ඇය නමින් චාන්දනී කස්තුරිආරච්චි.හොරණ රාජකීය විද්‍යාලයෙන් මෙන්ම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන චාන්දනී කුඩා අවධියේ සිටම නර්තනයට දක්වන්නෙ සුවිශේෂී හැකියාවක් ඒ නිසාම පසුකලකදී ICCR ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පිහිටි විශ්ව භාරතී විශ්වවිද්‍යාලයට (ශාන්ති නිකේතනයට) ඇතුළත් වීමට වරම් ලබනවා. එතැන සිට උසස් අන්දමින් නර්තන කලාව ප්‍රගුණ කරන ඇය කථකලි, මණිපූරි මෙන්ම භරත නැටුම් හදාරා කථකලි සහ මනිපූරි නර්තන අංශයන් උදෙසා ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි හිමි කරගන්නෙ පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනිය ලෙස අපේ රටට ගෞරවයක් ද අත්කර දෙමින්.
එමෙන්ම ඇය පසුගිය අප්‍රේල් මස කථකලි නර්තනය පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කර ගත්තේද ශාන්ති නිකේතනයෙන්. එකී උපාධිය හිමි කරගත් පළමුවැන්නා ලෙස තම නාමය ඉතිහාසයට එක්කරමිනි. ඊට සමගාමීව ප්‍රාචීන කලා කේන්ද්‍රයෙන් භරත නාට්‍ය උදෙසා පිදෙන “නෘත්‍ය භූෂණ” උපාධියද හිමිකර ගෙන ඇත. ගිරාගම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉන්දියානු නර්තනය සම්බන්ධයෙන් බාහිර කථිකාචාර්ය ගුරුවරියක ලෙස කලක් සේවය කළ ඇය වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේත් බදුල්ල විජය සංගීත විද්‍යාලයේ මෙන්න මරදාන සරසවි පායේද නර්තන ආචාර්යවරියක ලෙස තමන් දැන උගත් කලාව මෙරට නැටුම් ශිල්පය හදාරන්නන්ට ලබා දී ඇත. රවීන්දනාත් තාගෝර් තුමාගේ 162 වන උපන්දිනය සමරනු වස් පසුගියදා ඇය තම එකම පුතු ලහිරු තත්සර ඇතුළු ඉන්දියානු ජාතික සිසු සිසුවියන් කණ්ඩායමක් සමඟ මෙරටට පැමිණ සිටින අතරතුර අපට හමුවුණා.
ශ්‍රී ලාංකීය නර්තන ශිල්පිනියක් ලෙස ඔබේ දැනුම අපේ රටේ ඉදිරි පරපුරට ලබා දෙන්න ඉදිරිපත් නොවන්නේ ඇයි?
නර්තන හැකියාවක නිසාම ලබන ශිෂ්‍යත්වයක් මඟින් මම මුලින්ම ඉන්දියාවට යන්නෙ 1989 වසරේ. එතැන් පටන් ඉතාමත් විශිෂ්ට ලෙස නර්තන කලාව ප්‍රගුණ කර සුවිශේෂී ජයග්‍රහණ (ශාස්ත්‍රවේදී – ශාස්ත්‍රපති උපාධි) ලබා ගන්නට තරම් මම දක්ෂ වගේම වාසනාවන්ත වුණා. ඒ අතරතුර වසර හයක් ඉන්දියාවේ නර්තන විද්‍යාලයක නැටුම් ඉගැන්නුවා. ඒ සුදුසුකම් සහ පළපුරුද්ද මත මම අපේ රටට ඇවිත් විශ්වවිද්‍යාල වලට අයදුම් කළත් මට ඒ අවස්ථාව හිමි වුණේ නැහැ.
ඔබ ඉන්දියාවේ කල් ගතකරන්නේ කලකිරීමකින් ?
මට ඉන්දියාවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ මගේ සැමියා නිසා. ඔහු ඉන්දියානු ජාතික ප්‍රේම්ජිත් සිං. අපේ විශ්වවිද්‍යාලයේම බෙර අංශයේ දක්ෂ වාදකයෙක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම මගේ එකම පුතාත් කලාවට බොහොම සම්බන්ධයි. 2012 අවුරුද්දේ මම ඉන්දියානු රජය යටතේ “ සඳනි” කලා නිකේතනය ආරම්භ කරල ඉන්දියාවේ සිසු සිසුවියන්ට කථකලි,භරත,මණිපුරි මෙන්ම සිංහල අපට ආවේණික උඩරට, පහතරට නර්තන ශිල්පය උගන්වනවා. අවුරුදු 3 සිට 55 දක්වා වයස් කාණ්ඩවල අය මා යටතේ ඉගෙනුම ලබනවා.
මගේ Dancing Insitute එක Exam Center එකක්. ඒ තුළින් ලබාගන්නා සාමාර්ථ විශ්වවිද්‍යාලයක උපාධිවලට සමානයි. ඇත්තටම මා තුළ තියෙන්නෙ කලකිරීමක් නෙමෙයි කණගාටුවක් මොකද ලංකාවෙ කෙනෙක් වෙලා මට අපේ රටේ දූ දරුවෝ වෙනුවෙන් යමක් කරන්න දුන්නෙ නෑ. ඒත් විදේශ රටක මිනිස්සු මගෙන් ඒ ප්‍රයෝජනය බොහොම ගරු සරු ඇතිව ලබා ගන්නවා.
චනේපාල්, බංග්ලාදේශ් ඇතුළු ඉන්දියාවේ හැම තැනකම වගේ විවිධ ආගමික සංස්කෘතික උත්සවවල රංගනයේ යෙදෙන්නෙ මගේ සිසු සිසුවියන් වීම විශේෂයක්. එයින් කිහිප දෙනෙක් මෙවර මම ලංකාවටත් එක්කගෙන ඇවිත් පවත්වපු ප්‍රසංග කිහිපයකටම සහභාගී කරගත්තා. මේ විදියට මට පුළුවන් තාක් කල් මම ඉගෙන ගත්තු මේ උතුම් නර්තන ශිල්පය අඩුවක් නැතුව මගෙන් ඉගෙන ගන්න එන ඕනම කෙනෙකුට ලබා දෙන්නේ බොහොම සතුටෙන් මොකද මම තාගෝර් තුමාගේ චින්තනයට ගරු කරමින් එය ඉදිරියට ගෙනියන්න කැපවෙන්නෙ විශාල වූ ආත්ම තෘප්තියකින්.
ධම්මික හේවාවසම්