සති දෙකක් තිස්සේ කොන්දෙ අමාරුව ගැන අපි ලියනවා. තාම අවසානයක් දකින්න බැරි වුණා. වෙද මහත්තයා කියන්නෙ ලෙඩ හදා ගන්නවා වාගෙ ලේසි නැහැ සනීප කර ගන්න එක කියල. ඒ කතාව නම් සහතික ඇත්ත. බොහොමයක් දෙනා ලෙඩ වෙන්නෙ දැන දැනම. මෙහෙම කළොත් මෙහෙම කෑවොත් බිව්වොත් ව්‍යායාමයක් නොකර හිටියොත් ලෙඩවෙන බව ඒ අය හොඳටම දන්නවා. ඒත් ඉතින් ඒවායින් වැළකෙන්න, පාලනය කරගන්න කිසිම උත්සාහයක් ගන්නේ නැහැ.
කාලය ගතවෙන්නේ අසුරු සැණින්. හොරිවිල ගිහින් ඇවිත් මේ සතියට මාසයක්. එළඹෙන සති අන්තයේදී ආයෙමත් යන්න වෙනවා. හොඳයි එහෙම නම් තවදුරටත් ‘කොන්දේ අමාරුව’ ගැනම කතා කරලා බලමු. පසුගිය සතියේ කතා කළේ මැදි වයසට එළැඹෙමින් සිටින කාන්තාවන්ට බලපාන සංකූලතා සහ තුනටියේ අමාරුව ගැන.
වෙද මහත්තයා පසුගිය සති දෙකේම කතා කළේ කොන්දෙ අමාරුව සහ එය ඇතිවීමට හේතු. මේ ගැන තවත් කිවයුතු දේ තියෙනවද?
ආයෙ තියෙනවද කියලත් අහනවා. සයිටිකා ස්නායුවට පීඩාවක් වුණාම කොන්දෙ අමාරුව එක්කම පාදයේ කලවයට යටින් පහතට විහිදෙන කැක්කුමක් එනවා. ඒක නොසලකා හැරීමෙන් ඇවිදීමේදී බරපතළ අපහසුතා ඇති වෙනවා.
කොන්දෙ අමාරුව එක්ක මුත්‍රා පිට කිරීමේ අපහසුතාවක් ගැන සමහර රෝගීන් මැසිවිලි නගනවා. මේ දෙකේ සම්බන්ධයක් තියෙනවද?
ඒක විධිමත් පරීක්ෂාවට ලක්විය යුතු කාරණයක්. මොකද කිව්වොත් ඒක වකුගඩු ආශ්‍රිත හෝ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත බරපතළ රෝගයක පෙරනිමිත්තක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. කොන්දෙ අමාරුව එක්ක මුත්‍රා පිටකිරීමේ අපහසුතාව වේදනාව, පාලනයකින් තොරව මුත්‍රා බැහැර වීම, පාදයක ඇතිවෙන පණ නැති ස්වභාවය නම් මොහොතක් පවා නොවී ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්.
තියෙන්නෙ කොන්දෙ කැක්කුම විතරක් නම්?
ඒක කශේරුකා පද්ධතියේ, උකුල ආශ්‍රිතව පේශිවල ආබාධිත තත්ත්වයක් වෙන්නත් පුළුවන්. මොන දේ වුණත් හොඳ වෛද්‍යාචාර්යවරයෙක් හමුවීම ඉතා වැදගත්. මොකද කිව්වොත් කොඳුඇට පෙළ කියන්නේ ශරීරයේ තියෙන සුවිශේෂීම අස්ථි පද්ධතිය නිසා එයට හානි වුණොත් ඉතින් සදාකාලිකව ඇඳේ තමයි.
බටහිර වෙදකමේ නම් විවිධාකාර විද්‍යානුකූල පරීක්ෂණ තියෙනවා. ඔබ කොහොමද මේ අඩුව සපුරා ගන්නෙ?
කවුද කියන්නේ හෙළ වෙදකමේ, ආයුර්වේදයේ පරීක්ෂණ නැහැ කියලා. නාඩි පරීක්ෂාව තමයි ලෝකයේ ඉපැරණිම, විද්‍යානුකූල රෝග පරීක්ෂණ ක්‍රමවේදය. නාඩි ශාස්ත්‍රය මනා ලෙස ප්‍රගුණ කරපු කෙනෙකුට රෝග නිර්ණය කිරීම මහ දෙයක් නෙවෙයි. ඒ සමගම රෝගියා වෙතින් ප්‍රකට වෙන බාහිර ලක්ෂණ වගේම කතාබහ තුළින් සංසන්දනාත්මක විග්‍රහයක යෙදෙන්න පුළුවන්.
සමහරු කියනවනෙ නිදාගෙන ඉද්දිත් කොන්දෙ කැක්කුම හැදිලා ඇහැරෙනවා කියල. කොහොමද එහෙම වෙන්නෙ?
කොන්දෙ අමාරුවෙන් පීඩා විඳින කෙනෙකුට බොහෝ වෙලාවට කොන්දෙ කැක්කුම එන්නෙ සැප මෙට්ට භාවිතය වගේම වළ ගැහුණු, තැනින් තැන තද වුණු පරණ මෙට්ටවල නිදාගැනීම නිසයි. කොන්දෙ අමාරුව නැති කෙනෙකුට නම් නින්දේදිම නුහුරු ඉරියව්වකට ගිහින් සෑහෙන වෙලාවක් ගියාම අමාරුවක් එන්න පුළුවන්. අනවශ්‍ය විදිහට මාංශ පේශි නැවීමෙන් පීඩාවට පත්වුණාම තමයි එහෙම වෙන්නෙ. රෝගී නිරෝගී හැමෝම අර කිව්ව විදිහෙ මෙට්ට භාවිතයෙන් ඈත් වෙනව නම් හොඳයි.
කශේරුකාවේ ආබාධ නිසා ඇති වෙන්නෙ කොන්දෙ අමාරුව විතරක්ද?
අපොයි නැහැ. ස්පොන්ඩිලෝසිස්, ස්කොලියෝසිස්, ගෝල්ෆ් එල්බෝ, ටෙනිස් එල්බෝ, කාපල් මනල් සින්ඩ්‍රෝම් වගේ ආබාධ ගණනාවකට කොඳුඇට පෙළේ විවිධ ස්ථාන පීඩාවට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි සකල සන්ධි රෝගයටත් මෙය හේතු වෙන අවස්ථා තියෙනවා. ශරීරයේ, අබෝකායන් අතර සම්බන්ධය ඇති කරන එකම අස්ථි පද්ධතිය කශේරුකාවනෙ. විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ අස්ථි පෙළ ඉතාම දුර්වලයි. මාංශ පේශිවල ශක්තිමත් භාවය කොඳු ඇට පෙළට ඉතාම අශුභයි. කෙසඟ ශරීර තියෙන අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ කොඳුඇට පෙළ ගැන. ඒ අයගේ මාංශ පේශි තුනී නිසා කොඳුඇට පෙළ පිටතට නෙරා ආ ස්වභාවය තියෙනවා. ඒක කොඳුඇට පෙළට හානි වීමේ සෘජු අවදානමක් සහිත තත්ත්වයක්. වියපත් අය විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
ඇයි ඔබතුමා ‘විශේෂයෙන්’ කියන විශේෂණ පදය පාවිච්චි කළේ?
වයසක උදවියගෙන් බොහොමයක් දෙනා කායිකව වගේම මානසිකත්වත් දුර්වලයි. මොන විදිහෙ ආබාධයක් වුණත් සුවවීම ඉතාම ප්‍රමාදයි. සමහර අවස්ථාවලදී සුව නොවෙන තරම්. වයසක අය තරබාරු වීම වගේම කෙට්ටු වීමත් පාලනය කරගෙන මධ්‍යස්ථ ශරීරයක් පවත්වා ගන්න ඕනෙ. ඒ සඳහා වයසට ගැළපෙන ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. මානසික නිරවුල් භාවය පවත්වා ගන්න භාවනා යෝග අභ්‍යාස එහෙම ගොඩක් හොඳයි.
පාන්දර මිදුල අතුගාන එක හොඳ භාවනාවක් කියල අපේ කිරි අම්මා ඒ දවස්වල කියනවා
හරියට හරි. ඒ කාලෙ ගේ වටේටම ලොකු මිදුලක් තිබුණා හැම ගෙදරකම වගේ. ඒක සුදුවැලි සහිත බොහොම ලස්සන එකක්. ඒ කාලෙ අම්මල අක්කල ඉර නඟින්නත් කලින් අවදි වෙලා පොල් අත්තේ රටාවට මිදුළ අතු ගානවා. වෙන දේවල් හිත හිතා ඒක කරන්න බැහැ. මේ වෙලාවෙ වාතයේ තියෙන්නෙත් ඉතාම පිරිසිදු ඔක්සිජන්. වැඩක් කරන නිසා ගැඹුරු හුස්ම ගැනෙනවා නිරායසයෙන්. පිරිසිදු ජලය පානය කරන, පිරිසිදු වාතය ගැඹුරින් ආශ්වාස කරමින් හෙමිහිට පිට කරන අය රෝගීවීම අවමයි.
ආචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ
දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර