වරදකරුවෙකු වී නමුත් නුඹ
සදාකල් වැරදිමද පුත
අඟුල්මල් වරදින් මිදුන සඳ
කෙසේ නුඹහට සමා නැති වෙද
අම්බපාලි අඟුල්මල් වැනි
නගර සෝභිනි වණ්ජයන්ටත්
සසුනඹර සුදිලෙන්න අවසර දුන්නු බුදුහිමි අනේ කොහි වෙද අභූත ලෙසින් පුද්ගල බද්ධව චෝදනා නැගීම, අසාධාරණ ලෙසින් වූ විවේචනය අද කාලයේ පමණක් නොව බුදුරජාණන්වහන්සේ ධරමාන කාලයේ පටන් පැවැති තත්ත්වයක්. සුන්දරී පරිබ්‍රාජිකාව, චිංචිමානවිකාව ඒ වගේ බුදුරජාණන්වහන්සේට චෝදනා නැගූ චරිත අතරට ඇතුළත්. නමුත් බුදුරජාණන්වහන්සේ මේ සෑම අවස්ථාවකදීම තමන්වහන්සේගේ තාදී ගුණය ප්‍රකට කළ සේක. ආලවක යක්ෂයා හමුවේ වගේම අංඟුලිමාල වැනි චරිත දමනය කිරීමේදී පවා තමන් වහන්සේගේ කාය බලය පාවිච්චි කිරීම පවා අයහපත් ලෙස වචනකින් ප්‍රති උත්තර ලබා දුන්නේ නැහැ.
බුදුරජාණන්වහන්සේට ඡද්දන්ත කුලයේ ඇතුන් දහ දෙනෙකුගේ කාය බලය තිබුණත් තමන් වහන්සේ ඉදිරියේ ඇති සෑම අභියෝගයක් ඉදිරියේ උන්වහන්සේ තමන්ගේ කාය බලයවත් ප්‍රති උත්තර වෙනුවෙන් වචනයකවත් පාවිච්චි කළේ නැහැ. නමුත් අද සමාජයේ වචනයක් හෝ කතා කරන්න බැහැ. අවවාදයක් කරන්න බැහැ. වචනයක් කිව්වොත් අතින් පයින් විතරක් නොව, අවි ආයුධ පවා අතට ගන්නා තරමටම දරුණුයි. කොටින්ම දරුවෙකු වෙනුවෙන් ගුරුවරයෙකුට පවා අවවාද ලබා දෙන්න අපහසු සමාජ රටාවක් නිර්මාණය වෙලා.
අංඟුලිමාල තුළින් රහතන්වහන්සේ නමක් දැකීම
බුදුරජානණවහන්සේ අංඟුලිමාල වෙතින් දුටුවේ දාමරිකයෙක් නොවේ. නමුත් අද සමාජයේ අපි චරිත වර්ග කරන්නේ කලු සහ සුදු වශයෙන් පමණයි. සුදු චරිත හැම විටම යහපත්. කළු චරිත හැම විටම අයහපත්. නමුත් මේ විදිහට පුද්ගලයන් අපට වර්ග කරන්න බැහැ. යහපත් චරිත යැයි අපි සිතන පුද්ගලයන් වෙතින් පවා වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි නරක යැයි වර්ග කරන ලේබල් තබන චරිත තුළ පවා හොඳ ගති ගුණ තිබෙන්න පුළුවන්. අපි හැම දෙනෙක්ම පුහුදුන් මිනිස්සු ඒ නිසා වැරදි විම් සාමාන්‍යයි.
වැරදි වුණොත් ඒ ගැන ඉස්මතු කිරීම
අපි පුද්ගලයෙක් විසින් වැරද්දක් කළ විට එය ඉස්මතු කරමින් ඒ ගැනම කතිකාවත් ගොඩනගා ගන්නවා. සමාජ මාධ්‍ය ජාලා නිසා අද මේ තත්ත්වය ඉතාම දරුණු ප්‍රතිවිපාක ලබා දෙනවා. අතීතයේදී තොරතුරු සම්ප්‍රේෂණය වුණේ ළිඳ අසල සභා මණ්ඩපයේදී පමණයි. එවැනි අවස්ථාවල වුණත් පුවත්වලට තටු ලැබුණා. අද තත්ත්වය ඊටත් වෙනස්. අපි නිතරම අවසාන ප්‍රතිඵලය මුල් කරගෙන තොරතුරු බෙදා හැරියත් එහි පසුබිම දන්නේ නැහැ. සමහර විට ඒ පුද්ගලයා නිදොස් විය හැකියි. අවාසනාව කියන්නේ ඒ වෙන විටත් සියල්ල සිදු වී ප්‍රවෘත්තිය විෂය වූ පුද්ගලයාගේ චරිතය ඝාතනය සිදු වී අවසානයි. ඔහු හෝ ඇය නිදොස් වුණත් ඒ ගැන නැවත නිවරැදි කිරීමක් නැහැ.
නිවරැදි වුණත් මුලින් වැරැද්ද ගැන කතා බහ වුණ තරම් රසවත් නැහැ.මනෝ විද්‍යාඥයන් පවා මේ ගැන වඩාත් අවධාරණයෙන්ම සඳහන් කරනවා. උදාහරණයක් ලෙස සියදිවි හානි කර ගැනීම් ගැන මාධ්‍ය වෙතින් උණුසුම් පුවත් බෙදා හැරීම එතරම් සුදුසු නැහැ. එවැනි ප්රවෘත්ති සතියක් දෙකක් පුරා බෙදා හරිනවා. සියදිවි හානි කර ගැනීමට භාවිත කළ උපක්‍රම, හේතු, වගේ පමණක් නොව සියැසින් මේ සිදුවීම දුටුවා වගේ වාර්තා සපයනවා.
අන්තිමට ඒ පුද්ගලයා වීරයෙක් තරම් ඉස්මතු කිරීම නිසා තවත් අය සියදිවි හානිකර ගැනීම පිළිබඳව යම් උනන්දුවක් දක්වන නිසා ඔවුන්ගේ මානසිකත්වයත් ඒ අනුව හැඩ ගැසෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය ජාලා මගින් මේ ගැන වැඩි අවධානයක් දැක්විය යුතුයි. ඇතැම් ටෙලි නාට්‍ය පවා මේ තත්ත්වයන්ට වගකිව යුතුයි. මිනිසුන් විදිහට අපෙන් වරදක් සිදු වුණොත් එය මුල් කරගෙන චරිත ගොඩ නගන්න හොඳ නැහැ
වැරැද්දක් වුණොත් පරම්පරාවමක්ම විනාශ කරනවා. උදාහරණයක් විදිහට යම් පුද්ගලයෙක් සුළු හෝ වරදකට බන්ධනාගාරගත වී පුනරුත්ථාපනයෙන් පසු නැවත සමාජගත වෙනවා. ඒත් අපි ඒ පුද්ගලයා දෙස තවමත් බලන්නේ අපරාධකාරයෙක් එහෙම නැත්නම් සමාජවිරෝධී පුද්ගලයෙක් විදිහටයි. ඔහු පන්සලට ආවාත් එය වරදක්. ඔහුගේ පවුලේ උදවිය සමග ආවාහ විවාහ කර ගැනීමටවත් සූදානම් නැහැ.
තවමත් අපි දකින්නේ වරදකාරයොගේ ප්‍රතිරූපය පමණයි. පංතියක වුණත් කුඩා දරුවෙක් නොදන්නාකමට හෝ සොරකමක් කළොත් ඔහු “හොරා” සමහර විට ඒ පුංචි දරුවා අධ්‍යාපනය ලබා ඉහළ තැනකට ගියත් බොහෝ දෙනා ඇඟිල්ල දිගු කරන්නේ පුංචි කාලයේ කළ සොරකමට පමණයි. ඒ දරුවාගේ උත්සාහය, ධෛර්ය මෙතෙක් ආ ගමන්මග ගැන කතා කරන්නේ නැහැ. අද ඔහොම හිටියට ඉස්කෝලේ යන කාලයේ පංතියේ හොරා,අපි කිසිම කෙනෙක්ව ඒ විදිහට ලේබල් කිරීම සුදුසු නැහැ.
සෙන් කතාව
මෙම සෙන් කතාවට අනුව එක්තරා පන්සලක පොඩි හාමුදුරුවරු 14 නමක් වැඩ සිටියා. මේ අතර එක් දඩබ්බර වැඩ කරන පොඩි හාමුදුරුනමක් සිටියා. ඒ පොඩි හාමුදුරුවන්ගේ හැසිරීම අනිත් පොඩි හාමුදුරුවන්ට ටිකක් කරදරකාරී වුණා. දවසක් අනිත් හාමුදුරුවරු 13 නම ඇවිත් ලොකු හාමුදුරුවන්ට මේ විදිහට කිව්වා. අර පොඩි හාමුදුරුවන්ගෙන් අපට හරිම හිරිහැරයි. ඔබවහන්සේ ඒ පොඩි හාමුදුරුවෝ පන්සලෙන් පිට කරන්නේ නැත්නම් අපි දහතුන් දෙනාම පන්සලෙන් පිට වී යනවා කිව්වා. ගුරු හාමුදුරුවෝ මෙහෙම කිව්වා. කමක් නෑ. ඔය දහතුන් දෙනාම පන්සලෙන් පිට වෙලා යන්න මට ඒ ගැන කිසිම බයක් නෑ. ඒ ඇයි කිව්වොත් ඔය දහතුන් දෙනාම හොඳින් ශික්ෂණය ලබා සිටින නිසා සමාජයට කිසිම කරදරයක් නැහැ. නමුත් දඩබ්බර පොඩි හාමුදුරුවෝ මේ විදිහට සමාජයට ගියොත් ඒ පුංචි හාමුදුරුවන්ගෙන් සමාජයට හිරිහැරයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය දහතුන් නම වඩින්න. මම මේ පොඩි හාමුදුරුවොත් හදලා එවන්නම්.
අපේ සමාජයේ මේ තත්ත්වය තදින්ම තිබෙනවා. පංතියක වුණත් දක්ෂ ළමයාගෙන් ගුරුවරු ප්‍රතිඵල පෙන්වනවා. නමුත් පසුගාමී දරුවා එක පියවරකින් හෝ ඉදිරියට ගැනීමට ඇතැම් ගුරුවරු පවා උනන්දු වෙන්නේ නැහැ. නමුත් සමහර ගුරුවරු වචනයට පවා කියන්නේ ඉගෙන ගන්න පුළුවන් ළමයාට නොව අපි ශිල්ප දිය යුත්තේ ඉගෙන ගන්න පසුගාමී දරුවාටයි. එවැනි දරුවන් පංතියේ පසුපෙළ තබා අකුරක් ඉගෙන ගන්න කිසිම උවමනාවක් නෑ කියනවාට වඩා ඔවුන්ගේ හැකියාවට සරිලන පරිදි කෙසේ හෝ ඇස් පාදා දීම ඉතාම වැදගත්.
පූජ්‍ය කහගල සේනානන්ද හිමි
තිස්සාරාම මහ විහාරය, අම්පාර
පුන්‍යා චාන්දනී ද සිල්වා