මුතුන්මිත්තන්ගේ සිට අප ද ඉර උදාවේ සිටම එදිනෙදා වැඩ කටයුතු සැලසුමක් ඇතිව සිදුකිරීමට පුරුදුව ඇත. ඉර අවරට යන විට දවසේ වැඩ කටයුතු හමාර කරන්නේ ඊළඟ දිනය ද සැලසුම් කර ගනිමිනි. හිරුගේ කිරණින් හා මවගේ කිරෙන් පෝෂණය වන ලාංකිකයින්ට විශ්ව ශක්තිය පිළිබඳව ඇත්තේ පුදුමාකාර විශ්වාසයකි. එම නිසා තමන්ගේ නිවහන විශ්ව ශක්තීන්ගෙන් පිරීයන ආකාරයෙන් තනා ගැනීමට ඔවුන් උනන්දු වෙති.
නැගෙනහිරින් පායන හිරු කිරණ නිවසට ළඟාකර ගැනීමට සාලය කොටස උතුර, ඊශාන, නැගෙනහිර දිශාවට සැලසුම් කරගන්නේ සාලයට පතිත වන හිරු කිරණ කාමරයෙන් කාමරයට විහිදීයන ආකාරයෙනි. නිවසක තේජෝ ශක්තිය ස්ථානගත කළ යුත්තේ ගිනිකොණ දිශාවේ බව ඔවුන් තේරුම් ගත් අතර වී අස්වැන්න තැන්පත් කිරීම පිණිස වී බිස්ස ඉදිකළේ නිරිත දිශාවෙහිය. ළිඳ උතුර, ඊශාන දිශාවලට ස්ථානගත කරගත් අතර බ්‍රහ්ම පාදය, ප්‍රධාන උළුවස්ස, පිටවීමේ උළුවස්ස වැනි ප්‍රධාන අංගයන් මෙන්ම මුදුන් යට ලී තැබීමේදී උතුරේ සිට දකුණු දිශාවට
ස්ථානගත කර ගත්හ. නිවසට අමතරව අලුත් කොටසක් ලෙස මුළුතැන්ගෙයක් ඉදිකරගත්තේ වෙනම අත්තිවාරමක් යොදා ප්‍රධාන ගෘහයේ වර්ගයට කිසිදු හානියක් සිදුනොවන අයුරිනි. වැසිකිළිය ඉදිකර ගත්තේ ද නිවසේ සිට බඹ කිහිපයක් දුරින් ඊටම වෙන් වූ දිශාවකය. වර්තමානය වන විට විෂබීජවලින් යුක්ත නාන කාමරය හෝ වැසිකිළිය නිවස තුළම ඉදිකර ගැනුන ද අතීතයේ එය ප්‍රධාන ගෘහයේ අත්තිවාරමට එකතු වූයේ නැත.
නූතන සමාජයේ බොහෝ අය නිවසක් ඉදිකිරීමේදී සැලසුමක් ඇඳ නිවැරදි වාස්තු උපදෙස් අනුගමනය කරමින් නිවස ඉදිකර ගත්තද කල්ගතවීමේදී නිවසේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන අවස්ථාවල තමාට රිසි පරිදි නිවසට අලුත් කොටස් එකතු කර ගන්නේ වර්ගය, බ්‍රහ්මපාදය ඇතුළු වාස්තු කාරණා පිළිබඳ කිසිදු තැකීමක් නොකරමිනි. හිතුමතේ නිවසට අලුතින් කොටස් එකතුකර ගැනිමේදී නිවසේ බ්‍රහ්මපාදය වෙනස් වන අතර ප්‍රධාන උළුවස්ස හා අනෙකුත් දොර උළුවහුවල පාද වෙනස් වී අශුභ අත්දැකීම්වලට මුහුණදීමට සිදුවේ. නිවසේ අය වැය පවා වෙනස් වේ. සමහර
අවස්ථාවල යම් යම් කොටස් එකතු කර ගැනීමෙන් ආර්ථික තත්ත්වය මෙන්ම ජීවිතයේ සතුට පවා අඩු වී දුක් කරදර සහිත ජීවිතයක් ගත කිරීමට හේතු වේ. නිවසේ දිග පළල වර්ගකර නොගැනීමෙන් නිවසේ ලැබීම් අඩුවිය හැකි අතර වියදම වැඩි වී ආර්ථික වශයෙන් පසුබෑමක් ඇති කරවයි. බ්‍රහ්ම පාදය වෙනස් වී පෑගෙන හෝ බරක් යෙදෙන බිත්තියකට ස්ථානගත වුවහොත් බලාපොරොත්තු නොවූ විරූ කරදරවලට මුහුණපෑමට සිදුවනු ඇත.
සෑම විටම නිවසට අලුතින් කොටසක් එකතු කරගැනීමේදී එය වාස්තු විද්‍යානුකූලව සිදුකළ යුතු අතර බ්‍රහ්ම පාදයේ වෙනස්වීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුතුමය. තවද අලුතින් එක් දිශාවකට කාමරයක් එකතු කර ගැනීමෙන් නොදැනුවත්වම පොරවතල හැඩ නිර්මාණය වීමට ඉඩ ඇත. එවිට සිදුකළ යුත්තේ පොරවතල හැඩ නොවැටෙන අයුරින් අත්තිවාරම සෘජුකෝණාස්‍ර වන ලෙස අදාළ කොටස එකතුකර ගැනීමයි.
සමහර නිවාසවලට කොටස් එකතුකර ගැනීමේදී ප්‍රධාන ගෘහයට ලැබෙන සූර්යයාලෝකය අඩුවීම එම නිවසෙ ජීවත්වන්නන්ට එල්ලවන ප්‍රධාන දෝෂයකි. මෙලෙස හටගන්නා පියවි ඇසට නොපෙනෙන බොහොමයක් වාස්තු දෝෂ නිවැසියන් අතර සමගිය සමාදානය අඩු විමට ද හේතු වේ. එසේම උළුවහු ජනෙල් ප්‍රමාණයන් පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත් වන අතර හැමවිටම නිවසේ උළුවහු ඔත්තේ හා ජනෙල් ඉරට්ටේ විය යුතුය. ඒ අලුතින් එකතු කරගන්නා කොටස හා පැරණි කොටස යන දෙකෙහිම එකතුව ලෙසය.
බොහෝ විට නිවසකට අලුතින් කොටසක් එකතු කිරීමේදී අත්තිවාරමට රෙජිෆෝම් හෝ ඉටිකොළ තබා වෙන්කොට ඉදිකිරීම බහුලව සිදුවන්නකි. අත්තිවාරම රෙජිෆෝම් තබා වෙන් කළ ද බිත්ති හා වහළය එකට එකතුවීමෙන් වාස්තු දෝෂ නිර්මාණය වේ. නිවසක වර්ගය තීරණය වීමට ප්‍රධාන වශයෙන් සාධක 3 ක් බලපානු ඇත. අත්තිවාරම, බිත්ති හා වහළය යන සාධක 3 ම එකතු වූ විට වර්ගයක් සෑදෙන අතර එක් සාධකයක් හෝ අඩු වූ විට වර්ගය අසම්පූර්ණ වේ.
යම් නිවසකට අලුතින් කොටසක් එකතු කර ගන්නේ නම් ප්‍රධාන ගෘහයේ වර්ගය වෙනස් වන්නේ නම් නැවත ශුභ වර්ගයක් ලබා ගත යුතු අතර බ්‍රහ්ම පාදයට පීඩා නොවන අයුරින් කොටස් එකතුකර ගත යුතුය. උළුවහුවල පාද වෙනස් වන්නේ නම් වෙනස් වූ වර්ගයට අනුව ප්‍රධාන උළුවස්සද වෙනස් කර ගත යුතුය.
එසේ නොමැති නම් අලුතින් එකතු කරගන්නා කොටස කිසිසේත් ප්‍රධාන ගෘහයට බලනොපාන ආකාරයෙන් වෙන්කොට වෙනම කොටසක් ලෙස ඉදිකර ගැනීම කළ යුතුය. එහිදී ද එම කොටසට ශුභ වර්ගයක් ගත යුතු අතර දිශාගත කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. නිවසට අලුතින් මුළුතැන්ගෙයක් ඉදිකර ගන්නේ නම් ඒ සඳහා ගිනිකොණ දිශාව හෝ වයඹ දිශාව භාවිත කළ යුතුය. කාමර කොටසක් ගන්නේ නම් දකුණ හෝ නිරිත දිශාවට ගැනීම ඉතා සුදුසු වේ. එලෙස කාමර ඉදි කිරීමේදී පැරණි නිවසේ පවතින උළුවහු ජනෙල්වලට අවහිර නොවන සේ ඉදිකර ගත යුතුය.
අලුතින් වැරැන්ඩා කොටස් එකතු කරගැනීමේදී ද නිවසට ලැබෙන ආලෝකය අඩු නොවන ලෙස සකස් කරගැනීමටද වහළය නිර්මාණය කර ගැනීමේදී ද ප්‍රධාන උළුවහුවලට යට ලී, මූල පරාල නොවැටෙන සේ ගැනීමටද භූමියේ පාද බෙදීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතු වේ. නිවසකට අලුතින් කොටස් එකතු කර ගැනීම හිතන තරම් සරල කරුණක් නොවන අතර ඒ පිළිබඳ දැනුවත් වී නිවරැදි වාස්තු උපදේශ ලබා ගනිමින් ඔබේ සොඳුරු නිවහන ප්‍රතිනිර්මාණය කර ගැනීමට වගබලා ගන්න.
වාස්තුවිද්‍යා විශාරද නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර