සුජාතා සිටු දියණිය විසින් පූජා කරන ලද කිරි ආහාර වළඳා නේරංජනා නදියේ පාත්‍රය පා කරමින් බෝසතාණන්වහවන්සේ මේ පාත්‍රය උඩු ගං බලා ගියොත් මා බුදු වන බැව් ඒකාන්ත යැයි සිතා දන් වැළඳූ පාත්‍රය ගං දියට යොමු කළ සේක. පාත්‍රය පිළිබඳව වූ මුල්ම සටහන එතැනින් ආරම්භ වේ. බුදුරජාණන්වහන්සේගේ විවිධ දේශනාවන්හිදීත් පාත්‍රය ගැන සඳහන් වේ. ආගන්තුක භික්ෂුන්වහන්සේ නමක් පැමිණි විට “පා සිවුරු පිළිගෙන” යනුවෙන් උන්වහන්සේගේ පාත්‍රා සහ සිවුරු පිළිගැනීම ආගන්තුක සත්කාරයක් ලෙසින් දක්වා තිබේ. කුඩා දරුවන් මහණ කිරීමේදී බුදුරජාණන්වහ්සේ ඒ වෙනුවෙන් යම් සීමාවන් පැනවූ සේක. පිණ්ඩපාත වඩින විට තමන්ගේ පාත්‍රයේ ඇති ආහාර වෙත කපුටන් පැමිණීමට ඉඩ තිබෙන බැවින් කපුටෙක් පලවා හැරීමේ ශක්තිය ඇති වයසේ දරුවන් මහණ කිරීම සුදුසු බැව් සඳහන්. භික්ෂුන්වහන්සේ නමක් උපසම්පදාව ලබන විට පාත්‍රා සහ සිවුරු සම්පූර්ණ කර ගත යුතුය. පාත්‍රය සහ සිවුරු ණයට ගෙන පැමිණීම උපසම්පදාව ලබා ගැනීමේදී නුසුදුසුකමක් ලෙස සැලකේ.
■ පාත්‍ර පූජා කිරීමේ ආනිශංස
පත්තදායක භික්ෂුන්වහන්සේ විසින් බුදුරජාණන්වහන්සේට පාත්‍රයක් පූජා කිරීමේ කුසලය නිසා කල්ප 94 ක් දිව්‍ය සැප සම්පත් ලබා ඇති බැව් සඳහන් වෙනවා. පිලින්දවච්ඡ ස්වාමින්වහන්සේ පාත්‍රා පූජා කිරීමෙන් ආනිශංස 10 ක් ලබා ගත් බැව් සඳහන් වෙනවා.
● වටිනා තැළි පිලි ලැබීම
● උපද්‍රව නොමැති වීම
● අනතුරු නැති වීම
● අන්‍යයන්ගේ ගරුත්වයට පාත්‍ර වීම
● ආහාර පාන වස්ත්‍ර සහ සිවුරු පිරිකර ලැබීම
● ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම
● ස්ථිර සිත් ඇති වීම
● සෑම කල්හිම ධර්මයෙහි නිතර වීම
● කෙලෙස් අඩු අය වීම
● ආශාව රහිත වීම
■ පාත්‍රය වගේම පාත්‍රා ආධාරක පූජා කිරීම
මනෝරථපුරණිය සඳහන් කරන අන්දමට පාත්‍රා පූජා කිරීම සේම පාත්‍රය රඳවා තබා ගන්නා ආධාරක පූජා කිරීමත් ආනිශංස සහිතය. ඛුජ්ජුත්තරාවන් එක් ආත්මයකදී ඇගේ අත පැළඳ සිටි වළලු අටක් ගලවා පාත්‍රයට ආධාරකයක් සේ පූජා කළාය. ඒ අනුව ඇය විසින් පූජා කළ වළලු පාත්‍රයට යම් ආධාරකයක් වූ සේම ධර්මය දාරණය කර ගැනීමට පාත්‍රා ආධාරක පූජා කළ පින හේතු විය. එමෙන්ම පත්තදාන භික්ෂුන්වහන්සේ “සිඛී” බුදුරජාණන්වහන්සේට පාත්‍ර ආධාරකයක් පූජා කළ කුසලය නිසා සමන්තවර්ණ සක්විති රජ බවට පත් විය.
