කාලයක් තිස්සෙ හාවෙක් ඉත්තෑවෙක්ට ආදරේ කරල පස්සෙ ඒ හාව කිව්වලු ආදරේ හරිම වේදනාකාරියි කියල. ඒ මොකද ඉත්තෑවගෙ කටු හාවගෙ ඇඟේ ඇනෙන නිසා. හාවා සහ ඉත්තෑවා කියන්නෙ කුල දෙකක වෙනමම ශරීර ස්වභාවයන් තියෙන සත්තු දෙන්නෙක්. දෙන්නම ඉත්තෑවො වුණානම් දෙන්නම හාවො වුණානම් ප්‍රශ්නයක් නෑ.
සමහර තාවකාලික සම්බන්ධතා තියෙනවා දෙන්නම ඒ ගැන දැනුවත්ව පටන්ගන්න. එතන තියෙන්නේ රාගයක් සහ ආකර්ෂණයක් විතරයි. නමුත් එහෙම තාවකාලික සම්බන්ධතා වලත් “නෑ මම මේකෙන් Commitment එකක් බලාපොරොත්තු වෙනවා, මේක මම විවාහයක් දක්වා අරන් යන්න ඕනේ” කියලා හාවෙක්ගේ මෝඩ් එකෙන් සම්බන්ධය පටන් ගන්න අයත් ඉන්නවා.
ඒ පුද්ගලයා තුළ තියෙන්නේ අහිංසක පරමාර්ථයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ඉත්තෑවාගේ පරමාර්ථයෙන් එන අයත් ඉන්නවා. මං ඒකයි මුලදී කිව්වේ ඉත්තෑවටයි හාවටයි එකට ආදරේ කරන්න බෑ කියලා. වේදනාකාරී අවසානයකිනුයි ඒ සම්බන්ධය ඉවර වෙන්නෙ. එහෙම පෞරුෂත්ව නොගැළපීමක් තිබ්බොත් තමයි සියදිවි නසා ගැනීම් සිදු වෙන්නේ. හොඳම උදාහරණය පසුගිය දවසක පෙම්වතා මුණ ගැහෙන්න එන්න පරක්කු වුණා කියල කොච්චියට පැනපු ගෑනු ළමයා. එයා එතනදි අපේක්ෂා කරල තියෙන්නේ ආදරේ.
ආදරයට න්‍යායක් තියෙනවා. සමහර ආදර කතාවල ප්රමුඛ ලක්ෂණ තුනක් තියෙනවා. කැපවීම, ආකර්ෂණය, කැමැත්ත. මේ තුනම තිබ්බොත් තමයි එතන බැලන්ස් ආදරයක් ඇතිවෙන්නෙ. ඒ වගේම ගොඩක් පුද්ගලයන්ට භාවාත්මක බුද්ධියක් නෑ. ඒ දේ නැතුව ආදර සම්බන්ධයක් පටන්ගන්නවා කියන්නෙම සෙල්ලමක්. එතකොට සෙල්ලම ලෙල්ලම වෙන්න තියෙන අවස්ථාවත් වැඩියි.
තමන්ගෙ පරමාර්ථය බොහෝ වෙලාවට අනිත් කෙනාව සතුටු කරන එක නෙවේ. එයා හරහා තමන් සතුටු වෙන එක. නමුත් එයාව තේරුම් අරන් එයාව සතුටු කළොත් ඒකෙන් තමන්ටත් සතුටක් එනවා කියන දේ තේරුම් ගන්නේ නෑ. අපි උත්සාහ කරන්නෙම තමන්ගේ අවශ්‍යතාවයන් අනෙක් කෙනා හරහා සන්තර්පණය කරගන්න. ඒ වෙලාවට අනිත් කෙනාගේ මානසිකත්වය කොහොමත්ම අදාළ නෑ. මේ දේ කළොත් මගේ කූරු හාවගේ ඇඟේ ඇනෙනවා නේද කියන දේ හිතන්නේ නෑ. ලෝකෙ මම හිතන්නේ මෙහෙම දේවල් වැඩියෙන්ම දකින්න ලැබෙන රටක් තමයි ලංකාව.
ඔය අතරේ සමහර කපල්ස් Short Term සම්බන්ධයක් ගොඩනගා ගත්තත් දෙන්නම ඒක අවබෝධයෙන් ලිමිට් එකක් ඇතුව කරනවා. එතකොට අනිත් අය ඒ දෙන්නා ගැන මොනව හිතුවත් කමක් නෑ කියලා ඒ දෙන්නට ජීවිතේ විඳින්න පුළුවන්. ෂෝට් ටර්ම් රිලේෂන්ෂිප් එකක් වුණත් අනිත් කෙනාගේ මානසික මට්ටම අඳුරගන්නෙ නැතුව සාමාන්‍ය විදිහට හරි සම්බන්ධයක් පටන්ගන්න එක හරිම භයානකයි.
මොකද Short Term Relationship එකක් ඇතුළේ වුණත් මාරම විදිහට කඩාවැටීමක් වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධයක් පටන්ගෙන මාස දෙකෙන් තුනෙන් සියදිවි නසාගත්තු අය මම දැකල තියෙනවා. ඒ කියන්නෙ Short Term වුණත් අනිත් කෙනාගෙන් ලොකු දෙයක් විරුද්ධ පාර්ශ්වය බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ අනිත් කෙනා මේක පටන්ගත්තෙ ඉත්තෑවා Mode එකෙන් වෙන්න පුළුවන්. ඒ නිසා Short Term හෝ Long Term කුමනාකාරයේ සම්බන්ධයක් පටන්ගත්තත් දෙන්නා දෙන්නගේ හැඟීම් හරියට අවබෝධ කරගෙන ඒ දේ පටන්ගැනීම ඉතාම වැදගත්.
මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා