ප්ලාස්ටික් කියන්නේ දිරාපත් නොවන ද්‍රව්‍යයක්. ඒත් ගොඩක් අය නිර්මාණ කරන්නෙත් ප්ලාස්ටික්වලින්මයි ඒ නිසා පරිසරයට සිදුවන හානියත් එන්න එන්නම වැඩි වෙනවා. මේ ගැටළුවට විසඳුමක් ගෙනාපු කෙනෙක් තමයි අනෝමා දුෂාන්ති කියන්නේ ඇය හදන්නේ විසිතුරු අත්කම් නිර්මාණ. හැබැයි ඒ ප්ලාස්ටික්වලින් නෙමෙයි…
ඇයි උණ බටවලින් නිර්මාණ කරන්න හිතුවේ?
2016 දී ජාතික ශිල්ප සභාවේ මැදිහත්වීමෙන් අපේ ගමේ අත්කම් පුහුණු වැඩසටහනක් කළ. ඒ පුහුණුවට මමත් සම්බන්ධ වුණා. ඒ වගේම ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙනුත් පුහුණු වැඩසටහනක් තිබුණා. ඒකටත් සම්බන්ධ වුණා. පුහුණුව අවසන් කළාම මට නිර්මාණ කරන්න යන්ත්‍ර කිහිපයක් ලැබුණා.
ඒ යන්ත්‍රත් උපයෝගී කරගෙන ටික ටික නිර්මාණ කරන්න පටන් ගත්තා.මුලින් බිස්නස් එකක් විදියට නම් කරන්න අයිඩියා එකක් තිබ්බෙ නැහැ. මම ජොබ් එකක් නැතිව හිටපු නිසා ආසාවට තමයි ඉගෙනගත්තේ. මහත්තයා පෞද්ගලික අංශයේ රැකියාවක් කළේ. පස්සේ එයත් ජොබ් එකෙන් අයින් වෙලා නිර්මාණ කරන්න උදව් වුණා. ඊට පස්සෙ දෙන්නත් එක්කම එකතු වෙලා කරපු කැපකිරීම් නිසා තමයි මේ තරම් දියුණුවක් ලබා ගන්න පුළුවන් වුණේ.
මොන වගේ නිර්මාණද උණ බටවලින් කරන්නේ?
උණ බටවලින් කීටැග්, මල් වාස්, හැඳි, ගෑරුප්පු, බුක් මාර්ක්, සෙල්ලම් බඩු, මුළුතැගෙයට අවශ්‍ය හැඳි අසුරණ, කුළුබඩු රඳවන, කුඩා දරුවන්ට අවශ්‍ය සෙල්ලම් බඩු, බිත්ති සැරසිලි වගේ විවිධ නිර්මාණ කරනවා.



කොහොමද මේ නිර්මාණවලට ඕන කරන උණ බට එකතු කරගන්නේ?
ගමේ ගෙවල්වල උණ බට වවලා තියෙනවා. ඒ උණ බට එකතු කරගන්නවා. ඊට අමතරව අපේ ඉඩමකත් අපි උණ බට වවනවා. ඒ විදියට උණ බට අරගෙන නටන උණු වතුරේ දාලා තම්බනවා. ඊට පස්සේ ඒ උණ බට වේලලා තමයි නිර්මාණ කරන්නේ. උණ බටවලින් නිර්මාණ කරන නිසා හදන සෑම නිර්මාණයක්ම පරිසර හිතකාමියි.
සම්මානයකුත් ලැබුණා නේද මේ නිර්මාණවලට?
2023 දී කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැනීමේ අමත්‍යංශය හා තාක්ෂණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සම්මාන ප්‍රධානෝත්සවයෙන් පැවැත්වුණා. එහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ හොඳම සුහුරු ලිය සම්මානය හිමි වුණේ මට. ඒ වගේම එම වර්ෂයේදීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පැවැත්වුණු තරඟාවලියෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැව ආශ්රිත නිර්මාණවලින් ප්‍රථම ස්ථානය ලබා ගන්නත් පුළුවන් වුණා.
කොහොමද නිර්මාණ විකුණන්නේ?
මුලදි නම් උණ බට නිර්මාණ විකිනුණේ නෑ. මුලින් කඩවල්වලට අපිම ගිහින් තමයි අත්කම් නිර්මාණ විකුණුවේ. පස්සේ FB page එකක් හැදුවා. ඒ නිසා ගොඩක් අය අපි හදන උණ බට නිර්මාණ ගැන දැනගත්තා. ටික ටික අපේ නිර්මාණ ගන්න ප්‍රමාණය වැඩි වුණා. දැන් මේ වෙද්දී අපේ නිර්මාණ ලංකාවේ වගේම පිටරට ඉන්න අය පවා මිලදී ගන්නවා. පිටරටත් ඕඩර්ස් කිහිපයක්ම යවල තියෙනවා.

පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද
මට අවුරුදු පහළොවක දුවෙක් ඉන්නවා. ඉස්කෝලේ වැඩ ඉවර වුණාම මගේ දුවත් මේ උණ බටවලින් නිර්මාණ කරන්න උදව් වෙනවා. මගේ මහත්තයත් මගේ පිටිපස්සෙන් ඉන්නවා. අපි දෙන්නම ගෙදර වැඩ වුණත් බෙදාගෙන කරන්නේ. ඒ නිසා නිර්මාණ කරන්නත් කාලය ඉතිරි වෙනවා.
කොහොමද නිර්මාණයක් කරන්න අදහස් ගන්නේ?
උණ බටවලින් කරන නිර්මාණ ගැන යූ ටියුබ්, ෆෙස්බුක් වගේ පැලැට්ෆෝර්ම්ස්වල වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස්වලින් අදහස් ගන්නවා. ඒ නිර්මාණ ඒ විදියටම කරන්නෙ නැහැ. අලුත් නිර්මාණයක් විදියට අපේ අදහසුත් එකතු කරල තමයි නිර්මාණ කරන්නේ.
මොනවද ආපු අභියෝග?
මුල් කාලේ අපට නිර්මාණ හදන්නවත් තැනක් තිබ්බෙ නෑ. එළියේ පොඩි මේසයක් හදාගෙන තමයි නිර්මාණ කළේ. ඒ වගේම සීමිත යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් තමයි තිබ්බේ. ඒ නිසා නිර්මාණ හදන්න ලේසි වුණේ නෑ. පස්සේ පුළුවන් විදියට ගෙදර පිටිපස්සෙන් මඩුවක් හදාගෙන නිර්මාණ කරන්න ගත්තා. ටික ටික ව්‍යාපාරය දියුණු වුණ නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කළා. මොන අභියෝගය ආවත් ඒ දේවල්වලට මුහුණ දීගෙන ඉස්සරහටම ආපු නිසා මේ ගමන එන්න පුළුවන් වුණා.
හොඳ ඉවසීමක් ඕන නේද මේ නිර්මාණ කරන්න?
අපි කස්ටමස්ල ඉල්ලන විදියටත් නිර්මාණ කරනවා. ඒ වගේම හිතට එන අයිඩියාස් අනුවත් නිර්මාණ හදනවා සමහර වෙලාවට හදන නිර්මාණ වරදිනවා. මුලදි නම් ගොඩක් වැරදුනා. පස්සේ අත්දැකීම් එක්ක වැරදීම් වෙන ප්‍රමාණය අඩු වුණා. පොඩ්ඩක් හරි කපද්දී එහා මෙහා වුණොත් මුළු නිර්මාණයම වැරදෙනවා. ඒ නිසා හොඳ ඉවසීමක් තියෙන්න ඕන. වැරදෙන නිර්මාණවලින් අලුත් නිර්මාණ කරන්නත් පුළුවන් වුණා. නිර්මාණයක් කරද්දී අලුත් දේවල් නිතිපතා දැනගන්නවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
අපි හදන උණ බටවලට සැපයුමට වඩා ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ගමේ ඉන්න අයටත් රැකියා අවස්ථා දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම ව්‍යාපාරික ස්ථානය තවත් පුළුල් කරගන්න අරමුණක් තියෙනවා. අපේ නිර්මාණ ගෝලිය වශයෙන් තවත් ප්‍රචලිත කරගන්න්නත් ආසාවෙන් ඉන්නවා.
පවනි දිලේකා ✍️