ගසක් රූස්ස ලෙසින් අතු පතර විහිදා වැඩුනත් හැම ගසකටම එක හා සමාන ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ නැහැ. කිතුල් ගස ගැන කතා කළොත් මේ අදහස බෙහෙවින්ම සාධාරණයි. කිතුල් ගසෙන් පැණි ලබා ගත්තත්, සමහර විට කිතුල් මල් මදින්න හැකියාව ඇති අය දැන් නැති නිසා මේ ගස් කාලයත් සමග මැරී යනවා. ඒ විදිහට මැරුණ කිතුල් කඳකින් බුලත් මැස්සක්, දුම් මැස්සක් ගැසීම හැර කරන්න වෙනත් දෙයක් නැහැ. නමුත් ගාල්ල හීනටිගල පදිංචි ඩබ්. ජී පුෂ්පා මානෙල් ඇගේ සැමියා වන ප්‍රදීප් සමග එකතු වෙලා කිතුල් ආශ්රිත නිර්මාණ කර්මාන්තයක් පටන් ගත්තා.
කොහොමද මේ කිතුල් කර්මාන්තයට මුල පිරුවේ…
මගේ සැමියා විවිධ රැකියාවන් කළා. ඒ වගේම ව්‍යාපාරත් කළා. එළවළු, මිරිස් තුනපහ, සත්ත්ව පාලනය වගේ ව්‍යාපාර කළත් විටින් විට රටේ ඇති වුණ ආර්ථික හා සමාජ ප්‍රශ්න නිසා ඒවා බිඳ වැටුණා.
මේ අතර අපේ නිවසේ ඉදිකිරීම් කටයුතු කරද්දී මගේ සැමියා කිතුල් ලීයකින් ස්කේටින් පටියක් සකස් කර දෙන්න කියල බාසුන්නැහේලාගෙන් ඉල්ලා සිටියා. නමුත් යන්ත්රාණුසාරයෙන් කිතුල් පටිය ඔබ මට්ටම් කරන්න ඔවුන් කැමැති වුණේ නැහැ. ඔය අතරේ මගේ සැමියාට මේ වගේ අදහසක් ආවා.
ඒ අදහස අවසානයේදී මල් ඵල ගත්තා…
කිතුල් ලීයෙන් නිර්මාණ කළොත් විදේශිකයන්ගේ වෙළඳපොළ අපට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියල සිතුවිල්ල ඔහුගේ හිතේ තිබුණා.ඊට අමතරව කල්පනා කරන විට මේ වෙනුවෙන් විශාල ආයෝජනයක් අවශ්‍ය නැහැ.
අපි මිරිස් තුනපහ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් යන්ත්‍රෝපකරණ වෙනුවෙන් ලොකු ආයෝජනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සත්ත්ව නිෂ්පාදන ගැන සඳහන් කරනවා නම් වෙළඳපොළ මිළ උච්චාවචනය වෙන විට අපට පාඩු වෙනවා. මේ අත්දැකීම් අපට තිබෙන නිසා කිතල් ආශ්රිත නිර්මාණවලදී ඒ ගැටළුව නැති බව අපටම ඒත්තු ගියා.

කිතුල් වෙනුවෙන්ම ඔබ දෙදෙනා උනන්දු වුණේ?
කිතුල් ගහක් මැරුණාම කිසිම විදිහකින් ප්‍රයෝජනයක් ගන්න බැහැ. අලියන්ගේ ආහාරවලට ගත්තත් දැන් අලි ගහණයත් අඩු වෙමින් පවතින නිසා ඒ ප්‍රයෝජනයත් ගැනීම අපහසුයි.
ඊටත් මේක අලුත් කර්මාන්තයක් විදිහට පටන් ගන්න පුළුවන් බව අපි හිතුවා. අපේ රටේ පැදුරු, වෙස්මුහුණු, අමුරෙදි වගේ කර්මාන්තයක් ගැන සඳහන් කරනවා නම් ඒවා දිගු අතීතයක් තිබෙන කර්මාන්ත. නමුත් අදටත් කිතුල් ආශ්රිත කර්මාන්ත තිබෙන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක් පමණයි.
ආරම්භය ගැනත් කිව්වොත්…?
මුලින්ම කිතුල් ගස් දෙකක් ගෙනත් නිර්මාණ කීපයක් කළා. මේ වෙද්දී යන්ත්රයක්වත් තිබුනේ නැහැ. දැනටත් මේ නිර්මාණවල බොහෝ කොටසක් අපි අතින් කරන්නේ. අතින් කපලා, වැලි කඩදාසි අල්ලනවා.
එතැනින් පසුව වඩු මැෂිමට දානවා.ග්‍රයින්ඩ් කරනවා. ඔබ දැමීම වගේ වැඩ කොටස් වෙනුවෙන්ම අපේ ගමේ කාන්තාවන් කීප දෙනෙක් සම්බන්ධ වෙනවා.ඒ අය උදේට දරුවන් පාසල් යවලා ඔවුන් නිවසට එන තෙක් අපේ කර්මාන්තශාලාවේ වැඩ කරනවා. එයින් අතිරේක ආදායමක් ලබනවා.

වැඩ කරන විට ගැහැණු පිරිමි භේදයක් නැහැ…
කිසිම විදිහකින් නැහැ. වැලි කඩදාසි ඇල්ලීමේ පටන් කොටන් අදින්න, මැෂින්වලට කොටන් පටවන්න, කැපෙන ලී එකතු කරන්න. මේ කොයි දෙයට වුණත් අපි සූදානම්. මේක මගේ දෙයක් නෙවෙයි. අපේම දෙයක් විදිහට හිතනවා මිසක එතැනින් එහාට කිසිම වෙනසක් නැහැ.
දැන් කිතුල් කොට හොයා ගන්නේ…
මුලින් මගේ සැමියා අසල්වැසි තැන්වලින් කිතුල් කොට සොයා ගත්තා. ඊට පසුව දුර බැහැර ප්‍රදේශවලට ගියා. දැන් අපේ නිවසටම කිතුල් කොට ගෙනත් දෙන සැපයුම්කරුවන් සිටිනවා. කිතුල් කර්මාන්තය ගැන සඳහන් කරනවා නම් අපේ රටේ කිතුල් නැවත වගා කිරීම වෙනුවෙන් ධෛර්යක් ලබා දීම සිදු වෙන්නේ නැහැ.
ඒක හරිම කනගාටුයි. මහ වනාන්තරවල පිටින් රත්කිඳ වැනි ශාඛ පෙනෙන්න තිබුණත් ඇතුලත තිබෙන්නේ පයිනස් වගාවන් විතරයි. වටිනා දැව කපලා. මේ වගේ වනාන්තරවලට කිතුල් ඇට ටිකක් ඉස්සොත් ඉබේම පැල වෙනවා. කාලයක් යන විට ඒ ගස් ප්‍රයෝජනයට ගන්න පුළුවනි. චීනය වගේ රටවල් කිතුල් කියන ගස් ගැන දන්නෙත් නැහැ. නමුත් ඔවුන් ඒ රටේ කිතුල් වගා කරනවා.
ඔබේ කිතුල් ආශ්රිතා නිර්මාණ මොනවාද…?
විශේෂයෙන් අපි සංචාරකයන් ඉලක්ක කර ගෙන කිතුල් නිර්මාණ කරනවා. සංචාරක හෝටල්වලට අවශ්‍ය හැඳි, ගෑරුප්පු, මල් පෝච්චි, එළවලු කපන ලෑලි වගේ විවිධ නිර්මාණ කරනවා. අපි “ කිතුල් වුඩ් ඩිසයින් ” යන සන්නාමයෙන් මේවා අලෙවි කරනවා. අදටත් අපේ වෙළඳපොළ ගොඩ නැගි තිබෙන්නේ සංචාරකයන් මුල් කර ගෙන කිව්වොත් නිවරැදියි.
දේශීය වෙළඳපොළට සැපයුමක් නැතිද…?
එහෙම සීමාවක් නැහැ. දැන් අපි මාලදිවයින, එංගලන්තය වගේ රටවලට අපනයනය කරනවා. මගේ සැමියා ඉන්දියාවට ගොස් මේ නිෂ්පාදන අලෙවි කර තිබෙනවා. ඊට අමතරව “ ගෝල් මාර්ට් ” වල සෙනසුරාදා සහ ඉරිදා අපේ “ කිතුල් වුඩ් ඩිසයින් ”අලෙවි පොළක් තිබෙනවා. “ ගුඩ් මාර්කට් ” වලත් අපි අලෙවි පොලක් පවත්වනවා. මේ අලෙවි මධ්‍යස්ථානවලින් අපේ රටේ පාරිභෝගිකයන්ට කිතුල් නිෂ්පාදන මිළ දී ගැනීමට කිසිම බාධාවක් නැහැ.
රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙතින් ලැබෙන සහයෝගයක් ගැන කිව්වොත්…?
කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ කිසිම සහයෝගයක් නැහැ කියන එක තමයි. අපි අයත් වන්නේ හස්ත කර්මාන්ත කියන අංශයට. මේ සම්බන්ධ ආයතන බොහොමයක් තිබුණත් අපට කිසිම ආයතනයකින් උදව්වක් ලැබිලා නැහැ. අපේ මහන්සියෙන් සහ කැපවීමෙන් කර්මාන්තය ඉදිරියට ගෙන යනවා. ඒ ගැන අපේ හිතට පසුතැවිමකුත් නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා