දළදා මාලිගාවේ ආලත්ති අම්මාවරුන්
හේමමාලා කුමරිය සිය දන්ත කුමරුවන් සමග කෙස් කළඹේ සඟවා ගෙන දළදා වහන්සේ මෙරටට වැඩම කළ බැව් දාඨා වංශය වැනි ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙනවා. නමුත් අතීතයේ පටන්ම දළදා වහන්සේට සහ ජයසිරිමහ බෝධින් වහන්සේ වැඩ සිටින සමීපයට ගොස් වන්දනා මාන කිරීමට කාන්තාවන්ට අකැප සංස්කෘතියක් බිහි වී තිබෙනවා. නමුත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රාජකාරි කරන කාන්තාවන් අතර ආලත්ති අම්මලාගේ රාජකාරිය සුවිශේෂී වෙනවා.
ආලත්ති බෑම යනු…
මහනුවර රාජධානි සමයේදී මෙම ආලත්ති බෑම සිදු කරනු ලැබුවේ රජතුමා මුල් කර ගෙනයි. අතීතයේදී රජතුමාගේ උදේ සහ දිවා ආහාරයට පෙරාතුව ආශිර්වාද කිරීම සිදු වුණා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් රාජ්‍යත්වයට වඩා බුදුරජාණන්වහන්සේ උසස් බැව් සඳහන් කරමින් මෙම ආලත්ති බෑම රජුට නොව බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් සිදු කළ යුතු බවට රාජාඥාවක් පනවනු ලැබුවා. එතැන් පටන් මෙම ආලත්ති තේවාව දළදා වහන්සේ මුල් කර ගෙන සිදු වීම ආරම්භ වුණා.
ආලත්ති අම්මලාගේ රාජකාරි මොනවාද…?
ආලත්ති යනු දමිළ වචනයක්. එහි තේරුම ආශිර්වාද කිරීමයි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නානුමුර මංගල්‍ය, ඇසළ පෙරහැර මංගල්‍යයේ දින 10, කාර්තික මංගල්‍ය, දුරුතු පුර පසළොස්වක පොහොය දිනය, වෙසක් පුර පසළොස්වක පොහොය දිනය, අලුත් සහල් මංගල්‍යය, ශ්‍රී දළදා ප්‍රදර්ශන සහ වෙනත් විශේෂ උත්සව දළදා හාමුදුරුවන් වෙනුවෙන් ආලත්ති බෑම මෙම ආලත්ති අම්මාවරුන් විසින් සිදු කරනවා.
ආලත්ති අම්මාවරුන්ට අවශ්‍ය සුදුසුකම්…
දළදා මාළිගාවේ ආලත්ති අම්මා කෙනෙකු වීමට නම් ඇය වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවක්වීම සුදුසුකමක් ලෙස සැලකෙනවා. බොහෝ විට මෙය මාළිගාවේ රාජකාරි භාර පරම්පරාවෙන් පරම්පරා උරුමයකින් ලැබෙන සුදුසුකමක්. ආලත්ති අම්මාවරු සුදු ඔසරියකින් සැරසී සිටීමත් විශේෂත්වයක්.
නානුමුර මංගල්‍ය
නානුමුර යන්නෙහි අදහස බුදුරජාණන් වහන්සේට පැන් පහසුවීමට සැලසීම හෙවත් ස්නානය කරවීමයි. සෑම බදාදා දිනකම සහ පසළොස්වක පොහෝ දින උදය වරුවේ නානු මුර මංගල්‍යය සිදු කරනවා. පෙර දින සන්ධ්‍යාවේ පටන්ම තේවාව භාර ස්වාමීන් වහන්සේලා මේ වෙනුවෙන් සූදානම්ව සිටින අතර මංගල්‍යය පවත්වන්නේ දහවල් මුරුතැන් පුජාවට පෙරාතුව බැවින් උදෑසන බුද්ධ පූජාවෙන් අනතුරුව ගන්ධකුටිය ඇතුළුව සියලුම ස්ථාන සහ පාත්‍ර ඇතුළු භාණ්ඩ පිරිසිදු කිරීම සිදු වෙනවා.
ආසනය මත සුදු ඇතිරිල්ලක් එලා නානුමුර මංගල්‍යට ගනු ලබන සියලු භාණ්ඩ තැන්පත් කොට සුවඳ දුම් අල්ලා වසා තබනවා. සාමාන්‍ය දිනයන්ට ගනු ලබන භාණ්ඩවල අමතරව රන් කැඩපත, හඳුන් කරඬුව, රන්මල, රිදී බන්දේසිය, සුවඳ පැන්, සිද්ධාර්ථ තෙල් සහ වටාපත වේ.
හක්ගෙඩි රාලගේ සහය ඇතුව මුළුතැන්ගෙයි පිලියෙල කරන ලද නානු හේම කද තබා ඉහළ මාලයට රැගෙන යයි. හක්ගෙඩිය පිඹ ඝණ්ටාරය නාද වේ. කවිකාර මඩුවේ පිරිස කවි ගායනය ආරම්භ කරති. මගුල්බෙර වාදනය සමග නානුමුරය ආරම්භ වේ. හේවිසි වයන අතර එය නානුමුර පදය ලෙස හඳුන්වනු ලැබේ. වට්ටෝරුරාල විසින් දළදා කරඬුවේ ප්‍රතිබිම්බය කැඩපතට වැටෙන සේ අල්ලයි.
දළදා මාළිගාවේ නායක ස්වාමින් වහන්සේ මැදඟිල්ලෙන් නානු සහිත රත්මල ගෙන තෙල් සමග කැඩපතෙහි ආලේප කරති. ආලත්ති අම්මාවරුන් නමින් හැඳින්වෙන කාන්තාවන් වැඩසිටින මාලිගාවේ රිදී දොරටුව අසල සිට දොලොස්මහ පහනෙන් ගත් තෙල්වලින් තිර හයක් තෙමා රිදී තැටි මත තබා ඒවා දල්වා ගෙන “ කප්පන් තිරයකට තිරහත් කාලයකට ඉර හඳ පවතිනා තෙක්, බුද්ධ, ධම්ම, සංඝ රත්නයට ආවඩා ආයු බෝ වේවා යැයි ආලත්ති බෑම (ආලත්ති බෑම යනු පහන් දල්වා ගෙන ඒවා එක්තරා ආකාරයකට වැනීමයි) සිදු කරනවා.
අලුත් සහල් මංගල්‍ය ගෙවදින දින ඇතා දෙපස මෙම ආලත්ති අම්මවරු චාමර සලමින් ගුරුදෙණියේ සිට නාථ දේවාලයට පැමිණේ. මුළුතැන්ගෙට පිටි කොටා දීම වෙනුවෙන් ඔවුන්ට රිදී නැලියෙන් ගත් සහල් නැලියක් ගබඩාවෙන් ලබා දෙනවා. රන්දෝලි පෙරහැර අවසානයේදී ආලත්ති අම්මලා දෙදෙනෙක් ගමන් කිරීමත් විශේෂත්වයක්. ඇසළ පෙරහැර මංගල්‍ය අවසානයේදී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වලි යක් ශාන්තිකර්මයට දින හත පුරාම සහභාගී වීමට මෙම ආලත්ති අම්මලාට අවසර ලැබී තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා