අපේ රටේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ තමන්ගේ ජීවිතේ වෙන කුමන හෝ හැලහැප්පීමකට වුණත් දේශපාලනය හෝ සමාජ තත්ත්වය ගාවගන්න. නමුත් අපේ ජීවිතේ වෙන්න ඕන දේවල් තීරණය කරන්නෙ අප වටා තියෙන පරිසරය. අපි හිතමුකො පිරිසක් රණ්ඩුවකට සූදානම් වෙනවා කියල. නමුත් එතන ඉන්න තවත් කෙනෙක් රණ්ඩු වලට කැමති නැතත් ඔහු ජීවත් වෙන්නෙ එවැනි වටපිටාවක නිසා නිකන්ම ඔහුත් රණ්ඩු කරන පුද්ගලයෙක් වෙනවා. ඒත් තමන්ට ඒ තැනින් ඉවත් වෙන්න පුළුවන්නම් ඉදිරි ගමන බොහොම සාර්ථකව යන්න පුළුවන් කියලත් මතක තියාගන්නම ඕනෙ.
අපිට දිනපතා ඇහෙන දකින දේවල් තමයි අපේ ජීවිතේ තීරණේ කරන්නෙ. දේශපාලන, ආර්ථික, ආගමික ප්‍රශ්න තියෙනව තමයි. එතකොට මිනිස්සු තමන්ගෙ ජීවිතේ වෙනස් කරන්නෙ මෙන්න මේ කාරණා කියල හිතන එකත් සාමාන්‍ය දෙයක්. නමුත් කාරණාව ඇතුළටම ගිහින් පොඩ්ඩක් හොයල බැලුවොත් ඔය දේශපාලන, ආගමික, ආර්ථික කිසිම දෙයක් ඒ ගැටලුවට ගෑවිලාවත් නෑ. අපි දන්නවනෙ අර තාපසාරාමෙටයි හොරු කණ්ඩායම ගාවටයි වැටුණ ගිරව් දෙන්නගෙ කතාව. ඒක අපිට හොඳම උදාහරණයක් අපි ජීවත් වෙන පරිසරය අපේ හැසිරීමේ ස්වභාවය තීරණය කරනවා කියන එකට.
ගොඩක් අයට තේරුමක් නෑ තමන් ඉන්නෙ මොන වගේ පරිසරයකද කියලත්. ඒක තේරුම්ගත්ත මනුස්සයා තමන්ගෙ ජීවිතේට ප්‍රශ්න දාගන්නෙ නැතුව ජීවිතේ ඉස්සරහට යනවා. දරුවන්ට දෙමාපියන්ගෙන්වත් දෙමාපියන්ට දරුවන්ගෙන්වත් අයින් වෙන්න බෑනෙ. නමුත් අපි ගමු පෙම්වතුන් යුවලක්. ඔවුන් රණ්ඩු වෙනවා, ආයෙ යාළු වෙනව, ආයෙත් කාලයක් කතාබහ නොකර ඉන්නවා. කාලයක් යද්දි ඔවුන්ට තේරෙනවා මේ රිලේෂන්ෂිප් එකේ ඉඳල තේරුමක් නෑ කියල. හැබැයි අයින් වෙන්න බැරිතරමටම ඔවුන් ඒ දේට ඇබ්බැහි වෙලා. අර සින්දුවකත් තියෙන්නේ ‘දුකම කොයි තරම් සතුටක්දෝ’ කියල. දුක වුණත් සතුටින් විඳින්න පුළුවන් තැනට මිනිස්සු හුරු වෙනවා.
පහුගිය කාලෙ ලංකාවේ පැය ගණන් කරන්ට් කැපුවනෙ. මුල් දවස්වල ආණ්ඩුවට බැන බැන හිටියා මිනිස්සු. හැබැයි ඊටපස්සෙ කරන්ට් එක කපන එකට අපි පුරුදු වුණානෙ. කරන්ට් කපන වෙලාව අපි දැනන් හිටියා. කළුවරට ලෑස්ති වුණා. හිත හදාගත්තා. ඔය කියන හිත හදාගැනීම තමයි මේ ලෝකෙ තියෙන අමාරුම දේ. ඒ වගේම හිත හදාගත්ත මනුස්සයා තමයි මේ ලෝකෙ සතුටින්ම ඉන්නෙත්.
අපේ ජීවිතේ තියෙන හැමදේම එකම බකට් එකක් ඇතුළේ දාගෙන තමයි අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නෙ. ඒ බකට් එකට අපි එකතු කරල දාලා තියෙන සිද්ධි සමහරවෙලාවට උඩට එනවා. ඒ වෙලාවට තමයි අපි දුකින්, සතුටින් හෝ කල්පනා කර කර ඉන්නෙ. ඒත් ඔයාගෙ බකට් එකේ ඔයා තියාගන්නේ ඔයාට අත්‍යවශ්‍යම හොඳ දේවල් ටික විතරක්නම් ඔයාට සතුටින් ඉන්න පුළුවන්.
ඒ වගේම තමන්ගෙ ජීවිතේ තීරණ ගන්න තවත් කෙනෙක්ට දෙන්න එපා. ඒ තීරණ හරි විදිහට තමන්ම ගන්න ඕනෙ. අපි අහල තියෙනවා සමහර කාන්තාවන් කියනවා ‘මම මේ ගෙදර වහලෙක් වගේ’ කියල. නමුත් ඇයව වහලෙක් කරන්නෙ වෙන කවුරුත් නෙවේ ඇය ඇතුලාන්තයේ ඉන්න පුද්ගලයමයි. තමන්ට තියෙන ගැටලුවෙන් හෝ එල්ල වෙන පීඩනයෙක් එකපාරටම ගැලවිලා යන්න බෑ තමයි. නමුත් ටිකින් ටික තමන් ස්වාධීන වෙනකොට තමන්ට ඒ ගැටලු ටිකත් විසඳගන්න පුළුවන්. අනුන්ගෙ සතුටටත් ඉඩ දීලා තමන් තමන්ගෙ ගමන යන්න. එතකොට දෙන්නම සතුටින්.
ව්‍යාපාර සංවර්ධන,
අභිප්‍රේරණ හා
නායකත්ව
පුහුණු උපදේශක
කුසල් රත්නපාල
එරංදි කෞශල්‍යා