නැකැත්, හඳහන් මේ මොනවා ගත්තත් හැමදේම බලපාන්නෙ අපේ මනසට. එතකොට සමාජයේ පවතින මේ නැකැත්, සිරිත් විරිත්, චාරිත්‍රවලින් යම් මානසික බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ දේවල් හොඳද නරකද, ධනද සෘණද කියලා තීරණය වෙන්නෙ මිනිස්සුන්ගේ භාවිතය එක්ක. අපේ මනස හැමතිස්සෙම කැමතියි විවිධත්වයකට. එහෙමත් නැත්නම් අලුත් ආරම්භයකට. ජීවිතේ කාලයක් තිස්සේ ඒකාකාරීව ගලාගෙන යද්දි විවිධත්වයක් බලාපොරොත්තු වෙනවා. නැකැත්වලත් ගන්න තියෙන්නෙ අපිට මේ විවිධත්වයම තමයි.
තත්ත්පරයක් කියන්නේ අලුත් ආරම්භයක්. මිනිත්තුවක් කියන්නෙ අලුත් ආරම්භයක්. පැයක් කියන්නෙ අලුත් ආරම්භයක්. දවසක්, මාසයක් කියන්නෙත් අලුත් ආරම්භයක්. ඒකාකාරී විදිහට ජීවත් වෙලා අලුත් දෙයක් ජීවිතේට එකතු කරගන්නකොට තමයි අපි ඔය නැකැත් කියන දේ භාවිතයට ගන්නේ. නැකැත් භාවිත කරගෙන හෝ ජීවිතේට අලුත් ආරම්භයක් ගන්න එක අපේ මනසට හොඳයි. නමුත් නැකැත් කියලා, කරන්න තියෙන හොඳ වැඩක් කල් දාන ඒකනම් හොඳ දෙයක් නෙවේ. අපි හිතමුකො ඔබ ගෙයක් හදන්න ඉන්නවා කියලා. අපි ගෙදරට මුල් ගල තියන්න වෙලාවක් බලනවා. ඒ සුබ වෙලාව වෙනුවෙන් අපි සූදානම් වෙනවා. ඒ සුබ වෙලාව එක්කම අපේ සිතුවිලිත් ධනාත්මක වෙනවා. ඒක මානසික වශයෙන් අපට හොඳ විදිහට බලපානවා.
නමුත් හිතන්නකො අපිට වැඩක් පටන්ගන්න තියෙනවා. හැබැයි නැකත නිසා ඒ වැඩේ අපි මාස ගාණක් පස්සට දානවා. අන්න එතකොට අපේ ගමනට බලපෑමක් එල්ල වෙනවා. අපි දියුණු වෙන්න හිතාගෙන මොකක් හරි දෙයක් පටන්ගන්නවා. හැබැයි නැකත පරක්කු නිසා ඒ වැඩෙත් අපි පරක්කු කරනවා. එහෙම බලද්දි අපේ දියුණුව තියෙන්නෙ නැකැත්කරුවා අතේ. නැකැත්කරුවට පුළුවන් මනුස්සයෙක්ගෙ මානසිකත්වය බිඳලා දාන්නත් ඒ මනුස්සයව අභිප්‍රේරණය කරන්නත්. නැකැත්කරුවා කිව්වොත් මේ වෙලාවෙ නම් මේක පටන්ගන්න එපා එහෙම වුණොත් මේක හරියන්නෙ නෑ කියලා, අර මනුස්සයා හිතින් වැටෙන්න, සෘණාත්මක වෙන්න පටන්ගන්නවා. ඔයාට මේක පටන්ගන්න හොඳ නැකතක් හෙට තියෙනවා හෙටම මේක පටන්ගන්න කිව්වොත් මෝටිවේට් වෙලා ඒ වැඩේට අතගහනවා.
ග්‍රහයෝ ගැනනම් දන්නෙ නෑ, නමුත් අපි දන්න මනෝවිද්‍යාව ඇතුළේ සියල්ලටම මූලික වෙන්නෙ මිනිස්සුන්ගේ මනස. බුදු රජාණන් වහන්සේගේ දේශනාව ඇතුළෙත් තියෙනවනෙ ‘මනෝ පුබ්බංගමා ධම්මා‘ කියලා. මනස තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. අපිට නැකතකින් හරි, අලුත් ආරම්භයකින් හරි, සම්ප්රදායකින් හරි අපේ මනස අලුත් කරගන්න පුළුවන්නම් ඒක තමයි වඩාත්ම හොඳ. නමුත් අපි නැකැත් මත්තෙම එල්බගෙන ඉඳලා අද කරන්න තියෙන වැඩේ තව මාස ගාණක්, අවුරුදු ගාණක් ඉදිරියට කල් දානවනම් ඒක අපරාධයක්. අපි ජීවත් වෙන්නෙ පොඩි කාලයයි.
එතකොට ඒ කාලෙ ඇතුළෙ අපිට කරන්න තියෙන වැඩ නැකැත් බලලා මාස ගණන්, අවුරුදු ගණන් කල් දාන එකනම් අනුමත කරන්න බෑ. අපි හිතමු යුවළක් විවාහ වෙන්න ඉන්නවා කියලා. අවුරුදු 24න් තමයි විවාහ වෙන්න යන්නේ. නමුත් නැකැත්කරුවා හඳහන බලලා කියනවා 30 වෙනකල් විවාහ වෙන්න හොඳ නෑ කියලා. අන්න ඒ වගේ තැන්වලදි නැකැත් හොඳයි කියලා අපිට හිතන්න බෑ. නැකැත් කියන දේවල් හරි විදිහට පාවිච්චි කරනවා නම් හොඳයි.
අවුරුදු නැකැත්, චාරිත්‍ර ගැන කතා කළොත් ඒ සියලු චාරිත්‍ර මුළු පවුලම එකතු වෙලා කරන දේවල් නිසා පවුලේ සමගිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපේ කම රැකගන්න පුළුවන්. මොකද අවුරුදු චාරිත්‍ර නැකතට කළා කියලා කාටවත් හානියක් සිද්ධ වෙන්නෙ නෑ. නමුත් තමන්ගේ දියුණුවට බලපාන දේවල් නැකැත් නිසා පස්සට දාන එක ගැන තමයි අපි අවධානය යොමු කළ යුතු වෙන්නේ.
ගෙදර තියෙන පිහිය අපිට එළවළු කපන්න ගන්නත් පුළුවන්. ආයුධයක් කරගන්නත් පුළුවන්. ලණුවක් මොනව හරි ගැටගහන්න ගන්නත් පුළුවන්. බෙල්ලෙ වැල දාගන්න ගන්නත් පුළුවන්. ඒ නිසයි කිව්වෙ භාවිතය අනුවයි නැකැත් කියන දේ හොඳද නරකද කියලා තීරණය වෙන්නේ.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️