අවුරුදු කිහිපයක ඉදලා සයිටිකා තත්වය නිසා ප්‍රතිකාරවලට එන රෝගීන්ගේ වැඩිවීමක්
අතීතයේ විදේශිකයෝ මහ ඉහළින් ලංකාව වර්ණනා කළා.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය,
පෙරදිග ධාන්‍යාගාරය,
ආදම්ගේ පාරාදීසය
ඔන්න ඔය වගේ නම්වලින්. ලෝකයේ ලේඛිකාවන් අතර හිණි පෙත්තේ වැජඹෙන බාබරා කාට්ලන්ඩ්ගේ ‘මූන් ඕවර් ද පැරඩයිස්’ (පාරදීසයට සඳ පායයි) කෘතියේ කතාවට පාදක වී තිබෙන්නේ ලංකාව. මේ විදිහට පිටු ගණනක් ලියන්න පුළුවන්. අද මොකද වෙලා තියෙන්නේ? අද ඉතිරිවෙලා තියෙන්නේ අතීතකාමය විතරයි. කොහොම වුණත් වර්තමානයේ අපේම දේවල් අතරින් අභිමානයෙන් කතා කරන්න ඉතිරිවෙලා තියෙන දේවල් අතරින් එකක් තමයි දේශීය වෙදකම.
ඒකට වින කටින්නන් බොහෝ දෙනා පිඹුරුපත් සකසමින් ඉන්නවා. කොහොම වුණත් අපේ දේ අපි රැකගත යුතුයි. හෙළ වෙදකමේ වගේම ආයුර්වේදයේ වටිනාකම. ගැඹුර අවබෝධ කර ගන්න පුංචි කතාවක් කියන්නම්. එක වෙද මහත්තයෙක්ගේ සම්මුඛ පරීක්‍ෂණයකදී ඇහැව්වාලු ඔබ රෝග කොපමණ සංඛ්‍යාවකට ප්‍රතිකාර කර තිබෙනවාද කියා…
‘ රෝග තුනයි. ’වෙද මහත්තයාගේ පිළිතුරට පරීක්‍ෂණ මණ්ඩලේ ඇත්තො තක්කු මුක්කු වුණාලු. මොන රෝග තුනකට ඒ වගේ අවම සුදුසු කමක් තියන කෙනාද මේ තනතුරට ඉල්ලුම් කළේ කියලා. කමක් නැහැ කියමුකො බලන්න ඒ රෝග තුන මොනවාද කියලා. ‘වාත , පිත , කම්’ මම ප්‍රතිකාර කර තිබෙන රෝග සිය ගණනකට මුල තමයි ඔය කොටස් තුන දෝෂ සහිතවීම. රෝගීන් ප්‍රමාණය ගත්තොත් රෝගීන් දහස් ගණනක් සුවපත් කරලා ඇති. ඔන්න ඔහොම තමයි අපේ වෙද ඇත්තන්ගේ වැඩ. ඔය වගේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ ගුණ වරුණ ජාත්‍යන්තර තලයට ගෙන ගිය උදවිය අතළොස්සෙන් කෙනෙක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ හොරිවිල මහ වෙද ගෙදර සාන්ත සෙනෙවිරත්න වෛද්‍යචාර්යතුමා.
ඉතින් වෙද මහත්තයා, මේ සතියේ මොන ආබාධය ගැනද කතා කරන්නේ?
අපි අද කතා කරමු සයිටිකා ස්නායුව පීඩාවට පත්වීමෙන් ඇතිවෙන ආබාධ තත්ත්වය ගැන.
මේකෙන් ශරීරයේ මොන අංශයද පීඩාවට පත් වෙන්නේ
දැන් අවුරුදු කීපයක ඉඳලා සයිටිකා තත්ත්වය නිසා ප්‍රතිකාරවලට එන රෝගීන්ගේ වැඩිවීමක් දකින්නට තියෙනවා. එක තැනක් කියලා නැහැ. කොන්ද, දෙපා, තුනටිය වගේම යටි බඩ හරියේ වේදනාවත් ප්‍රධානවම අත්විඳින්න ලැබෙනවා. බිම හෝ පහත් අසුනකට වාඩිවෙලා වැඩ කිරීමේ අපහසුව, දිගු වෙලාවක් වාඩි වෙලා ඉන්න බැරිකම වගේ අමාරුකම් තමයි වැඩිපුරම තියෙන්නේ.
ඔය කියපු විදිහේ රෝග ලක්‍ෂණ වකුගඩු රෝගයේදීත් ඇති වෙනවා නේද?
හරියට හරි, සමහරුන්ට වකුගඩු පරීක්‍ෂණ නිර්දේශ ලැබුණු අවස්ථා තියෙනවා. නමුත් පරීක්‍ෂණ කළාම එහෙම දෙයක් නැහැ. එහෙම අනුමානයට පරීක්‍ෂණ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. රෝග ලක්‍ෂණ, රෝගියා සමග කතා කිරීම මගින් තීරණය කරන්න පුළුවන් රෝගය මොකක්ද කියලා.
සයිටිකා කියන්නේ හෙළ වෙදකමේ හැඳින්වීමක්ද?
නැහැ ඒක බටහිර වෙදකමේ හැඳින්වීම. ආයුර්වේදයේ මේක හඳුන්වන්නේ තෘඩ්‍රයි නාඩිය කියලා. උච්චාරණයේ පහසුව නිසා අලුත් සයිටිකා කියන නම භාවිත කරනවා. සමාජයත් දැන් බටහිරකරණය වෙලානේ. ගමේ ගොඩේ රෝගියෙක් වුණත් ‘තෘඩ්‍රයි නාඩිය’ කිව්වාම උඩ බිම බලනවා. සයිටිකා කිව්වාම දොස්තර මහත්තයා කිව්වෙත් ඕකම තමයි කියනවා.
බටහිර ප්‍රතිකාර ගන්න රෝගීන් දේශීය ප්‍රතිකාරත් ගන්නවාද?
මෙහෙමනේ අපේ මහත්තයා. මට වුණත් බටහිර ප්‍රතිකාර නැතිව බැරි අවස්ථා තියෙනවා. ඒකත් ලෝකයම පිළිගත්තු වෙදකමනේ. විශේෂයෙන්ම තාක්‍ෂණික දියුණුව ඉදිරියෙන්ම තිබෙනවා. දේශීය වෙද මහත්තුරුන්ටත් එවැනි මට්ටමකට එන්න රජයේ අනුග්‍රහය ලබා දෙන්න ඕනේ. රෝග පරීක්‍ෂණය ප්‍රව්‍ය ගුණ විඤ්ඤාණය අතින් දේශීය වෛද්‍යවරු දෙවැනි වන්නේ නැහැ.
සයිටිකා ස්නායුවේ රෝගී බව මුලින්ම රෝගියාට දැනෙන්නේ කොහොමද?
මුලින්ම කොඳු ඇට පෙළ පහළ කෙළවරේ ඉඳලා කලවා වල මාංශ පේශීවලට යටින් පාදය දිගේ ඇදෙන තරමක වේදනාවත් එක්ක හිරිවැටීමක් ඇති වෙනවා.
පාද දෙකටම මෙම තත්ත්වය බලපානවාද?
බොහෝ වෙලාවට එක පැත්තකට විතරයි. කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තොත් වෙනත් තත්ත්ව ටිකක් මම හඳුනාගෙන තියෙනවා.
- සිසේරියන් කළ කාන්තාවන්
- උපත් පාලන ඖෂධ දිගු කාලීනව භාවිතය
- ශ්‍රේණි කලාපයේ සංකූලතා
- අධික තරබාරුව
පොදුවේ ගත්තාම කෙණ්ඩා පෙරළීම (නිතර සිදුවෙන) කොඳු ඇට පෙළේ ඇලවීම්, ඒවායේ අස්ථි දිරාපත් වීම, මළ මුත්‍ර බැහැර නොකර දරාගෙන සිටීම, අධික බර ඔසවන රැකියාවල නිරත වීම, කල්ගත වූ අර්ශස් රෝගය වගේ විවිධ හේතු නිසා සයිටිකා ස්නායුව වීඩාවට පත් වෙනවා. මට කියන්න අමතක වුණා. කාන්තාවන් අඩි උස පාවහන් පැළඳීමත් මෙයට ප්‍රධාන හේතුවක්. ගර්භණීභාවය හේතුවෙන් කශේරුකාවට ඇති කරන වීඩාවත් සයිටිකා රෝගයට හේතු වෙන අවස්ථා තියෙනවා
නොසලකා හැරීමේ අවසානය මොකක්ද?
අඩි දහයක් ඇවිද ගන්න බැරුව එකකුත් වෙන්න සිද්ධවීම තමයි ඉතින්. වෙන මොනවද? හෙද වෙදකමේ සාර්ථක ප්‍රතිකාර තියෙද්දී ඇයි එහෙම අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙන්නේ.
වෛද්‍යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර