බක් මහ කියන්නේ බොහොම සශ්‍රික මාසයක්. හැම ගෙදරකම කැවිලි පෙවිළි හදන, මිනිසුන් සතුටින් සමගියෙන්, සහජීවනය ගොඩ නගාගන්නා කාලයක්. නමුත් අතීතයට සාපේක්ෂව බලන විට අද දවස වෙන විට සිංහල සම්ප්‍රදායික අවුරුදු කැවිලි කියන සංකල්පය පවා අපෙන් ඈත් වෙන ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. මේ නිසාම අද දවසේ හය හතර තේරෙන වයසේ දරුවෙකුගෙන් පවා සිංහල අළුත් අවුරුද්දට ගෙදර හදන කැවිලි මොනවාද ඇහුවොත් කේක්, කිරි ටොෆි, පොල් ටොෆි කියන ශෝචනීය තැනට පත්වෙලා. දරුවන්ගේ පැත්තෙන් එය ඇත්ත. ඔවුන් අවුරුදු කැවිලි මේසයට දකින්නේ ඒ වගේ දේවල් පමණයි.ඒ විතරක් නොවෙයි, අතීතයේදී සිංහල අලුත් අවුරුද්දට හැම ගෙදරකම තෙල් තාච්චිය ළිප තිබ්බා. එහෙම නැත්නම් ඉදිරි නිවසට සශ්රිකත්වයක් ඇති වෙන්නේ නැහැ කියල පිළිගැනීමක් ඔවුන් අතර තිබුණා. නමුත් අද කාර්ය බහුල ලෝකයේ කැවුම් හදන්න කාලය නැති බව සහ කැවුම් වගේ සිංහල කැවිලි හදන්න නොදන්නා බව කියන හේතු පාඨය ඉදිරියට තබා ගෙන අවුරුදු මේසයට කඩෙන් ගත් කැවිලි කීපයකට සීමා වී තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තව තවත් ඉදිරියට ගියොත් අපට සිංහල කැවිලි එහෙම නැත්නම් කැවුම් වගේ දෙයක් කෞතුකාගාරයකින් දකින තැනට පත් වෙන්නත් පුළුවන්. මේ වගේ අනාගතයක් ඉදිරියේ වැලිවේරිය පදිංචි පී. එම්. ඩී. සඳමාලි අලුත් පියවරක් තැබුවා. අපි ඒ ගැන ඇගෙන් අහමු…
ඔව් අපේ ආච්චි අම්මා හරිම දක්ෂයි සිංහල කැවිලි හදන්න. ගමේ අවුරුදු මේසය කියන්නේ සිංහල කැවිලි පිරුණ හරිම සුන්දර දර්ශනයක්. ආච්චි අම්මා නිවසේ ඉඳන් ව්‍යාපාරික මට්ටමින්ම කැවිලි පෙවිලි සකස් කිරීම කළා. විශේෂයෙන් විවාහ මංගල්‍ය උත්සවවලදි අවශ්‍ය කැවිලි පෙට්ටි, දානමය පිංකම් වෙනුවෙන් වගේ ඇනවුම් මීට දශක ගණනාවකට පෙරාතුව ඇයගෙන් ගමට ලැබුණ සේවාවවක්.
අත්තම්මා මිය ගියාට පසුව අපේ අම්මා සහ පුංචි අම්මලා මේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන ගියා. නමුත් ඔවුන්ගෙත් හයි හත්තිය නැති වෙලා මේ ව්‍යාපාරය කරන්න බැරි දවසක් ආවා. ආච්චි අම්මාගේ ලොකු මිනිපිරිය මම. අනිත් අයටත් කැවිලි පෙවිලි හදන්න හැකියාව තිබුනත් ව්‍යාපාරික මට්ටමින් මේ කාර්යට අත තබන්න ඔවුන් කැමැත්තක් දැක්වුයේ නැහැ.
පරම්පරාවේ ආභාෂයෙන්ම ඔබ මේ තැන ගත්තා…
ඔව් අපි හැමදාම ආච්චි අම්මා කැවිලි පෙවිලි සහ වෙනත් ඉවුම් පිහුම් කරනවා දැකල තිබුණා. දුරු මිරිස් ටික, පිටි ටික ගෙදර කොටාගෙන ඇය මේ සියල්ල කළා. අද වගේ වැඩ පහසු කරන උපකරණ කිසිම දෙයක් තිබුනේ නැහැ. ඇය උයන විට පළාතම සුවඳයි. අදටත් ඒ රස මගේ දිවට වගේම සුවඳ නැහැයට දැනෙනවා. ආච්චි අම්මාගේ ඇණවුමක් කවදාවත් වැරදුනේ නැහැ. ඇය කිසිම දවසක කෑමක රසය, පෙනුම ගැන දොස් ඇහුවේ නැහැ. මේ ආභාෂය නිසාම මටත් යම් හැකියාවක් ඇති බව මට හිතුනා. ඒ නිසා මමත් ආහාර සකස් කිරීම ව්‍යාපාරික මට්ටමින් ආරම්භ කළා.
ඔබත් දැන් සන්නාමයක අයිතිකාරිනියක්...
ඔව්. Asian Food and sweets මගේ සන්නාමය. මම දැන් අවුරුදු 15 ක් පුරා මේ ව්‍යාපාරය පවත්වා ගෙන යනවා. රටේ කීර්තිමත් ආහාරපාන අලෙවි කරන ආයතන වෙනුවෙන් ඔවුන්ගේ සන්නාමයෙනුත් මගේ නිෂ්පාදන ලබාදෙනවා.


සිංහල කැවිලි එක් දින පාඨමාලාවක් වෙනුවෙන් ඔබ යොමුවුනේ…
උත්සව කාලවලට අපි හැම දෙනක්ම කාර්යබහුලයි. ඇණවුම් ලැබුණත් මටත් ඒ සියල්ල බාරගන්න බැහැ. මේ හැම දෙයක්ම මිනිස් ශ්‍රමයෙන් කරන නිසා මටත් කළ හැකි යම් ධාරිතාවක් තිබෙනවා. ඒ නිසා මට මෙහෙම හිතුනා.මිනිස්සු සිංහල අවුරුදු කාලයට කැවිලි පෙවිලි මුදලට ගන්නේ නිවසේ ඒවා හදාගන්න බැරි නිසානේ. ඉතින් මම හිතුවා සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් අපි නිවසේ සකස් කරන කැවිලි වර්ග පහක් හදන ආකාරය ගැන එක දවසකින් කියල දෙන්න. ඒ නිසා මම පුංචි කණ්ඩායමක් එකතු කරගෙන එක් දිනයක් තුළ කැවිලි වර්ග පහක් හදන්න කියල දෙනවා.
මොනවද ඒ කැවිලි?
අවුරුදු වෙනුවෙන් අපි අනිවාර්යයෙන් සකස් කරන මුංකැවුම්, අතිරස, කොණ්ඩ කැවුම්, කොකිස් සහ අළුවා.මේ කැවිලි වර්ග පහ හදනවා. ඩිප්ලෝමාවක් හෝ සහතික නිකුත් කරන්න නොවෙයි. තමන්ගේ නිවසේ අවශ්‍ය විදිහට අඩු වියදමකින් පවුලේ උදවිය සතුටු කරන්න හැකියාව ලබාදීම පමණක් මෙතැනින් සිදුවනවා. ඊටත් අම්මා බිරිඳගේ අතින් හදපු සිංහල කැවිලි මේසයකින් ගෙදර හැඩ වුණාම කාටද ආඩම්බර?

අමුද්‍රව්‍ය අරගෙන එන්න අවශ්‍යද?
නැහැ. ඒ සියල්ල ලබාදෙනවා. වැඩසටහන අවසානයේදී හදන කැවිලි සහභාගී වුණ අයටම කාලා සතුටු වෙලා යන්න පුළුවන්. කැවිලි හදන වට්ටෝරු පොතකුත් දෙනවා. ගෙදර ගිහින් හදන විට යම් ගැටලුවක් ආවොත් ඒ ගැනත් විමසා දැන ගන්න පුළුවන්.
මේ පංති තියෙන්නේ?
මම දැනට බ්‍රහස්පතින්දා ගම්පහ, සිකුරාදා කඩවත, සෙනසුරාදා ජා ඇල පංති පවත්වනවා. අවශ්‍ය අයට Asian Food and sweets ෆේස් බුක් පිටුවට ගිහින් වැඩිදුර විස්තර ලබාගන්න පුළුවන්.
සමහර අයට බෝ නොවන රෝග නිසා කැවිලි අගුණයි. තෙල්, පිටි, සීනි තහංචියි. මේ ගැන ඔබේ අදහස…
අපි ගොඩනගා ගත් අදහසක් තියෙනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා. නමුත් ඔය අදහස ගැළපන්න තිබුනේ මේ විදිහට.සිංහලයා යෝධයා කැවුම් කන්න හාදයා. ඇත්තටම අපේ ජාතිය මෝඩ නැහැ. ඇලෙක්සැන්ඩර් ප්ලේමිං පෙනිසිලින් හොයා ගත්තේ තුවාල වෙළුම් පටියක තිබුණ පුස් දැකලා. දුටුගැමුණු රජතුමා පුස් කාපු කැවුම් යුද්ධයට ගිහින් තුවාල වෙන සෙබළුන්ගේ තුවාලට සුවපත් කරන්න යොදාගත්තා. ඒ වගේම යුද්ධයට යද්දී කැවුම් පොදියක් අරගෙන යනවා. යුද්ධයේදී ඇතිවන තැළුම් තැන් මේ කැවුම්වලින් තවනවා. ඉස්සර සිරිපාදේ ගිහින් ගෙදර ආවාම කැවුම් වලින් දෙපා තවනවා.
අපේ ගොවිතැන ස්වභාව ධර්මයට සම්බන්ධයි. යල මහ කන්න දෙක වැඩ කරනවා. වැහි කාලය සමග අකුණු වදිනවා. ගොයම් කපල අවසාන කුඹුරකට අකුණක් වැදුණොත් ඒ ශක්තිය ගොයමට එකතු වෙනවා. අපි වී කොටල ගන්න අස්වැන්නේ එන සහල්වල ඒ ශක්තිය අන්තර්ගතයි. මුංඇට කැවුමක් කියන්නේ අකුණක් වගේ සිරුරට ශක්තියක්. මුංඇට, සහල් පිටි මේ සියල්ලේම සංයෝගයක්. පොල්තෙල් ගන්නේ තාල වර්ගයේ ගසකින්. කිතුල් හෝ පොල් පැණිත් අපි ගන්නේ ශාකවලින්.
උක් වුණත් ශාඛ නිස්සාරණයක්. එදා පොල් පැණි, කිතුල් පැණි මේ සියල්ල නිවසේදීම සකස් කළා. බක්මහට කලින් මේවා සූදානම්.එදා කැවුම් පරිසරයේ සංකේත විදිහට යොදා ග්තතා. අපි පරිසරයට බද්ධයි. කොකිස් ඉර ලෙසත් අතිරස සඳටත් කොණ්ඩ කැවුම් වලාකුළටත් ස්තුති කිරීමක් ලෙසින් සකස් වුණා. එදා කොණ්ඩ කැවුමක් හදාගන්න හැකියාවක් නැති කාන්තාව ගැනත් වැඩිහිටියන් දොස් කිව්වා.
අද නම් ප්‍රසිද්ධියේ මට කැවුම් හදන්න බැහැ කියල උජාරුවෙන් කියන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කිසිම දෙයක් අපට හදන්න බැරි කමක් නැහැ. වෙලාවක් නැහැ කියන්නත් බැහැ. අවශ්‍යතාව, කැපවීම වගේම ආසාව තිබෙනවා නම් බැරිකමක් නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️