ඔබේ ඇඳුම් අල්මාරියත් නිතර නිතර අවුල්වෙනවද? ඔබට හදිසි අවස්ථාවකදී අවශ්‍ය ඇඳුම් හොයාගන්න අපහසු වෙනවද? මේ ප්‍රශ්නවලට හොඳම විසඳුම තමයි ඔබේ ඇඳුම් අල්මාරිය නිසි පරිදි පිළිවෙලට තියාගන්න එක. මේ විදිහට ඔබ ඔබේ අල්මාරිය තබාගන්නවා නම් ඔබේ කාලය ඉතිරි කරනවා වගේම ඔබට පහසුවත් සලසලා දෙනවා…
කොහොමද අල්මාරිය අවුල් නොවී තියාගන්නේ?
ඇඳුම් වෙන් කරන්න…
ඕනෑම අල්මාරියක් ඇතුළත තට්ටු වශයෙන් හෝ ඇඳුම් එල්ලා තැබීමෙ පහසුකම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඔබට ඔබේ ඇඳුම් වර්ගකර වෙන්කර තබාගැනීම ඉතාම පහසුයි. උදාහරණයක් හැටියට ඔබ කාර්යාලයට අඳින කලිසම්, සාමාන්‍ය ගමන්වලට අඳින කලිසම්, බ්ලවුස් වර්ග, ටී ෂර්ට් වර්ග ආදී ලෙස වෙන් වෙන් වශයෙන් නවා තැබිය හැකියි. ඒ වගේම ඔබට පහසු ඇඳුම්, ඔබ රාත්‍රීයට අඳින ඇඳුම් ආදී ලෙසත් වෙන් කරන්න පුළුවන්. එයින් ඔබට ඇඳුම් තෝරා ගැනීම ඉතාම පහසු කරවනවා වගේම හදිසි අවස්ථාවලදී ඔබේ අතින් අල්මාරිය අවුල් වීමේ ප්රවණතාවයද ඉතාම අඩු වෙනවා.
ඇඳුම් නවා තබන්නම ඕනෙද?
ඔබේ ඇඳුම් සෑම විටම නවා තැබිය යුතු යැයි නියමයක් නැහැ. ඔබේ අල්මාරියේ ලාච්චු තිබෙනවා නම් ඔබ නිතර භාවිතයට නොගන්නා ඩෙනිම්, ටී ෂර්ට්, ව්‍යායාම කිරීම සඳහා භාවිතා කරන ඇඳුම් ආදිය රෝල් කර එම ලාච්චුවල අසුරා තැබිය හැකියි. මේ ක්‍රමය මඟින් ඔබ නිතර භාවිතයට ගන්නා ඇඳුම් පෙනෙන මානයේ ගබඩා කිරීමට ඔබට ඉඩ පහසුකම ලැබෙනවා.
ඔබේ ප්‍රියතම ඇඳුම් මොනවද?
ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ වැඩිපුරම භාවිත කරන ඇඳුම් මොනවද යනුවෙන් සිතා බලන්න. ඔබ රැකියාව සඳහා යාමට තෝරා ගන්නේ කුමන ආකාරයේ විලාසිතා ද? ඔබ සාමාන්‍ය ගමන් සඳහා භාවිත කරන්නේ කුමන ආකාරයේ ඇඳුම් ද? එවැනි ඇඳුම් ඔබට ඔබේ අල්මාරියෙ ඉක්මනින් සහ පහසුවෙන් ගත හැකි පෙනෙන මානයේ අසුරා තැබිය හැකියි. මෙය ඔබ අනිත් ඇඳුම් අතර ඔබට අවශ්‍ය දේ සෙවීමට කාලය නාස්ති කිරීම වගේම අල්මාරිය අවුල් වීමත් වළක්වනවා.
පරිත්‍යාග කරන්න..
අල්මාරියෙ තිබෙන සෑම ඇඳුමක්ම ඔබ භාවිත කරනවා දැයි හොඳින් සිතා බලන්න. ඔබ දිගු කලක් තිස්සේ භාවිතා නොකළ ඇඳුම් ඔබේ අල්මාරියෙන් ඉවත් කරන්න. ඒ වගේම ඔබ අලුතින් ඇඳුම් මිලදී ගෙන ඒවා අල්මාරියෙ ගබඩා කිරීමට පෙර පරණ ඇඳුම් කිහිපයක් අල්මාරියෙන් ඉවත් කරන්න. ඉවත් කරන භාවිතයට සුදුසු ඇඳුම් සියල්ලම පරිත්‍යාග කරන්නට ඔබට පුළුවන්.
කුඩා ඉඩවලින් ප්‍රයෝජන ගන්න…
ඔබ ඇඳුම් එල්ලා තැබූ පසු එම තට්ටුවේ යට කොටසේ කුඩා ඉඩක් ඉතිරි වන්නට පුළුවන්. එම ඉඩට සරිලන වේවැල් කූඩ, ප්ලාස්ටික් බාස්කට් වැනි දේවල් ඔබට සොයා ගන්නට පුළුවන් නම් ඔබේ යට ඇඳුම්, මේස් වර්ග හෝ ආභරණ ඒම ස්ථානයේ ඔබට අසුරා තැබිය හැකියි.
ලේබල් කරන්න…
ඔබ අල්මාරියේ ගබඩා කරන කූඩ හෝ පෙට්ටිවල තිබෙන්නේ මොනවා දැයි අල්මාරිය විවෘත කළ විට පැහැදිලිව නොපෙනෙනවා නම් ඒවා ලේබල් කිරීම වඩා සුදුසු වෙනවා. නැතිනම් විනිවිද පෙනෙන පෙට්ටි හෝ බාස්කට් භාවිත කරන්නත් ඔබට පුළුවන්.
අල්මාරියේ දොර…
අල්මාරියේ දොර වැසූ විට අල්මාරියෙ ඇතුළත තට්ටු හා යම් ඉඩකඩක් ඔබට තිබේ නම් අල්මාරියේ දොරෙහි කුඩා කොකු එල්ලා ඔබේ ආභරණ, බෙල්ට් වගේ දේවල් එල්ලීම සඳහා භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මේ ටිප්ස් භාවිත කරල ඔබට ඔබේ ඇඳුම් අල්මාරිය අවුල් නොවී තියාගන්න පුළුවන්. නමුත් මාසයකට වරක් වත් අල්මාරිය පිරිසිදු කරන්න අමතක කරන්න එපා.
(smartlady.lk ඇසුරෙන්)
අර්චිත ඉඳුවර