මෑත ඉතිහාසයේ මළල ක්‍රීඩාව ඔස්සේ නිතර ශ්‍රවණය වූ නම තරුෂි කරුණාරත්නය. මේ දිනවල මළල ක්‍රීඩාව තුළ යළිත් වරක් ‘තරුෂි’ නම කියවෙන්නේය. නමුත් ඇය ‘පොඩි තරුෂි’ නොහොත් තරුෂි අභිෂේකාය. පහුගිය අප්‍රේල් 18 වැනිදා සෞදි අරාබියේ පැවති ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර් 800 කාන්තා තරගයේදී තරුෂි අභිෂේකා රන් පදක්කමක් ජයග්‍රහණය කළාය. ඒ ප්‍රථම රන් පදක්කම දිනාගෙන වසර දහයකට පසුය. ආසියානු මළල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් දින 04 ක් පුරා පැවත්වුණු 06 වැනි ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ රටවල් අතරේ 09 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. මෙවර ශූරතාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් සමගින් සමස්ත පදක්කම් 08 ක් දිනා ගත්හ. තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගී වූ අවිශ්ක ජෙන්කින්ස්, මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු සහ කාන්තා මෙඩ්ලි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ තරුෂි අභිෂේකා, හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.ආසියානු යොවුන් ශූරතා මළල ක්‍රීඩා තරගාවලියකදී සටහන් කර ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙය වීම ද විශේෂත්වයකි.
මෙරට නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනකු අතරින් ඉහළම අවධානය දිනා ගැනීමට තරුෂි අභිෂේකා පේමසිරි සමත් වූවාය. ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව තොරතුරු බෙදාගන්නට අප තරුෂි සහ ඇගේ පුහුණුකරු වූ බුද්ධික නුවන් මහතාව සම්බන්ධ කරගත්තා. තරුෂි වැඩි කතාබහට තරමක් ලැජ්ජාකාරියකි. නමුත් ඇයගේ වචන ස්වල්පය හෝ අපට අගනේය.
තරුෂිට හැමෝම ‘පොඩි තරුෂි’කියන්නෙ ඇයි?
මං හිතන්නෙ තරුෂි කරුණාරත්න අක්කගෙ රෙකෝඩ් එක මං කඩපු නිසා වෙන්න ඇති.
තරුෂිගෙ ගම් පළාත, පාසල කොහෙද?
මම ඉන්නෙ ගම්පොළ, ගලේවෙල. දඹුල්ල ජාතික පාසලේ තමයි මුලින්ම ඉගෙනගත්තේ. අවුරුදු දෙකකට විතර උඩදි මළල ක්‍රීඩා පිටියේදී දැක්වූ දක්ෂතා නිසා ගම්පොළ වික්‍රමභාහු ජාතික පාසලට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා.
පවුලේ කවුද ඉන්නෙ?
අම්මයි, තාත්තයි, මායි, අයියයි, නංගියි. අයියයි මමයි නිවුන්නු. එයාලා ක්‍රීඩාවට සම්බන්ධ නෑ.


රන් පදක්කම දිනාගත්තම අම්මාමොන වගේ ප්රතිචාරයක්ද දැක්වුවෙ?
මම තරගයට සහභාගී වෙන්න එන්න ගෙදරින් පිටත් වෙන්න කලින් අම්මට කියලා ආවේ අම්මගෙ උපන්දිනේට මම තෑග්ගක් දෙනවා, ඒ තෑග්ග තමයි රන් පදක්කම කියලා. මම රන් පදක්කම දිනාගත්තම අම්මා කෝල් කරලා මගෙන් ඇහුවා “ඔයා මට උපන්දින තෑග්ග දුන්නා නේද පුතේ?” කියලා.
තරුෂිගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?
මගේ ඊළඟ බලාපොරොත්තුව බහරේන්වල පැවැත්වෙන ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියේදී තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට ගේන එක.
මෙතැනින් පස්සෙ අපි කතාකළේ අගේ පුහුණුකරු වූ බුද්ධික නුවන් සමගයි
මෙම තරගාවලිය ගැන යමක් පැවසුවොත්…
ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලිය මුලින් ආරම්භ කළේ 2015 අවුරුද්දේ. ආරම්භ කරපු වර්ෂයෙම ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලැබුණා. ඒ මීටර් 400 කඩුළු මතින් දිවීමේ තරගයෙන්. එදා ඉඳන් මේ වනතෙක් යොවුන් මළල ක්‍රීඩා තරගාවලිය තුළ ලංකාවට රන් පදක්කමක් දිනාගන්නට අවස්ථාවක් ලැබුණෙ නෑ.
වසර දහයකට පස්සෙයි මෙවර තරුෂි අභිෂේකා ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේ පරිසාදන මට්ටම අභිබවා සුදුසුකම් ලැබූ විශාලතම කණ්ඩායම ලෙසත් මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙක් සම්බන්ධ වුණා.
ඒක අනාගත බලාපොරොත්තු රැසක් තබාගත හැකි මට්ටමක්. මොකද මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගෙන ඉදිරියට ගියොත් අනාගතේදි ශ්‍රී ලංකාවට මළල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල ජයග්‍රහණ රැසක් ගෙන ඒමේ හැකියාව තියෙනවා. ඒ තරම් අති දක්ෂ පිරිසක් තමයි මේ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමේ ඉන්නේ.

තරුෂිගේ පුහුණුකරු විදිහට විශාල වගකීමක් ඔබට පැවරී තිබුණා…
ඔව්. ආසියානු රටවල් 48ක් අතරින් මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනාගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් වසර දහයකට පස්සෙ අපිට ලොකු වගකීමක් තිබ්බා ඉටු කරන්න. 2022 වසරේ කුවේට්හි පැවති යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙදිත් 2023 උස්බෙකිස්ථානයේ පැවති ශූරතාවලියේදිත් මම උත්සාහ කළා රන් පදක්කමක අඩුපාඩුව ශ්‍රී ලංකාවට පුරවා දෙන්න.
නමුත් ඒ අවස්ථා දෙකේදිම මට ලබාදෙන්න පුළුවන් වුණේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් විතරයි. නමුත් පුහුණුකරුවෙක් විදිහට මම උත්සාහය අත්හැරියෙ නෑ. ඉතින් මම අද සතුටු වෙනවා 2025 ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේදි ශ්‍රී ලංකා ධජය ඉහළින් ඔසවා තබා අපේ ජාතික ගීය ගායනා කරන්නට සැලැස්වීම ගැන.
ඇයව ඔබට බාරවෙන්නෙ කොහොමද?
තරුෂි මුලින්ම ඇගේ ක්‍රීඩාව ආරම්භ කළේ මුදිතා ගුණරත්න මැඩම් ගාව. ඇය යටතේ තරුෂි සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. පසුව පුහුණාකාරීත්වයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවුණා. තරුෂිගෙ ක්‍රීඩා ගමන පහළට වැටෙන්න නොදී ඇගේ ඉදිරි ගමන ජයග්‍රහණය කරා රැගෙන යා යුතු බව මුදිතා මැඩම් දැඩි ලෙස විශ්වාස කළා.
ඒ නිසා ඇය මාව තරුෂිගේ පුහුණුකරු ලෙස තෝරගත්තා. ඒ විදිහටයි තරුෂි මං ගාවට එන්නේ. ඒ, 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේ. මුදිතා මැඩම් මට තරුෂිව බාර දෙනකොට ඇය මගෙන් ඉල්ලපු එකම දේ තමයි “මල්ලි තරුෂි කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගන්න පුළුවන් ක්‍රීඩිකාවක්.
මට දුකයි මේ ළමයා මේ විදිහට නැති වෙන එක ගැන. එයාට ආර්ථික අපහසුතා ගොඩක් තියෙනවා. ඔයාට මේ ළමයව බාර අරගෙන ජාත්‍යන්තර මට්ටමට අරගෙන යන්න පුළුවන්ද” කියන එක. මම දෙවරක් නොහිතා ඇයව බාරගත්තා. එදා ගත්ත තීරණේ ගැන මම අද ගොඩක් සතුටු වෙනවා.
මේ තරගාවලිය වෙනුවෙන් ඇය කළ කැපකිරීම ගැන සඳහනක් කළොත්…
තරුෂි කියන්නෙ හරිම අධිෂ්ඨානශීලී ක්‍රීඩිකාවක්. ඇගේ ග්‍රාමීය පරිසරයේ ඇති දුෂ්කරභාවය, පවුලේ තියෙන ආර්ථික අපහසුතා එක්ක කුඩා කල සිටම හෙම්බත් වීම එක්ක ලබපු අත්දැකීම් එක්ක තරුෂි මානසිකව ගොඩක් ශක්තිමත් ක්‍රීඩාවක් විදිහටයි මං ඇයව දකින්නේ. වයසට වඩා ඇය හිතින් වගේම ගතින් ශක්තිමත්. ඒ වගේම ඇය බොහොම නිහතමානී, අහිංසක දරුවෙක්. පුහුණුකරු විදිහට මං ඇයට ඉල්ලක්කයක් දීලා කිව්වොත්, තරුෂි අපි මේ වෙනුවෙනුයි මහන්සි වෙන්න ඕන කියලා ඇය අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.
පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණ කාලෙ අපිට දැනගන්න ලැබුණෙ තරුෂි ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව විදිහට තෝරගෙන ඉන්නවා කියලා. එතකොට තරුෂියි මමයි කතා කරලා තීරණය කළා ඇගේ නායකත්වය යටතේ කණඩායමට වෙන්න ඕන උපරිම සාධාරණත්වය ඉෂ්ට කිරීම ගැන. තරුෂි ඒක නායිකාව විදිහට උපරිමෙන් ඉෂ්ට කළා.
සාමාන්‍ය පෙළ විභාගය අතරතුරත් තරුෂි ඇගේපුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගියා. මේ හේතු නිසයි මම කිව්වෙ තරුෂි කියන්නෙ දැඩි අධිෂ්ඨානශීලී, කැපවීමෙන් වැඩ කරන ක්‍රීඩිකාවක් කියලා.
තරුෂි රන් පදක්කම ලබාගැනීම ගැන මට තිබුණේ බලාපොරොත්තුවක් නෙවේ විශ්වාසයක්. මොකද මම අනිවාර්යයෙන්ම දැනන් හිටියා ඇය රන් පදක්කම ලබාගන්න බව. තරුෂි මං ගාවට ඇවිත් අවුරුදු දෙකක කාලයක් තුළ අපි පූර්ණ සැලසුම් ක්‍රියාත්මක කළෙත් ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් වෙනුවෙන්. ක්‍රමක්‍රමයෙන් තරුෂිව ඒ මට්ටමට රැගෙන එන්න මං කටයුතු කළා. ඒ තරුෂිට වගේම තරුෂිගේ අධ්‍යාපන කටයුතුවලට හානියක් නොවෙන්න.
මේ ශූරතාවලියෙදි මුහුණ දුන් අභියෝගය මොකද්ද?
මේ ගමනෙදි මට ආව ප්‍රධාන අභියෝගය වුණේ තරුෂිගේ තිබුණු ආර්ථික අපහසුතා සහ මගේ කණ්ඩායම කළමනාකරණය කරගැනීමේ අපහසුතාව. මොකද මගේ කණ්ඩායමේ හිටයේ අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඒ සියල්ලන්ම මැනවින් කළමනාකරණය කළ යුතු වුණා. ඔය අතරෙ තමයි මට ස්කොඩ් කැම්පස් ආයතනය හම්බෙන්නේ. ඔවුන් මා සමඟ සකච්ඡා කරද්දි මං කියපු දේ තමයි 2015 වසරෙන් පසු තාමත් ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙදි රන් පදක්කමක් ලබාගන්නට නොහැකි වූ බව සහ ඒ පදක්කම තරුෂිගෙන් ලබාගත හැකි බව. ඔවුන් මාව විශ්වාස කරලා තරුෂි වෙනුවෙන් උපරිම අනුග්‍රහය ලබා දුන්නා. ඒක මට ලොකු ශක්තියක් වුණා. ඒ ශක්තියත් එක්ක මම විශ්වාසයෙන් හිටියා තරුෂි දිනනවා කියලා.
සෞදියේ දේශගුණික තත්ත්වයෙන් තරුෂිට යම් බලපෑමක් වුණාද?
තරුෂිගෙන් හැමදාම පෙනෙන ධාවන රටා රිද්මය වෙනස් කරන්න අපට සිද්ධ වුණා සෞදි අරාබියේ දේශගුණික තත්ත්වයන් මත. එතනදි අපි සැලසුම් තුනක් දියත් කළා. ඒ සැලසුම් තුනේදි මම තීරණය කළා සෞදි අරාබියේ කාලගුණික තත්ත්ව වෙනස් විය හැකි ආකාර තුනක්. නමුත් අවසාන මොහොතේ පැවති දේශගුණික තත්ත්වය එක්ක තරගයට පෙර තරුෂිව වෝම් අප් කරද්දි ධාවන සැලසුම මම තරුෂිට ලබාදුන්නා.
තරුෂි ඒ සැලසුම මැනවින් ධාවන පථය තුළදි ක්‍රියාත්මක කළ නිසා පහසුවෙන් මේ රන් පදක්කම අපට ලබාගන්නට හැකිවුණා. මේක හරිම පහසු ජයග්‍රහණයක් බව කියන්නම ඕන. තරගය අවසන් වෙලා තරුෂි ඇවිත් මට කිව්වෙත් “සර් මම මගේ මහන්සියෙන් 80%ක්වත් යෙදෙව්වේ නෑ” කියලා.
අවසන් වශයෙන් ඔබට ඇය ගැන තියෙන හැඟීම වචන කරමු…
තරුෂිගේ දැන් වයස අවුරුදු 16යි. අවුරුදු 14 දි යි තරුෂි මං ගාවට එන්නේ. මම සතුටු වෙනවා වසර දෙකක් තුළ තරුෂි මේ වගේ මට්ටමකට නිර්මාණය කරන්නට හැකි වීම සම්බන්ධව. මොකද දැනට තරුෂි කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමකුත් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම දැන් යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේත් රන් පදක්කමත් දිනාගත්තා. ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම හිතනවා තරුෂි ලංකාවේ මළල ක්‍රීඩාවේ අනාගතය වෙයි කියලා.
එරංදි කෞශල්‍යා