තම පියාගේ වියෝවත් සමඟ කිසිදු දැනුමක් නොතිබුණත් ඔහු සතු ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්නට ඇය ඉදිරිපත් වෙනවා. එදා තම පියාගෙන් උගත් දන්දීමේ – පරිත්‍යාග කිරීමේ ගුණයට අනුව යමින් ව්‍යාපාර කටයුතු වල නිරතවන අතර පින් දහම්වල ආනිශංස අත්විඳිමින් යන ගමන්මග තමන්ට මහත් ආශිර්වාදයක් බව පවසන මිහිරි ද සිල්වා නමැති ඇය සැබැවින්ම පුන්යවන්තියක්…
මෙම කර්ට්න් වර්ගය පිළිබඳව පුංචි හැඳින්වීමක් කළොත්…
මේ වර්ගය හඳුන්වන්නෙ පීවීසී ස්ටි්රප් කර්ට්න් කියල. බොහෝදුරට මේක පාවිච්චි වෙන්නෙ Industrial කර්ට්න් එකක් විදියට. poduction ප්ලාන්ට් එහෙමත් නැත්නම් විවිධ factory වලට තමයි මේවායේ ආවරණය වැඩි වශයෙන් අවශ්‍ය වෙන්නෙ.
මොකක්ද ඒ විශේෂත්වය?
නිතර දොරවල් වසා තබන්නට නොහැකි සුපිරි වෙළඳසැල් ඇඟලුම් කම්හල් සහ විවිධ කාර්යාල පවත්වාගෙන යන විශාල ගොඩනැගිලි තුළ භාවිත වන වායුසමීකරණ යන්ත්‍රවලින් නිකුත්වන සීතල පිටතට නිරාවරණය වීම මේ මගින් බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්.
ඊට අමතරව ආහාර වර්ග නිපදවන ඒවා ඇසුරුම් කරන ආයතන තුළට මැස්සන්ගේ මෙන්ම විවිධ කෘමි සතුන් පැමිණීම වළක්වා ගන්නත් ගොඩනැගිලි තුළට කූඩු සෑදීම සඳහා එන පරවියන් ඇතුළු වෙනත් කුරුලු වර්ග ඒ තුළට පැමිණීම වළක්වා ගන්නට හැකි වීමත් විශේෂ වාසියක්.
ඔබ මෙවැනි ව්‍යාපාරයක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?
නැහැ ඒක අහම්බයක්. මගේ පියා සෑම් සිල්වා තමයි ලංකාවේ රෝලන්ඩ්ස් ආයතනයට පස්සෙ මුලින්ම ඇලුමිනියම් දොර ජනෙල් හැදුවෙ. පසුකාලීනව ඒ ක්ෂේත්රය බොහෝ දෙනා තම තමන්ගෙ ව්‍යාපාර බවට පත්කර ගැනීමත් සමග තාත්තා ඉන් ඉවත් වෙලා පීවීසී ස්ටි්රප් කර්ට්න් රෝල් දෙකකින් තමයි හර්කියුලිස් ගේට්ස් අන්ඩ් ශටර්ස් නමින් මේ ව්‍යාපාරය පටන් ගත්තේ.
එදා ඒ සඳහා තිබූ ඉල්ලුම?
මුල් කාලෙ තාත්ත මේ ව්‍යාපාරය පටන් ගත්තෙ තේ කොළ කර්මාන්තශාලා අරමුණු කරගෙන. එවැනි තැන්වලට මේ කර්ට්න් එක හඳුන්වලා දෙන්න ගාල්ල, මාතර, දෙනියාය වගේම නුවරඑළිය පැත්තෙ තේ කර්මාන්තශාලා වලට ගිහින් ප්‍රදර්ශන පවත්වමින් දැනුවත් කිරීම් සිදුකළා.
ඒ හරහා ලොකු ප්‍රතිචාරයක් වගේම ඇනවුමක් ලැබුණා. මොකද තේ දලු වල සුවඳට එන විවිධ කෘමින්ගෙන් තේ කම්හල් වලට විශාල වශයෙන් බාධා පැමිණෙනවා. ඒක වළක්වා ගන්න මේ කර්ට්න් එක ලොකු පිටිවහලක් වුණා
අද එහි හිමිකාරිය ඔබ…
2006 අවුරුදෙ තාත්ත ජීවිතෙන් සමුගත්තා. නංගියි මමයි විතරයි ලංකාවෙ ඉන්නෙ. අක්කයි අයියල දෙන්නයි පදිංචි පිටරට. මගේ ගේ තියෙන්නෙ මහගෙදර ළඟම නිසා මම තාත්තට බොහොම කිට්ටුයි. එතෙන්දි අයියල දෙන්න මගෙන් අහුව ඔයාට මේක ඉදිරියටත් කරගෙන යන්න පුළුවන්ද බලන්න කියල. ඒ කාලෙත් ලොකු කස්ටමර් බේස් එකක් හිටියා.
අනික තාත්තගෙ සේවක පිරිස. ඒ හැමදේම හිතල මම ව්‍යාපාරය අතට ගත්තත් කිසිම පැත්තකින් මේ ගැන දැනුමක් තිබුණෙ නෑ. ඒත් අපිට හිටපු සේවකයො මේ ගැන A to Z දන්නවා. ඔවුන් හරහා දනුවත් වෙමින් ස්වයං අධ්‍යයනයක යෙදෙමින් තමයි මම මේක කරන්න පටන් ගත්තෙ. මුල් කාලෙ ඉඳල ඉන්න සේවකයෙක් අදටත් අපි ළඟ වැඩ කරනවා.
අද අපි ජීවත්වෙන්නෙ පොලිතින් ප්ලාස්ටික් වලින් ඈත්විය යුතු පසුබිමක. දිගින් දිගටම මෙවැනි දේ ආනයනය තුළින් පරිසර හානියක් සිදුවෙනවා නේද?
යම්තාක් දුරට එවැනි දෙයක් සිදුවෙන්න පුළුවන්. ඒත් මේ ප්ලාස්ටික් ශීට් වල සාමාන්‍ය ප්ලාස්ටික් වලට වඩා ඉක්මණින් දිරාපත් වන ගතියක් පැහැදිලිවම පේන්න තියෙනවා. පාවිච්චියෙන් ඉවත් කළ පසු පුළුස්සා දැමීමට හැකියාව පවතිනවා. එහෙම වුණත් බොහෝ ආයතන වලට නැතුවම බැරි කර්ට්න් වර්ගයක් තමයි මේක. විශේෂයෙන්ම ආහාර වර්ග අපනයනය කරන කර්මාන්තශාලා වලට.
කොහොමද මේ සේවය සිද්ධ වෙන්නෙ?
අපි මේවා ගෙන්වන්නෙ චීනයෙන්. ඒත් මේ පීවීසී ස්ටි්රප් කර්ට්න් එක සකස් වෙන්නෙ ප්‍රංශයේ එක්ස්ට්‍රා ෆ්ලෙක්ස් ආයතනයේ ප්‍රමිතීන්ට අනුවයි. ඇණවුමක් ලැබුණට පස්සෙ අපේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීගේ අනුදැනුම යටතේ අවශ්‍ය කටයුතු සිදුකරනවා.
ලොකුවට මහන්සි වෙලා කරන්න දෙයක් නැති වුණත් අදාළ තැනට ගිහින් මිමි අරගෙන කල්පනාකාරීව සියුම් ලෙස මොළය වෙහෙසවා කළයුතු විශාල කාර්යයක් මේ තුළ තියෙනවා. පළපුරුදුකම් සමග ඒ අයගෙන් මේ වැඩ වලට හොද සහයෝගයක් ලැබෙනවා.
ලැබෙන ඇණවුම් වල ප්‍රමාණයට සාපේක්ෂව ඔබ මෙම කර්ට්න් පරිත්යාගශීලිනියක් වශයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා…
මම බෞද්ධ කෙනෙක්.පරිත්‍යාගය වගේම දන් දෙන්න මගේ හිතේ තියෙන්නෙ විශාල කැමැත්තක්. දන්දීමේ ආනිශංස මම බොහොම හොඳින් අත්විඳින කෙනෙක්. අපි උපයන දෙයින් යම් ප්‍රමාණයක් දනට පිනට දෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නෙ.
ඒ ආරම්භයේ මතකයන් අතරට ගියොත්
ඒක වෙන්නෙ මෙහෙමයි. මගේ දුව ලැබිල මාස කීපයකින් අපි එයාව අරගෙන බෙල්ලන්විල රජමහ විහාරයට ගියා. බුදු මැඳුරට මල් පුජා කරල අපි වඳිනකම් දුවව බුදු මැඳුරේ බිම කොට් ශීට් එකක තියලයි හිටියෙ. විනාඩි දෙකක් ගත වුණේ නෑ දුව අසලට කුරුල්ලෙක්ගෙ මළපහ වැටුණා. උඩ බලද්දි බුදු මැඳුරේ වහළය පුරාම විශාල වශයෙන් පරවි රංචු ජීවත් වෙනවා. අන්න එදා තමයි මගේ තාත්ත කිව්වෙ මේ සත්තු පව් අහිංසකයි. උන්ට යන්න එන්න තැනක් නැති කමට ආරක්ෂාවයි හොයාගෙන එනවා.
ඒත් මේ ගැවසීම වඳින්න එන බැතිමතුන්ට හිරිහැරයක් නිසා අපි මේ ගැන නායක හාමුදුරුවො එක්ක කතාබහ කරල පරවියො එන එක වළක්වන්න බුදු මැඳුරට කර්ටන් එකක් පූජා කරමු කියල එදා තාත්තගෙ යෝජනාව බොහොම සතුටින් බාර ගත්තු නායක හාමුදුරුවෝ ඒ සඳහා අවසරය ලබා දුන්නා. ඒ විදිහට තමයි ආගමික ස්ථානයකට මුලින්ම අපේ කර්ට්න් එකක් පූජා කෙරුනෙ. හරියටම ඊට අවුරුදු දෙකකට පස්සෙ ඒ කර්ටන් එක කිළුටු වෙලා ඒක මාරු කරගන්න බෙල්ලන්විල පන්සලෙන් අපට කතා කළා.
ඒ වෙද්දි මගේ තාත්ත ජීවතුන් අතර හිටියෙ නෑ. ඒත් මම ගිහින් හොයල බලල ඒ කටයුත්ත සිදුකළා. දැන් හැම අවුරුදු දෙකකටම සැරයක් අපිම හිතල නොමිලේ කර්ට්න් මාරු කරල දෙනවා. ඔය අතරෙ දවසක් අපි සෝමාවතිය චෛත්‍යය වන්දනා කරන්න ගිය වෙලාවක එහි නායක හාමුදුරුවන් එක්ක කතාබහ කරන්න අවස්ථාව ලැබුණා.
උන්වහන්සේ මගෙන් ඇහුවා මොකක්ද කරන රස්සාව කියල. මම කර්ට්න් ව්‍යාපාරය ගැන කියපු ගමන් උන්වහන්සේ කිව්වා මටත් ඔය අවශ්‍යතාවය දැඩි ලෙස තියෙනවා බුදුගේ පුරා කුරුලු කූඩු හදනවා අපිරිසිදු කරනවා ඒ දේවල් නතර කරගන්න ඕන කියලා. ඒ අනුව අපි ගිහින් සෝමාවතී රජමහා විහාරයටත් කර්ටන් එකක් හදල පූජා කළා.
දවසක් බියගම පැත්තෙ මුස්ලිම් පල්ලියකින් කෝල් එකක් ආවා පල්ලියේ A/C එක එළියට නොයා තියාගන්න කර්ට්න් එකක් මිලදී ගන්න ඕන කියලා. ඒ අයත් එක්ක කතාබහ කරල ආගමික ස්ථානයක් නිසා පරිත්‍යාගයක් ලෙස ඒක ලබාදෙන්න මම තීරණය කළා.
බොහොම මෑතක කොළඹ ගංගාරාම විහාරයටත් කපුටන්ගෙන් කුරුල්ලන්ගෙන් සිද්ධවෙන කරදර වලින් මිදෙන්න මේ කර්ට්න් එකක් ඕන වෙලා ඒ ගැන මට කිව්වා. මම ඒ පින් කටයුත්තත් සිදුකළා. ඉදිරියේදිත් සියලුම ආගමික ස්ථාන වලින් ලැබෙන ඇණවුම් හොයල බලල අවශ්‍යතාවයට අනුව පිං පිණිස කර්ට්න් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
ධම්මික හේවාවසම් ✍️