■ පාත්‍ර ආධාරක පූජා කිරීමේ ආනිශංස
● කිසිම දෙයකින් කම්පා නොවීම
● මනා වූ සිහිය පිහිටුවා ගැනීම
● ධර්මය දරා ගැනීමට නුවණ ලැබීම
● දාරණය කර ගත් ධර්මය අමතක නොවීම
● මනා වූ ධර්මය නිශ්චිත ලෙසින් අවබෝධ කර ගැනීම
■ පාත්‍රයක ප්‍රමාණය
පාත්‍රයක් පූජා කරන විට එය සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රමාණවත් තරම් ආහාර තබා ගැනීමට හැකි වීම වැදගත්. පාරාජිකා පාළියේ පාත්‍රා වර්ග හතරක් දැක්වෙනවා.
● උත්කට්ඨ පාත්‍රය – ප්‍රමාණයෙන් ලොකු
● මජ්ජිම – මධ්‍යම ප්‍රමාණය
● ඕමක – කුඩාම ප්‍රමාණය
● උත්කට්ඨ උත්කට්ඨ – වඩා විශාල
● ඕමකෝ – ඕමක වඩාත් කුඩාමෙම පාත්‍රා වර්ග අතරින් වඩා විශාල (උත්කට්ඨ උත්කට්ඨ) සහ ඕමකෝ (ඕමක) පාත්‍ර පරිහරණය අකැප ලෙසින් පෙන්වා දී තිබෙනවා.
■ අටුවාවල පාත්‍ර වර්ග හතරක් ගැන සඳහන් වෙනවා
● උත්කට්ඨෝ ඕමකෝ විශාල සහ කුඩා ප්‍රමාණය අතරමැද
● මජ්ජිමෝ ඕමක මධ්‍යම සහ කුඩා අතරමැද
● මජ්ජිම උත්කට්ඨ මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ අතරමැද
● ඕමතෝ උත්කට්ඨ කුඩාම ප්‍රමාණයට වැඩි නමුත් විශාලයිමේ අනුව පාත්‍රා වර්ග හතක් පරිහරණය වෙනුවෙන් අනුමත වී තිබෙනවා.
■ පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුන්වහන්සේ පරිහරණය කළ පාත්‍රය
බුදුරජාණන්වහන්සේගේ දවස පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුන්වහන්සේ විශාල පාත්‍රයක් පරිහරණය කළ සේක. මේ ගැන භික්ෂුන්වහන්සේලා බුදුරජාණන්වහන්සේට පැමිණිලි කළ පසුව බුදුරජාණන්වහන්සේ මෙම භික්ෂුන්වහන්සේ කැඳවා පාත්‍රය එල්ලා නොතබා ඇඳ යට තබන සේ අවවාද කළහ. මේ අන්දමින් ඇඳ යට පාත්‍රය තබා තිබෙන විට වරින් වර එහා මෙහා කිරීමේදී පාත්‍රය ගෙවී ගොස් ප්‍රමාණයෙන් කුඩා බවට පත් වී ඇත.
■ පාත්‍ර බොහෝ තබා ගැනීමට අවසර නැහැ
ඡබ්බග්ගිය භික්ෂුන්වහන්සේලා පාත්‍රා රාශියක් තමන් භාරයේ තබා ගෙන සිටීම පිළිබඳව බොහෝ දෙනා දොස් නගන්නට වූහ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ තමා භාරයේ පවත්වා ගත යුත්තේ එක් පාත්‍රයක් බවට වූ විනය නීතියක් පනවන ලද සේක.
ආනන්ද ස්වාමින්වහන්සේට පාත්‍රවක් පූජා කළ විට උන්වහන්සේ තමා භාරයේ පාත්‍ර දෙකක් තබා ගැනීමට නොහැකි නිසා සැරියුත් මහ රහතන්වහන්සේට ඒ පාත්‍රය පූජා කිරීමට අවශ්‍ය බැව් බුදුරජාණන්වහන්සේට දන්වා සිටි සේක. මේ වන විට සැරියුත් හාමුදුරුවන් සාකේත නුවර වැඩ සිටි අතර රජගහනුවරට වඩින්නට දින 10 ක් ගත වීමට තිබුණි. එහිදී යම් භික්ෂුන්වහන්සේ නමකට තමා භාරයේ පාත්‍රයක් දින 10 ක් තබා ගැනීමට හැකි ලෙසින් අවසර දී ඇත.
■ පාත්‍රයක ප්‍රමාණය තීරණය කිරීම
උත්කට්ඨ උත්කට්ඨ පාත්‍රය මගධ නැලි දෙකක බත්, ව්‍යංජන සහ කැවිලි සමග පාත්‍රයේ මුවවිටට යටින් වූ තීරුව ඉක්මවිය යුතු නැත
● උත්කට්ඨ මගධ නැලි එකක බත් ව්‍යංජන සහ කැවිලි සමග මුවවිට යටින් වූ තීරුව ඉක්මවිය යුතු නැත
● මජ්ජිම උත්කට්ඨ පාත්‍රයෙන් භාගයක ප්‍රමාණය
● ඕමක මජ්ජිම පාත්‍රයෙන් භාගයක ප්‍රමාණයපාත්‍රයක් සකස් කිරීමේදී මැටියෙන් හෝ යකඩෙන් නිර්මාණය විය යුතුය.
අද වන විට අටපිරිකර පූජා කිරීමේදී පාත්‍රය ඇතුළත් වුණත් එහි ප්‍රමිතිය ගැන බොහෝ විට සැලකිල්ලක් නොදක්වන බවක් පෙනේ. බොහෝ විට ඇළුමිනියම් යොදා සකස් කරන ලද පාත්‍රා ආාහර පාන වැළඳීමට පවා සුදුසු නොවේ. විශේෂයෙන් දානය වළඳන විට මෙම ඇළුමිනියම් සහ ආහාරවල ඇති අම්ල සංයෝග වීම නිසා විවිධ ප්‍රතික්‍රියා ඇති වීමටත් ඉඩ තිබෙනවා.
■ පාත්‍රය වෙනුවට දානය වැළඳීමේදී පිඟානක්
දානයකට ආරාධනාවක් ලඳ විට පාත්‍රයක් සපයා ගැනීමේ දුෂ්කරතාවයක් ඇත්තේ නම් පිඟානක් භාවිතා කිරීම අකැප නැත. පාත්‍රයක් යොදා ගැනීම දානය ප්‍රත්‍යවේක්ෂණය කිරීමේදී පහසුවක්. දානය ලබා ගෙන එය වැළඳීමට පෙරාතුව මේ දානය මාගේ අතීත වර්තමාන, අනාගත රෝග දුරු වීමට මිස මාගේ මදය, වර්ණය වැඩි කර ගැනීමට නොවේ. මේ දානය මාගේ ජීවිතයේ පැවැත්ම සඳහා වේ යැයි ප්‍රත්‍යාවේක්ෂණය කිරීම භික්ෂුන්වහන්සේලාට අනුදැන වදාරා ඇත.
■ පාත්‍රයක් පාවිච්චියෙන් ඉවත් කිරීමට නම්
පාත්‍රයක් අවම වශයෙන් පස් පොළකින් පමණ සිදුරු වී අබලන් වූ පසුව එය ඉවත් කිරීමට අවසර තිබෙනවා. එයින් පසුව මෙම පාත්‍රය දිය නෑම වැනි කටයුතු සඳහා යොදා ගැනෙනවා.
කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක
ධුරන්ධර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා