් ඩිස්ප්ලේ ඒරියා එකක් ලෙසද මෙම ස්ථානය පාවිච්චියට ගත හැකිය. වයින් ග්ලාස් සඳහා හැඟින් ඒරියා එකද මෙම ස්ථානයේම පවත්වාගෙන යෑමෙන් නිවසට වැඩි අලංකාරයක් එකතු වනු ඇත.
● ටී වී රූම් (TV Room)
ඉඩ පහසුකම් වැඩි වශයෙන් පවතින නිවාසවල රූපවාහිනිය නැරඹීමට වෙනම (TV Room) තිබෙන අතර එවැනි ස්ථානයක් වෙන්කර ගැනීමට අපහසු කුඩා නිවසක තරප්පු පෙළ යට බිත්තියේ ටෙලි විෂනය රඳවා එම ස්ථානය ටී වී ඒරියා එකක් ලෙස භාවිතයට ගත හැක.
● ඩෙකරේෂන් ස්පේස් (Decoration space)
අප මෙතෙක් සඳහන් කළ කිසිඳු කටයුත්තක් සඳහා ඔබේ නිවසේ තරප්පු පෙළ යට පවතින ඉඩකඩ ප්‍රමාණය අඩු වන්නට හැකිය. එවැනි අවස්ථාවල එම ඉඩකඩ ප්‍රමාණය ඩෙකරේෂන් ස්පේස් එකක් ලෙස භාවිතා කිරීමට හැකියාව පවතී. තිබෙන ඉඩකඩ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ලී හෝ ඇලුමිනියම් භාවිත කර සාදා ගන්නා ඩිස්ප්ලේ රැක් තුළ විසිතුරු භාණ්ඩ (onerments) හා විසිතුරු පැළ (ornamental plants) වර්ග, ඡායාරූප (photos) වැනි දේවල් පිළිවෙලකට අනුව එහි තැන්පත් කිරීමෙන් නිවසේ අලංකාරය වැඩි වනු ඇත.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
අර්චිත ඉඳුවර ✍️