ඇසළ පුර පසළොස්වක පුර පොහොයත් සමග වස් කාලය ආරම්භ වෙනවා. පොහොය දවසේ වැසි සලු පූජා කරමින් වස් ආරාධනා කිරීම සෑම පන්සලකම සිදු වෙන චාරිත්‍රයක්. බුද්ධකාලීන අවධිය වනවිට විවිධ ආගම් සහ දර්ශනවාදයන්ගෙන් පිබිදී ගිය සමකාලීන භාරත වැසියන් දහස් ගණනින් සතුන් මරණ යාග නිසා දැඩි පීඩනයෙන් පසු වූහ. මෙවැනි පසුබිමකදී සතුන්ට පමණක් නොව ගහ කොළට පවා ප්‍රාණය ඇතැයි යන “මහාවීර ”යන්ගේ ඉගැන්වීම් ගැන සමාජයේ බොහෝ සේ ප්‍රසාදයක් ගොඩනැගී තිබුණ යුගයකි.
ඒ තරමටම අහිංසාවාදී ජීවිතයක් ඇති ඇතැම් ශ්‍රමණ පිරිස් විසින් වැසි කාලය ගෙවද්දී බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැසි කාලයේදී චාරිකාවන්හි යෙදීම මෙම ශ්‍රමණයන්ගේ දෝෂ දර්ශනයට ලක් විය. කුරුල්ලෝ පවා ගස් මුදුන්හි කැදලි තනාගෙන වෙනදා මෙන් ආහාර සොයා නොයද්දී බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අන්දමින් චාරිකාවේ යෑම නිගරුවට පාත්‍ර කළහ.
මෙම මහජන මතය “උජ්ඣායන්ති, බියන්ත, විසාවෙන්ති යනුවෙන් මිනිස්සු අවමන් කළහ. නින්දා කළහ. දොස් නැගූහ. මේ නිසා භික්ෂුන්වහන්සේලා විසින් මේ බැව් බුදුන්වහන්සේට සැළකලහ. “අනුජානාමි භික්ඛවේ වස්සංඋපගන්තුන්හි” යනුවෙන් මහණෙනි, වස් සමයේ තොපට වස් වසන්නට අනුදනිමි. යනුවෙන් විනය නීති පැනවූහ. එතැන් පටන් තුන් මාසයක් එක තැනක වාසය කරමි යන අදහසයි. වස් විසීමට බුදුරජාණන්වහන්සේ මහජන මතයට ගරු කළ අවස්ථාවකට නිදසුනකි. වස් විසීම වැදගත් විනය කර්මයකි. ශාසනයේ ආයු කාලය රඳා පවතින්නේ විනය මතයි.
බුදුරජාණන්වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන කාලයේදී කොසොල් රට පාවා නුවර වැඩ විසූ පිණ්ඩපාතික වූද, පාංශකූලික වූද, තේවිචරිත වූ ආරණ්‍යවාසී භික්ෂුන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ දකිනු රිසිව සැවත්නුවරට එන අතරමගදී මහා වැසි සමයක් එළැඹිනි. මේ වනවිට ඉහත භික්ෂුන්වහන්සේලා තව යොදුන් හතක දුර යා යුතුව තිබුණත් ඒ දුර ගෙවා ගත නොහැකිව දුර්මුඛව සිටියහ.
වස් වසා නිමවී නැවතත් සැවත්නුවර බලා පැමිණීමට සූදානම් වූහ. වැසි සමයේ මඩ වී ගිය මාර්ගයන්හි වැටි වැටී මේ භික්ෂුන්වහන්සේලා මඩ සහිත සිරුරෙන්ම බුදුරජාණන්වහන්සේ හමුවට ගියහ. තමන්වහන්සේ දකිනු රිසිව දුෂ්කර ගමනක යෙදුන භික්ෂුන්වහන්සේලා දුටු බුදුරජාණන්වහන්සේගේ සිතේ දැඩි සංවේගයක් බුදුරජාණන්වහන්සේ වස්වැසි භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් කඨිනයක් අනුදනිමියි වදාල සේක.
අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛු තං කඨිනං අත්තවිතං ඒ අනුව වස් වැසීමෙන් පසුව භික්ෂුන්වහන්සේලාට කඨිනයක් පිළිගැන්වීම නියම විය. ඒ අනුව ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ පටන් තුන් මාසයක් පුරා භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වීම සිදු වේ.
දැහැත් වට්ටිය සූදානම් කිරීම
වස් ආරාධනා කිරීමේදී දැහැත් වට්ටියක් පිළිගන්වා වස් ආරාධනා කිරීම අතීතයේ පටන් පැවැතෙන චාරිත්‍රයකි. දැහැත් ගොටුව සාදා ගැනීම මේ අන්දමින් සිදු වේ. බුලත් කොළ කීපයක් ගෙන පොල් ඉරටු කැබැලි මගින් එකින් එක අමුණා ගොටුවක ආකරයෙන් සකස් කරනු ලැබේ. ගොටුවේ යට කොටස පිරිසිදු රෙදි කැබැල්ලකින් ගොටුවේ ආකාරයටම ආවරණය කරන අතර එම ගොටුව මල් වලින් පුරවා ගනු ලැබේ.
වැසි සලුව සුදු රෙදි කඩකින් සකස් කර ගැනීම
සිවුරට සමාන සුදු රෙදි කඩක් වැසි සලුව යනුවෙන් අදහස් කෙරේ. අතීතයේදී සිවුර වෙනුවෙන් පාවිච්චි කළේ පාංශකුල හෙවත් මල මිනී දවටාගෙන විත් සොහොනට දැමූ පසු ඒ මෘත දේහය දවටා තිබණ සුදු රෙදි කඩකි. එය සෝදා පිරිසිදු කර පඬු පොවා නියරක ආකාරයකින් සිවුර සකස් කර ගත්හ.
වස් උදෙසා ආරාධනා කිරීමේදී දැහැත් ගොටුව සහ වැසි සලුව පූජා කිරීමෙන් පසුව වස් වසන තුන් මාසය වෙනුවෙන් සංඝයා වහන්සේලාට අවශ්‍ය පිරිකර පූජා කරනු ලැබේ. මෙය වස් ආරාධනා කිරීමේ පටන් වස් වසන තුන් මාසය තුළ මෙන්ම, කඨින පිංකම් අවස්ථාවේදීත් සිදු වේ. භික්ෂුන්වහන්සේ වස් ආරාධනය භාර ගත් ස්ථානයේම වැඩ විසීම අවශ්‍යයි. එසේ නැත්නම් වස් ඡේදනය වේ.
වස් ආරාධනය
වස් ආරාධනා කිරීමට පෙරාතුව බුදුරජාණන්වහන්සේ උදෙසා මල් පහන්, සුවඳ දුම්, දැහැත් සහ ගිලන් පස පූජා කරමින් බුද්ධ වන්දනාව සිදු කරනු ලැබේ. එයින් අනතුරු සියලුම දාරකාරකාදීන් විසින් හුලින් සඳහන් කරන ලද පූජා ද්‍රව්‍ය විහාරස්ථානයේ හෝ ආරණ්‍යසේනාසනයක වැඩ වසන භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් පූජා කරනු ලැබේ. වස් සමාදන් වීමට සූදානමින් සිටින උපසම්පදා භික්ෂුන් වහන්සේලාට වස් ආරාධනය වෙනුවෙන් ආරාධනා කරන අතර දැහැත් වට්ටිය පූජා කරමින් වස් ආරාධනය සිදු වේ.
කඨින පිංකම වෙනුවෙන් දායකත්වය දරණ පුද්ගලයා හෝ පිරිසට වස් ආරාධනය වෙනුවෙන් අවස්ථාව ලබා දෙන අතර මෙහිදී වැසි සලුව සහ දැහැත් ගොටුව අත මත තබාගෙන පහත සඳහන් ආරාධනා වාක්‍ය කියමින් වස් ආරාධනය සිදු වේ.
වස් ආරාධනා වාක්‍යය
ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ආරාධනය පිළිගෙන අදින් ඇරඹෙන වස් තුන් මාසය පුරාවට මෙම ස්ථානයේ වස් එළඹ උතුම් ශාසන බ්‍රහ්ම චර්යාව ආරක්ෂා කරමින් අවවාද ලබා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වස් සමාදන්ව වැඩ වසන මෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඒ වෙනුවෙන් අපට හැකි පමණින් ඇප උපස්ථාන කිරීමට පොරොන්දු වෙමු.
මෙම වාක්‍ය කියමින් දැහැත් ගොටුව සහ වැසි සලුව වස් වසන්නට අපේක්ෂිත සංඝයා වහන්සේලා වෙත පූජා කරනු ලැබේ. මහා සංඝරත්නය විසින් පැමිණ සිටින පිරිසට පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කිරීම සිදු වේ.
වස් ආරාධනයේ පටන් කඨින පිංකම් දක්වා වූ පුරා තුන් මාසයක් වස් වැඩ වාසය කරන භිකෂූන් වහන්සේලා වෙනුවෙන් සිව්පසයෙන් උපස්ථාන කිරීම සිදු වේ.
වස් තුන් මාසය තුළ ගමයි පන්සලයි වඩාත් සමීප වන අතර ගිහි පැවදි සම්බන්ධතාවයන් කුළුගැන්වෙන පුණ්‍යවන්ත මාස කීපයක් ලෙස හැඳින්විය හැක. මහ වැසි නොතකා වුණත් බුද්ධ පූජාවට ගිහියන් පැමිණෙන අතර එසේ පැමිණෙන ගිහියන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීම තමන් වහන්සේලාගේ නිවන් මග සාක්ෂාත් කර ගැනීම වෙහෙසීම පැවිදි උතුමන්ගේ වගකිමක් ලෙස සලකනු ලැබේ.
කිවියර, ගීත රචක
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
ශ්‍රී අරියනන්දනාරාමය
වේයන්ගොඩ, කටුවස්ගොඩ
පුන්‍යා චාන්දනී ද සිල්වා