සැපට ඉන්න බල්ලන්ටත් අලුත් නිවහනක්
බල්ලන් මිනිසුන්ට ඉතාම හිතෛෂී සත්ත්ව විශේෂයක්. ඒ නිසාම අද වනවිට බල්ලා තමන්ගේ පවුලේ සාමාජිකයෙකුගේම තැනට පත් වී සිටිනවා. ඒ වගේම අපේ රට හැර එතෙර පදිංචියට යන බොහෝ උදවියට තමන්ගේ සුරතලා කැටුව යෑමට හැකියාවක් නොමැති වීම නිසා බරපතල ගැටලුවලට මුහුණ දී සිටිනවා. ඒ වගේම තවත් සමහර උදවිය තමන්ගේ පවුලේ උදවිය රට ගියත් නිවසේ සුරතලා වෙනුවෙන් මෙරට රැඳී සිටින්නට තරම් කැපවීමකින් කටයුතු කරනවා.
එවැනි අවස්ථාවන්හිදී ඔබේ නිවසේ ඇති දැඩි කරන බලු සුරතලා රැගෙන යෑමට අවස්ථාවක් ලැබෙනවා නම් ඔබත් සතුටු ඇති. එහෙමනම් අපි ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට සඳුන් පෙරේරා හමුවෙමු. අතුරුගිරියේ පදිංචි ඔහු කුඩා කාලයේ පටන්ම විනෝදාංශයක් විදිහට සතුන් ඇති කළ අතර අද වනවිට කෝටි දෙක තුනක් වටිනාකම් ඇති බල්ලන් ආනයනය කරන පුද්ගලයෙක් ලෙසින් ප්‍රසිද්ධයි.
ඇත්තටම ඔබ මේ විදිහට වටිනා සුනඛයන් ආනයනය කරන්නේ ඇයි?
ලෝකයේ වටිනා සම්භවයක් ඇති සුනඛයන් සිටිනවා. දැනට ගහණයක් නැති වටිනා සම්භවයක් සහිත සුනඛයන් අපේ රටට හඳුන්වා දෙන්න මට අවශ්‍ය වුණා. ඒ නිසා මම සුරතලයට ඇති කරන සුනඛ විශේෂ වගේම ප්‍රදර්ශන සඳහා විශේෂිත වූ සුනඛයන් ආනයනය කිරීම දැනටත් සිදු කරනවා.
මේ සුනඛයන්ගේ ලේ උරුමය ඔවුන්ටම විශේෂිතයි
මම දැනට ආනයනය කරන සුනඛයන් අතර රොට්වයලර්, ලැබ්රඩෝර් වැනි විශේෂයන් සිටිනවා. ඒ වගේම අපි මේ විශේෂයන්ගෙන් අලුත් පැටවුන් බිහි කරනවා. අවශ්‍ය අයට අපේ මධ්‍යස්ථානයන් විශේෂ වර්ගයේ සුනඛයන් ලවා තමන් ඇතිකරන සුනඛ ධේනුව ගැබ් ගන්වා ගැනීම සිදු කර ගන්නත් පුළුවන්.
ඒ වෙනුවෙන් පහසුකම් තිබෙනවාද?
ඔව් අපේ සුනඛ මධ්‍යස්ථාන කීපයක් තිබෙනවා. මේ ස්ථානවල ආනයනය කරන ලද සුනඛයන් සිටිනවා. ඔවුන් ලවා ගැබ් ගන්වා ගැනීමේ කටයුතු සිදු කර ගන්න පුළුවන්. ජා ඇල, අනුරාධපුරය, කැලණිය, පූගොඩ, මීගමුව, අතුරුගිරිය යන ප්‍රදේශවල පිහිටා තිබෙන ඕනෑම මධ්‍යස්ථානයකින් ගැබ් ගන්වා ගැනීම සිදුකර ගන්න පුළුවන්.
හොඳ වර්ගයේ පැටවෙක් අවශ්‍ය නම්
අපි ඇති කරන සුනඛ පැටවුන් ඕනෑම අවස්ථාවක මිලදී ගැනීමට පුළුවන්. අවශ්‍ය අයෙක් ඉල්ලුම් කළොත් ඒ සඳහා අපි සූදානම්. ඒ වගේම ඉල්ලුම් කරද්දී සුරතලයට ඇති කිරීමටද? අභිජනනය සඳහාද? එහෙම නැත්නම් සංදර්ශන වෙනුවෙන්ද බවත් සඳහන් කිරීම වැදගත්.
ඕනෑම වර්ගයේ ගැහැනු සතෙක් ගැබ් ගැන්වීමට පුළුවන්ද?
එහෙම බැහැ, ගැබ් ගැන්වීමට පෙරාතුව අපි ඒ ගැනත් සොයා බලනවා. ගැබ් ගන්වන ගැහැනු සතා ආනයනය කරන ලද සුනඛ ප්‍රභේදය සමග ගැළපෙනවාද සොයා බැලීමෙන් පසුව අපි ඔවුන්ගේ ඉල්ලීම පිළිගන්නවා මේ විදිහට ආනයනය කරන ලද විශේෂයන් සමග මිශ්‍ර වීම නිසා නව වර්ගයේ සුනඛ ප්‍රභේදයක් අපේ රටෙන් බිහි වෙනවා. ඒකත් තව විශේෂත්වයක්.
ඔබෙන් ලබා ගත් පැටවුන් ගැන වගකීම
අපෙන් ලබා ගන්නා පැටවුන් ගැන වගකීමක් අපට තිබෙනවා. පැටවා මිලට ගැනීමේදීම උප්පැන්න සහතිකය ලබා දෙනවා. මුල්ම එන්නත අපි මේ වනවිට ලබා දී තිබෙනවා. ඒ වගේම මේ විශේෂ සුනඛයන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. ඔවුන්ට නිසි අන්දමින් ආහාර ලබා නොදුනහොත් වර්ගය කොයිතරම් විශේෂ වුණත් ආවේණික ප්‍රමිතිය ලැබෙන්නේ නැහැ.
ඔබ අපේ රටේ නිවැසි සුනඛ සුරතලුන්ටත් විදේශගත වීමට අවස්ථාවලබා දෙනවා නේද?
ඔව්. මෙහි ආරම්භයේ සඳහන් විදිහට පවුල් පිටින් විදේශගත වනවිට ඔවුන්ගේ සුරතල් සතුන් අවතැන් වෙනවා. මේ සුනඛයින් ඔවුන් සමග කැටුව රැගෙන යන ක්‍රියාවලිය බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් මානසිකවත් සෑහෙන ගැටුමකට පත් වෙනවා. නමුත් පවුලක් විදේශගත වෙනවා නම් ඔවුන්ගෙ සුරතල් සතුන් රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සපයන්නත් මට පුළුවන්. මේ විදිහට මම රටවල් කීපයකට සුනඛයින් යැවීමට කටයුතු කළා.
කැනඩාව, ඉතාලිය, යුරෝපය ඒ අතර තිබෙන රටවල් කීපයක්. විශේෂ වර්ගයේ සුනඛයෙක් ආනයනය කර ගැනීමට අවශ්‍ය අයෙක් සිටිනවා නම් වෙනත් රටක ප්‍රභේදයක සුනඛයෙක් ආනයනය කර ගැනීමට කැමැත්තක් දක්වන පුද්ගලයෙක් සිටිනවා නම් මට ඒ සඳහත් උදව් වෙන්න පුළුවන්. දැනට මම සුනඛයන් 100 ක් විතර වෙනත් අයට ආනයනය කරලා තිබෙනවා.
විදේශයන්හි රෝගීන් බලා ගැනීම වැනි කටයුතු වෙනුවෙන් සුනඛයින් පුරුදු පුහුණු කරනවා. අපේ රටේ ඒ අන්දමින් වැඩ කටයුතු සම්පාදනය වුණොත්?
ආරක්ෂක කටයුතුවලට නිල සුනඛයින් පුහුණු කිරීම වගේම ආනයනය කරන සුනඛයින් සමාජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පුහුණු කිරීමට අපට හැකියාව තිබෙනවා. හොඳින් පුහුණු කරන ලද සුනඛයින් මත් ද්‍රව්‍ය ඇල්ලීම, රෝගීන් බලා ගැනීම වැනි කටයුතු වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. නමුත් අපේ රටේ ඒ ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැහැ.
සුනඛ සංදර්ශන වෙනුවෙන් යොදා ගැනීමත් මම අනුමත කරන්නේ නැහැ ඒ විදිහට සංදර්ශන වෙනුවෙන් යොදා ගත හැකි සුනඛයින් සිටියත් මම සුනඛ සංදර්ශන වෙනුවෙන් යොමු වෙන්නේ නැහැ. නමුත් හොඳින් පුහුණු කරන ලද සුනඛයින් යොදා ගෙන සමාජයේ බොහෝ කටයුතුවලට යොදා ගැනීමට පුළුවන්. මෙම සුනඛයින් පුහුණු කිරීම අපේ රටේම සිදු කරන්නත් හැකියාව තිබෙනවා. ඒ නිසා සුනඛයින් පුහුණු කිරීම අපේ රටේ සිදු වුණොත් ඩොලර් ඉතිරි කර ගැනීමටත් පුළුවන්.
ඔබ ඇති කරන සුනඛයින් අතර දරුණු වර්ගයේ ප්‍රභේද සිටිනවාද?
නැහැ මගේ ළඟ සිටින සුනඛයින් හරිම සුරතල්. ඒ වගේම හීලෑයි. ඔවුන් හැම දෙනෙක්ම යම් අන්දමකින් සුවිශේෂියි. කොටින්ම කිව්වොත් ඇවිදින, වාඩිවෙන ඉරියව්වල පවා විශේෂිත බවක් තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා