තුන්වෙනි වේදිකාවේ නවතා ඇති දුම්රිය දැන් ත්‍රිකුණාමලය බලා පිටත් වේ. එම දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, අවුකන, කලාවැව, කැකිරාව සහ හොරිවිල…
මගේ ගමනාන්තය හොරිවිලයි. ජනප්‍රිය කාන්තා පුවත්පතක් වන නවලිය පත්තරෙන් ලද ආරාධනයකට අනුව යන ගමනක් වේ. හොරිවිලෙන් බහිද්දි පාන්දර තුන හමාරයි. දුම්රිය ස්ථානාධිපති මනීෂ මල්ලිගෙන් ඉඟුරු තේ එකකුත් රස බලලා වෙද ගෙදර දිහාවට පියමැන්නා. දැයේ පිනට පහළ වූ වෙද ඉසිවරයෙක් වන හේරත්හාමි වෙද මහත්තයාගේ පිළිරුව සහිත ස්මාරකය විදුලි බුබුළෙන් ඒකාලෝක වෙලා. දේශීය කැඩුම් බිඳුම් වෙදකම ලෝකය ඉදිරියේ ඉහලටම ඔසවා තැබුවේ එතුමන්.
හොරිවිල මහා වෙදගෙදර වත්මන් ඉසිවර සාන්ත සෙනෙවිරත්නයන්ගේ ප්‍රතාපවත් රූපකාය මගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා හිටියා. මේ සනිටුහන් වන්නෙ ප්‍රාතිහාර්යයක් බඳු කැඩුම් බිඳුම් අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ ලිපි පෙළක සමාරම්භයයි. වෙද මහත්තයාගේ සූපවේදියා වික්‍රම හදපු උණු උණු කුරක්කන් රොටි කොල්ලු ආනමත් එක්ක රසවිඳල අපි කතාබහට යොමු වුණා.
වෙද මහත්තයා හොරිවිල වෙද පරපුරේ ඉතිහාසය ගැන අපිට කියමු…
අවුරුදු 3000 ක පරම්පරා 27 ක සාඩම්බර ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක ආරම්භයේ ඉඳලම රාජ රාජ මහාමාත්‍යාදීන්ට අපේ පරපුරෙන් වෙදකම් කරල තියෙනව. අදටත් එහෙමයි. සේරම වගේ ජනාධිපතිවරුන්ට මැති ඇමතිවරුන්ට අපි ප්‍රතිකාර කරල තියෙනවා. අඛණ්ඩවම අවුරුදු දහස් ගණනක් තිස්සෙ ඒ විදිහේ ඉතිහාසයක් තියෙන්නෙ හොරිවිල මහා වෙදගෙදර පරපුරට විතරයි.
ඔබතුමාගේ පියාණන් සහ දරු පරපුර ගැනත් කතා කළොත්…
අපේ තාත්තා හේරත්හාමි වෙද මහත්තයා. එතුමා කැඩුම් බිඳුම් වෙදකම සම්බන්ධයෙන් කළ කී දේ පුරාවෘත්තයක් වෙලා තියෙන්නෙ ලංකාවෙ. ඒවා ප්‍රාතිහාර්යයක් වගෙයි. තාත්තා නැති වුණාට පස්සෙ ලොකු අයියා කරුණානායක මහ වෙද ගෙදර වෙදකම බාරගත්තා. සේන බංඩා අයියා වෙදගමට ගියා. ඉන්පස්සෙ 1994 අවුරුද්දෙ ලොකු අයියාගේ ඉල්ලීම උඩ මම මහ වෙද ගෙදර වෙදකම බාරගත්තා.
ඔබතුමාගෙන් පසුව…
මගේ පුතා මල්ෂාන් මේ උරුමය ඉදිරියට ගෙනියාවි. එයා දැනට සිද්ධායුර්වේදයේ ආයුර්වේදය ගැන උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අතර වාරයේ මා යටතේ පුහුණු වෙනවා. ඒ ඉගෙනීමෙන් පස්සේ පූර්ණ කාලීනව එයා මාත් එක්ක වැඩ කරාවි.
අද මුළු රටම රෝහලක් වගේ කිව්වොත්…
ඒකට හේතු කිහිපයක් තියෙනවා. අලසකම, වැරදි පරිභෝජන රටාව, වැරදි චර්යාවන් ව්‍යායාම නොමැතිකම වගේ කාරණා ඔය අතරෙ සතියකට දවස් පහක් ඉස්කෝලෙ යන්නෙ එන්නෙ පයින් හැතැක්ම දෙක තුනක් හරි ඊට වැඩි දුරක්. කෑමට ගත්තෙ සිංහල හාලෙ බත්. ඉරිඟු, කුරහන්, මෙනේරි, තල, මුං කව්පි වගේ දෙවල්. ඒවට කෘමිනාශක රසායනික පොහොර යොදල තිබුණෙ නෑ. බිව්වෙ කොළ කැඳ, බෙලි මල්, රණවරා මල්, ඉරමුසු, පොල් පලා වගේ දේවල්. මොර, කීන, පළු, කෝන්, වීර, මාදං, බෙලි, දිවුල් වගේ පලතුරු වතුවල තිබුණා.
ඉතින් කොහෙද මහත්තයො ලෙඩ. එයාලා සොබා දහමට අවනත වුණ ජීවිතයක් තමයි ගත කළේ. දැන් ඔය අපේ මහත්තය කාපු කුරහන් රොටියයි කොල්ලු ආනමයි කියන්නෙ පෝෂණීය ආහාරයක්. ඒව කාල යක්කු වගේ වැඩ කරන්න පුළුවන්. අමුතුවෙන් ව්‍යායාම කරන්න ඕන නෑ. අද කාලෙ කන බොන දේවල්වල වසවිස ගැන ලියන්න ගියොත් මේ පත්තරේ ඉඩ මදි වෙනවා. අපි කන බොන තරමක් කන්නෙ වස විස.
ඔබතුමා වැරදි චර්යාවන් ගැනත් සඳහන් කළානේ…
ඒ අනිත් එක. හොයන්නෙම සැප පුටු, සැප ඇඳවල්. ඉඳගන්නෙ තට්ටමෙන් නෙමේ තුනටියෙන් දිග ඇදිලා. එතකොට තුනටියෙ ත්‍රිකෝණස්ථියේ අස්ථි අතර ඇදීමක් සිද්ධ වෙනවා. ඒක කශේරුකාවේ වැදගත්ම කොටසක්. ටීවී බලන්නෙ සැටියේ දිගාවෙලා හිස ඇන්දට තියාගෙන. එතකොට ගෙල කොටසේ කොඳු ඇට පෙළට හානි වෙනවා. සමහරු හරියට පස්ස තියල වාඩි වුණත් කොන්ද තියාගෙන වකුටු වෙලා.
එතකොට කොඳු ඇට පෙළේ මැද කොටසට හානි වෙනවා. නිදාගන්න හොයන්නේ කිඳා බහින සැප මෙට්ට. ටික කාලෙකදි උකුල හරියෙන් මෙට්ටේ බහිනවා. එහෙම වුණාම සම්පූර්ණ කොඳු ඇට පෙළම විකෘති වෙනවා. ඊළඟට බරක් ඔසවන්නෙ දණහිස් සන්ධි නමලා බර සමව බෙදා හැරලා නෙමෙයි. එයිනුත් තුනටියට විශාල හානියක් වෙනවා. වසවිස සහිත ආහාර පාන බහුලව කාල බීලා නිසි ව්‍යායාම් නොකර නිසා අස්ථි සහ මාංශ පේශි දුර්වලයි. අද කාලෙ තියෙන ආබාධ අතරින් වැඩියෙන්ම අපි ළඟට එන්නෙ කොන්දෙ අමාරුවෙන් පෙළෙන අය. ඒවට බලපාන්නේ මම කිව්ව කාරණා. ඒවා අපේ වෙදකමෙන් සුව කරන්න පුළුවන්. ඉදිරියේදී ඒ ගැන කතා කරමු.
සංවාද සටහන : අජන්ත ජයසේකර