ආදරය ලිංගිකත්වය ගොඩක් දෙමාපියන් පටලගන්නවා. ඒ අය හිතන්නෙ ආදරය කරන එකත් ලිංගිකත්වයේ කොටසක් කියල. ඒ නිසා දරුවන් ඉදිරියේ ආදරය කරන්න අදිමදි කරනවා. සමහරවිට මේ ආදරය ප්‍රකාශ කිරීම සාමාන්‍ය වැළඳගැනීමකින්, සිප වැළඳගැනීමකින් හෝ ඔළුව අතගෑමකින් වෙන්න පුළුවන්.
එහෙමත් නැත්නම් තුරුළු කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ දේවල් දරුවන් ඉස්සරහා කිසි පැකිලීමක් නැතුව කරන දෙමාපියන් කලාතුරකින් හෝ අපිට දකින්න ලැබෙනවා. ඒත් බහුතරයක් දෙමාපියන් ළමයි ඉදිරියේ ආදරය කරන්න බයයි. ඒකට යම් යම් සංස්කෘතික, ආගමික දේවල් ගෑවිලා තියෙන්න පුළුවන්. අපේ මිනිස්සු පාරේ මුත්‍රා කරන්න ලැජ්ජා නෑ. හැබැයි පාරේ අත් අල්ලන් යන්න ලැජ්ජයි.
අපි අහල තියෙනවා කතාවක් විවාහයෙන් පස්සෙ ආදරය පෑල දොරෙන් පැනල යනව කියල. ඒකට හේතුව විවාහ වෙනකල් පුළුවන් තරම් ආදරේ කළත් ටික කාලෙකින් දරුවෙක් පවුලට එකතු වුණාම සැමියගෙයි බිරිඳගෙයි සම්බන්ධයේ වෙනසක් වීම. ගොඩක් අය විවාහ වෙන්නෙ ප්‍රේම සම්බන්ධතා වලින්. ඒ වගේම විවාහයෙන් පස්සෙ ජීවිතය නිදහසේ ඇවිදලා, කැමති දෙයක් කාල බීලා ඉන්න පුළුවන් වෙයි කියල ෆැන්ටසි ලෝක මවාගන්නවා.
ඒත් විවාහයෙන් පස්සෙ දෙමාපියෝ, නෑදෑයො හැමෝම එකතු වෙලා අර දෙන්නව සාම්ප්‍රදායික කරවනවා. “දැන් කාලෙ හරි නේද?, දෙන්නා තුන්දෙනෙක් වෙන්නෙ නැද්ද?, වයසට ගියාම බලාගන්න කෙනෙක් ඉන්න ඕනෙ නේද?” වගේ දේවල් අහලා පීඩනයක් එල්ල කරනවා. එතකොට අර ෆැන්ටසියේ හැබෑ කරගන්න තිබුණ හීන පැත්තකට දාලා එයාලට සිද්ධ වෙනව දරුවෙක් හදලා දෙමාපියන්ගෙ සාම්ප්‍රදායික භූමිකාව රඟදක්වන්න. එතනින් පස්සෙ නිදහස, අගයකිරීම්, ආදරය මගහැරෙනවා.
නොදැනීම බාධකයක් ගොඩනැගෙනවා. ලිංගිකත්වය කියන්නෙ මානව අවශ්‍යතාවයක්. මේ අවශ්‍යතා යටපත් කරන්න යටපත් කරන්න හැඟීම් පිටවෙන්නෙ ආවේගශීලීව. දරුවෙක් ජීවිතයට ආවට පස්සෙ අවධානය දරුවට විතරක් දෙනකොට සැමියට, බිරිඳට දෙන්න ඕන අවධානය නැති වෙනවා. දෙන්නට දෙන්නා කතා කරලා සුහදව විසඳගන්න තිබුණ ගැටලු ආවේගයත් එක්ක තමයි පිටවෙන්නෙ. මේ කියන්නෙ දරුවො හදන එක හොඳ නෑ කියල නෙවේ. දරුවො හදන්න ඕන. නමුත් සංස්කෘතික, සමාජ මත වලට වහල් වෙලා දරුවො නිසා තමන්ගේ ආදරණීය ජීවිතය නැතිකරගන්න එපා.
ආදරය කරන එක ලිංගික කටයුත්තක් නෙවේ. එහෙම හිතල ළමයි ඉස්සරහා සැමියා, බිරිඳ ආදරේ නොපෙන්නුවට දරුවො ඉස්සරහ බැනගන්න, ගහගන්න, බඩු පොළවෙ ගහන්න කිසිම පැකිලීමක් නෑ. මොකද සිහියෙන් ඉන්න වෙලාවට දේවල් කළමනාකරණය කරගන්න පුළුවන් වුණාට ආවේගශීලී වුණාට පස්සෙ තමන් ඉන්නෙ කොතනද කියලත් අමතකයි. ඒකෙන් මානසිකව විඳවන්නෙ දරුවො. දැන් ඔය දෙමාපියන් දරුවන්ට පේන්න ආදරේ නොකරන්නෙ ළමයින්ට වැරදි ආදර්ශයක් ලැබෙයි කියලනෙ. ඒත් වැරදි ආදර්ශයක් ලැබෙන්නෙ දරුවන්ට පේන්න රණ්ඩු කරද්දි කියල තේරුම්ගන්න බෑ.
දෙමාපියෝ එහෙම රණ්ඩු කරද්දි සමහර ළමයි හිතන්න ගන්නවා කසාද බැන්දම රණ්ඩු කරන එක සාමාන්‍ය දෙයක් කියලා මට අවුරුදු තුනක විතර දරුවෙක් මුණගැහුණා. මේ ළමයා කිසිම හේතුවක් නැතුව තමන්ගේ ළඟ ඉන්න ගෑනු ළමයට ගහනවා, කොන්ඩෙන් අදිනවා, කොනිත්තනවා වගේ හරියට හිරිහැර කරනවා. නමුත් මේකට හේතුව හොයලා බලද්දි මේ ළමයා දීපු උත්තරය තමයි මම මේ ළමයා කසාද බඳින්න ඉන්නෙ කියලා. මම ඊට පස්සේ ඇහුවා කසාද බඳින්න ඉන්න ළමයට හිරිහැර කරන්නේ ඇයි කියලා. ඊට පස්සේ ඒ දරුවා කිව්වා ඉතින් එහෙම තමයි අපේ තාත්තා අපේ අම්මට කරන්නේ කියලා. එතකොට ඒ දරුවා තාත්තගෙන් ඉගෙනගෙන තියෙන කසාද බඳින කෙනාට කරන්න ඕන හිංසා කරන එක කියලා.
පොඩි වයසට අම්මගේ තාත්තගේ චරිත දරුවෙක් ග්‍රහණය කරගන්න විදිහ තමයි ඒ. ඉතින් ඊට වඩා හොඳයි නේද අම්මයි තාත්තයි ආදරේ කරන එක දරුවෝ දකින එක? තමන්ගෙ බිරිඳව, සැමියාව සිපගන්න, වැළඳගන්න එක දරුවා දැක්කොත් ඒකෙන් වැරදි ආදර්ශයක් යනවා කියලා හිතන්න එපා. ඒකෙ කිසිම වැරදි ආදර්ශයක් නෑ. ඒකයි මම මුලදිත් කිව්වේ මිනිස්සු පාරේ මුත්‍රා කරන්න ලැජ්ජ නැති වුණාට අත් අල්ලන් යන ලැජ්ජයි කියලා.
සැමියා බිරිඳ අතර රණ්ඩු ඇති වෙන්න බලපාන ප්‍රධාන කරුණක් තමයි යටපත් කරගත ලිංගික ආශාවන්. ඔවුන්ට ඔවුන්ගේ කියලා ජීවිතයක් නැති වුණාම අන්තිමේ දරුවො පේන්නෙත් කරදරයක් හැටියට. මොකද අපේ රටේ ගොඩක් දෙමව්පියෝ ළමයි හදන්නෙ වයසට ගියාම බලාගන්න ඉන්න පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහටනෙ. එහෙම නැතුව ජීවිතේ ජීවිතයක් විදිහට දරුවොත් එක්කම ගෙවන්න. දරුවො ඉස්සරහා ආදරේ කරන්න බය වෙන්න එපා. ඒක ලැජ්ජාවට කරුණක් කියල හිතෙන ගෝත්‍රික මානසිකත්වයෙන් මිදෙන්න.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා
උපදේශක හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
■ එරංදි කෞශල්‍යා