නිවසක් ඉදිකිරීමට පෙර අදාළ ඉඩමේ පාද බෙදීම ඉතාමත් වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හැඳින්විය හැකිය. නමුත් අද ඉඩකඩම් වල ප්‍රමාණය සීමා සහිත බව නිසා කුඩා ඉඩම් වල මෙලෙස පාද බෙදීම සිදුකර නිවසක් ඉදිකිරීම අපහසු වුවත් හැකිතාක් දුරට ඒකී කාරණා ගැන දැනුවත් වී ඉදිකිරීම් කටයුතු සිදුකර ගැනීම ඉතා වැදගත් ලෙස හැඳින්විය යුතුය.
ප්‍රේත පාදය
බ්‍රහ්ම පාදය
මනුෂ්‍ය පාදය
දේව පාදය
යනුවෙන් ඉඩමක පාද කොටස් 04 කට බෙදා දක්වා ඇති අතර රාජධානි යුගවල පවා ආරාම ඉදිකිරීමේදී සහ විවිධ ගොඩනැගිලි ඉදිකිරීමේදී මෙම පාද බෙදීමේ ක්‍රමවේදය මත පදනම්ව මෙම සියලු ඉදිකිරීම් නිර්මාණය කර ඇත. අනුරාධපුර යුගයේ අභයගිරි විහාර සංකීර්ණය ගත් විට,
ප්‍රේත පාදය තුළ වැසිකිළි කැසිකිළි වළවල් ඉදිකර ඇත.
මනුෂ්‍ය පාදය තුඝ භික්ෂු කුටි නිර්මාණය කර තිබේ.
දේව පාදය තුළ උපෝසතාගරය, බෝධිඝරය, පොහොය ගෙය, ආරාම සංකීර්ණය ද අභයගිරි ස්ථූපය ගත්විට දේව පාදය හා බ්‍රහ්ම පාදය යන පාද යුගලය තුළ නිර්මාණය කර ඇත.
තවද ඡේතවනාරම විහාර සංකීර්ණය ගත්විටද මේ ආකාරයටම පාද වෙන්කර ඇත. ප්‍රේත පාදය තුළ වැසිකිළි කැසිකළි නිර්මාණය කර ඇති අතර මනුෂ්‍ය පාදය තුළ භික්ෂු කුටි නිර්මාණය කර ඇත. දේව පාදය තුළ ඉදිකිරීම් අඩු වුවත් ඡේතවනාරාම ස්ථූපය දේවපාදය හා බ්‍රහ්ම පාදය යන පාද යුගල තුළ නිර්මාණය කර ඇත. අතීතයේ සිට යොදා ගත් මෙම පාද බෙදීමේ ක්‍රමය වර්තමානයේ ඉඩම් සඳහා ද යොදා ගැනීමට බොහෝදෙනා උනන්දුවක් දක්වයි. මෙහිදී මෙම පාද පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්ය.
ප්‍රේත පාදය
ඉඩමක වැට මායිම සමඟ ඇති ඉඩමේ කෙළවර කොටස ප්‍රේත පාදය වශයෙන් සලකයි. නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය ආදිය දැමීමටත් වැසිකිළි වළවල්, කුණු බැහැර කරන ස්ථානය, සත්ත්ව ගාල් සඳහා සුදුසු කොටසයි. පෙර සඳහන් කළ පරිදි රාජධානි යුගවල පවා ප්‍රේත පාදය මේ සඳහා යොදා ගෙන ඇත. ඉඩමක වැඩිම ප්‍රමාණයක් එනම් සම්පූර්ණ ඉඩමෙන් 48.98% ප්‍රතිශතයක් ප්‍රේත පාදය සඳහා වෙන් වේ. වර්තමානයේ පවතින කුඩා ඉඩම්වල මෙම ප්‍රේත පාදය මඟහැරීම ඉතා අපහසු කරුණකි. නමුත් පර්චස් 20 ට වැඩි ඉඩමක් නම් නිවස සෑදීම සඳහා මෙම කොටස මඟහැරීම සුදුසුය. නමුත් කුඩා ඉඩමක නිවසක් තැනීමේදී වැට මායිමටම (Blind wall) ලෙස නිවසක් නිර්මාණය කරන අවස්ථා ඇත. එනම් එක් ප්‍රේත පාදයකට හසුවන ලෙසය.
මෙහිදී හැකි සෑම විටම උතුරට හෝ දකුණට මුහුණලා ඇති ඉඩමක නැගෙනහිර දිශාව ඉතුරු වනසේ බටහිර දිශාවට වන්නට ඇති වැට මායිමේ නිවස සැලසුම් කිරීම සුදුසුය. මෙහිදී මුළුතැන්ගෙය වයඹ දිශාවට නොගෙන ගිණිකොණ දිශාවට වන්නට සැලසුම් කිරීමෙන් මුළුතැන්ගෙය ප්‍රේත පාදයට හසුවීම වැළකේ. නැගෙනහිරට හෝ බටහිරට මුහුණලා ඇති ඉඩමක උතුරු දිශාව ඉතුරු වන සේ දකුණු දිශාවට වන්නට නිවස සැලසුම් කළ යුතුය. මෙහිදී මුළුතැන්ගෙය ගිණිකොණ දිශාවට නොගෙන වයඹ දිශාවට වන්නට සැලසුම් කිරීමෙන් මුළුතැන්ගෙය ප්‍රේත පාදයට හසුවීම වළකා ගත හැකිය.
නමුත් ඉඩමේ ඇති කුඩා බව නිසා වැට මායිම් දෙකක් මත එනම් ඉඩමේ කෙළවරවල් දෙකක් මත නිවසක් සැලසුම් කරන අවස්ථා ඇත.කෙසේ නමුත් ඉඩමේ පෙර සඳහන් කළ පරිදි වැසිකිළි වළ සෑදීමේදි ඊසාන දිශාව නොගත යුතුය. නමුත් අසල ඇති අනෙකුත් ඉඩම් වල ළිඳක් පිහිටා ඇතිනම් ඊසාන දිශාව හැර වෙනත් දිශාවකට වැසිකිළි වළ ගෙන යාමට ප්‍රායෝගිකව නොහැකි වන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවකදී මෙම වැසිකිළි වළ මත කුඩා ඖෂධ පැළ එනම් මොණරකුඩුම්බිය, කුප්පමේණියා වැනි පැළ සිටුවීම මඟින් මෙම දෝෂය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගත හැකිය. නමුත් ඊසාන දිශාව කෙසේ හෝ පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් කරුණක් ලෙස සඳහන් කළ යුතුය.
මනුෂ්‍ය පාදය
ඉඩමක ප්‍රේත පාදයට පසු ඉඩමේ කෙළවරේ සිට මධ්‍යයට එනවිට දෙවනුවට ලැබෙන පාදය මනුෂ්‍ය පාදයයි. එය මුළු ඉඩමෙන් 32.66% ක ප්රමාණයකි. මෙම පාදය තුළ වාසය සඳහා නිවසක් ඉදිකිරීමට ඉතාම සුදුසු පාදයකි. විශාල ඉඩමක නම් සම්පූර්ණයෙන්ම මෙම මනුෂ්‍ය පාදය තුළ නිවසක් ඉදි කළ හැකිය. සත්ත්ව ගාල් සඳහා නුසුදුසුය.
දේව පාදය
මනුෂ්‍ය පාදයෙන් ඉඩම මධ්‍යයට එනවිට ලැබෙන පාදය දේව පාදය වේ. මෙය ඉඩමේ ප්‍රමාණයෙන් තුන්වෙනියට විශාල කොටස වේ. එය ඉඩමේ මුළු ප්‍රමාණයෙන් 16.33% ප්රමාණයකි. ඉතාම පිරිසිදුව තිබිය යුතු පාදයක් වන මෙම දේව පාදය තුළද වාසය සඳහා නිවසක් ඉදිකිරීමට සුදුසුය.
බ්‍රහ්ම පාදය
දේව පාදයෙන් ඉඩම මධ්‍යයට එන විට ලැබෙන පාදය බ්‍රහ්ම පාදය වේ. මෙය ඉඩමේ කුඩාම පාදය ලෙස හැඳින්විය හැකි අතර එය ඉඩමේ මුළු ප්‍රමාණයෙන් 2.03% ප්‍රමාණයක් වේ. මෙම බ්‍රහ්ම පාදය ඉතාම පිරිසිදුව තිබිය යුතුමය. බ්‍රහ්ම පාදය තුළ පමණක්ම ඉතා විශාල ඉඩමක නම් නිවසක් ඉදිකිරීම සුදුසු නොවේ.
මෙම පාදය තුළ වැසිකිළි, කැසිකළි, කුණු වළවල්, මුළුතැන්ගෙය ආදියද ළිඳ පිහිටීමද ඉතාම නුසුදුසුය. තරමක විශාල ඉඩමක නම් බ්‍රහ්ම පාදය තුළ ආගමික ශාස්තෘන් වහන්සේලා වෙනුවෙන් ඉදිකරන ස්ථාන සඳහා ඉතාම සුදුසුය. තවද මරුසුලම වශයෙන් හඳුන්වනු ලබන අසුබ පිහිටීමක් වන නිවසේ හරි මැදත් ඉඩමේ හරි මැදත් එක මත එක පිහිටන අවස්ථාව වේ.
ඉඩමේ බ්‍රහ්ම පාදය මත ඉතාම අහිතකර මෙම පිහිටීම නිවැසියන්ට රෝගාබාධ, කරදර ඇති කරන අසුබ පිහිටීමකි. මේ හේතුව නිසා බ්‍රහ්ම පාදය මත කුඩා ඉඩමක වුවත් නිවසක් සැලසුම් කිරිමේදි පෙර සඳහන් කළ පරිදිම ඉඩමේ හරි මැදත් නිවසේ හරි මැදත් එක මත එක නොපිහිටන ආකාරයටම නිවසක් සැලසුම් කළ යුතුය. මේ ආකාරයට ඉඩමක පාද බෙදීම රාජධානි යුගවල සිට අද දක්වාම විකාශනය වුවකි. ඉඩමේ ප්‍රමාණය මත හැකි සුදුසුම ආකාරයට ඉඩමක පාද බෙදා නිවසක් සැලසුම් කර වාසය කිරීම ඉතාම සුබ දායක වනු ඇත.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes
මිනුවන්ගොඩ
ධම්මික හේවාවසම්