මෙලොව උපන් ඕනෑම සත්ත්වයකුට මවුකිරි මෙන්ම මවගේ උණුසුම ලොව ඇති උතුම්ම දායාදයක් බව සැබෑවකි.එකී දායාදය සත්ත්වයකුට හිමිවෙන්නේ වාසනාවට බව අප පිළිගන්නේ නම් යම් හෙයකින් ඒ දායාදය අහිමි වන සත්ත්වයෝ අවාසනාවන්තයන් ලෙස හැඳින්වීමටද අපට සිදුවනු ඇත.එහෙත් කුමන හේතුවක් නිසා හෝ තමන්ට උරුම වූ අවාසනාවන්ත ගුණයක් වාසනාවන්ත ගුණයක් බවට පත්වන්නේ නම් එවැන්නෝ ‘ඉතා වාසනාවන්ත’ කාණ්ඩයට අයත් වන්නෝය.
මේ දිනවල දෙහිවල සත්වෝද්‍යානය තුළ ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වෙමින් දඟකාරකම් පාන “සිම්බා” නමැති සිංහ පැටවාද එවැනි වාසනාවන්තයෙකි.පසුගිය මාර්තු මාසයේදී රිදියගම සෆාරි උද්‍යානයේ ජීවත්වන මීරා සහ චණ්ඩි දෙමව්පියන් කරමින් මෙලොව එළිය දුටු සිම්බාට කිරිදීම මව මීරා ප්‍රතික්ෂේප කළෙන් වහා දෙහිවල සත්වෝද්‍යානයට ගෙන එනවා. එතැන් පටන් එහි කාර්ය මණ්ඩලයේද පැමිණෙන සුවහසක් ජනතාවගේද ආදරණීය සුරතලා බවට පත්වෙමින් ගෙවන ප්‍රීතිමත් ජීවිතය දැක බලාගන්නට නවලියත් එහි ගියා….
තිලක් ප්‍රේමකාන්ත අධ්‍යක්ෂ ජෙනරාල්…….
මේ සිංහ පැටවුන්ගේ උපත ගැන මට මුලින්ම දැනගන්න ලැබෙන්නෙ රිදියගම සෆාරි උද්‍යානයෙන්. මීරා කියන සිංහ ධේනුවත් චණ්ඩි කියන සිංහයාවත් දෙමව්පියන් කරමින් පහුගිය මාර්තු 17 වෙනිදා පැටවුන් හතර දෙනෙක් ඉපදිලා තිබුණත් මීරා පැටවුන්ට කිරිදීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. එයින් එක් පැටවෙක් රිදිගමදීම මිය ගිහින්. මා ඇතුළු මේ සත්වෝද්‍යානයේ සේවය කරන අපි හැමෝගෙම ප්‍රධාන අරමුණ සතෙක් නිරෝගීව ජීවත් වෙනවා දැකීම සහ ඔවුන්ව ආරක්ෂා කරගැනීමයි.
ඒ චැලෙන්ජ් එක බාර අරගෙන තමයි ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිල හිටපු ඉතිරි සිංහ පැටවුන් තිදෙනා දෙහිවල සත්වෝද්‍යානයට ගෙන්වා ගත්තෙ. එයින් සිම්බා විතරයි අද ජීවතුන් අතර ඉන්නෙ. උද්‍යානයේ සේවය කරන හැමෝගෙම කැපවීමේ ප්‍රතිඵලයක් විදියට අද මේ සිංහ පැටියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් අපේ කාර්ය මණ්ඩලයේ වගේම නරඹන්නන්ගේ ආදරයට ලක්වෙමින් බොහොම සතුටින් ජීවත් වෙනවා.
ඒත් තව වැඩි කාලයක් සිම්බව මේ විදිහට තියාගන්න අපේ බලාපොරොත්තුවක් නෑ. එයාලට පස්සෙ තවත් සිංහ ධේනුවක් ගැහැනු පැටවුන් දෙදෙනෙක් බිහි කරල තියෙනවා. ඒ දෙදෙනා අතරට සිම්බව දාල හුරු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
දිනුශිකා මානවඩු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා…….
මේ පැටවුන් දෙහිවලට ගේන බව අපි දැනුවත් වෙලා හිටියා. ඒ අතරෙ තමයි අධ්‍යක්ෂ ජනරාල් තුමා මගෙන් ඇහුවෙ මේ පැටවා බලාගන්න පුළුවන් නේද කියල. එහෙම වෙලාවට අපි කිසි කෙනෙක් කවදාවත් බැහැ කියන්නේ නෑ. මොකද සත්වෝද්‍යානයේ ඉන්න හැම සතෙකුගෙම පැටියෙක් අපිට අපේ දරුවො වගේ.
මීට කලිනුත් අපි සිංහ පැටව් දහයක් පහළොවක් මේ විදියට ඇතිදැඩි කරල තියෙනවා. අපට හොඳ පැටවුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ වගේම දක්ෂ පශු වෛද්‍ය කණ්ඩායමකුත් කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. ඒ හැමෝගෙම එකමුතුවෙන් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ මේ සිංහ පැටියා යහපත් මට්ටමකට ගේන්න අපට පුළුවන් වුණා.
නිහාල් සෙනරත් අධ්‍යාපන නිලධාරී…..
ප්‍රධාන වශයෙන් මට මේ උද්‍යානය තුළ තුළ පැවරිලා තියෙන්නෙ පැමිණෙන නරඹන්නන්ට මේ සතුන් ගැන කියාදෙන එක. නරඹල සතුටු වෙනව වගේම උද්‍යානය තුළ සිටින සතුන් ගැන උන්ගේ හැසිරීම් රටා ක්‍රියාකාරකම් බෝවීම වගේ බොහෝ දේවල් ඉගෙන ගන්න අය මෙතනට එනවා. ඒ සේවය සපයන අතරෙ 2005 වර්ෂයේ ඉඳල මෙහි අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වගේම ප්‍රදර්ශන සම්බන්ධ කටයුතුත් කරගෙන යනවා.
අද වෙනකොට සිම්බා කියන මේ සුරතල් සිංහ පැටවා දවසට දෙවරක් මහජන ප්‍රදර්ශනයට යොමුකරනවා. ඒ හැම දේකින්ම අපි බලාපොරොත්තු වෙන්නෙ නරඹන්නන්ට යහපත් සේවයක් ලබාදෙමින් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගෙන මේ ස්ථානය ඉහළට ඔසවා තැබීමයි.
ධම්මිකා දසනායක පැටවුන් අංශය භාර පශු වෛද්‍ය නිලධාරිනී……..
ඇත්තටම සිංහ පැටවුන්ට මව කිරිදීම ප්‍රතික්ෂේප කරපු නිසා ඔවුන්ට මවගෙන් ලැබිය යුතුම කොලෙස්ට්‍රම් ප්‍රමාණය රිදියගම සෆාරි උද්‍යානයේ පශුවෛද්‍ය නිලධාරීන් වෙනම ලබ දීල තමයි දෙහිවල සත්වෝද්‍යානයට එව්වෙ. සාමාන්‍යයෙන් මෙවැනි උද්‍යාන වලදී බිහිවෙන පැටවුන්ට අම්මලා කිරිදෙන එක ප්‍රතික්ෂේප කරන අවස්ථා වැඩියි. එලෙස බිහිවෙන පැටවුන් ගැන අපි පැය අටක් දහයක් ගතවනතුරු හොඳ සෝදිසියකින් තමයි ඉන්නෙ.
අදාළ පැටවුන්ට මව කිරි වගේම උණුසුම ලබා දෙනවද කියන කාරණා සොයා බැලීම අපි අතින් අනිවාර්යෙන්ම සිදුවෙන කටයුත්තක්. ඒ නිරීක්ෂණ කටයුතු නිසා තමයි අද මේ ඉන්න සිංහ පැටවා බේරාගැනීමට අපට හැකි වුණේ. ඉතාමත් දුර්වල තත්ත්වයේ පසුවූ මේ පැටවා වෙනුවෙන් මමත් මදූශා පෙරේරා, දිනූශා සොන්නාදර, කාශ්මිණී සුමනසේකර කියන මගේ සහෝදර වෛද්‍යරියන්ට වගේම පැටවුන් අංශයේ සේවය කරන සත්ත්ව භාරකාර මහතුන්ට විශාල වගකීමක් දරමින් කැපවීම් රාශියක් කරන්නට සිදුවුණා.
මෑත කාලයේ දෙහිවල සත්වෝද්‍යානයේ සේවය කරන හැම කෙනෙකුගේම ආදරයට අවධානයට ලක්වුණ සතෙක් තමයි සිම්බා කියන්නෙ. එයාට අවශ්‍ය කිරිපිටි අපි පිටරටින් පවා ගෙන්නුවා. දවස ගානෙ බර කිරල එයාට අවශ්‍ය කිරි ප්‍රමාණය වගේම අවශ්‍ය වේල් ගණන තීරණය කරල ඒ අනුව තමයි පෝෂණය ගැන හිතුවෙ. හැදෙන්නෙ වැඩෙන්නෙ අම්ම ළඟ නොවන නිසා ප්‍රතිශක්තිකරණය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වුණා.
අපිට පැටිය ඉන්න තැනට සපත්තු දාගෙන යන්න බෑ. එයාව අල්ලන්න ඉස්සෙල්ල අත් Sanitizer කරගන්න ඕන. කිරි පොවන සූප්පුව බෝතලය උණු වතුරෙන් තම්බල ජීවානුහරණය කරගන්න ඕන.
ඇත්තටම කිව්වොත් අපි ගෙදරක දරුවෙක් ඇතිදැඩි කරනව වගේ තමයි සත්තු වත්තෙ පැටවුන් අංශයේදී අපි පැටවෙකුට සලකන්නෙ. අද වෙනකොට කිරි වේල් ගණන අඩු කරල උදේ සහ සවස විතරක් ලබාදෙනවා. ඒ වෙනුවට ග්‍රෑම් 50 න් පටන් ගත්තු හරක් මස් කුකුළු මස් ප්‍රමාණය මේ වෙද්දි ග්‍රෑම් 650 දක්වා වැඩි කරල තියෙනවා.
සියලුම දුර්වලතා වලට අවශ්‍ය ප්‍රතිකාර වගේම ඖෂධ, විටමින් අදටත් ලබාදෙනවා. ඊට අමතරව ලබාදිය යුතු සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් පවා ලබා දීලයි මේ තත්ත්වයට අරගෙන තියෙන්නෙ.
කියන්න සතුටුයි හැම කෙනෙකුගේම උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට සිම්බා දැන් සාමාන්‍ය මවක් ගාව හැදුණු මාස පහක සිංහ පැටවකුගේ තත්ත්වයට පත්වෙලා. ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙලා. කතාබහට ලක්වෙලා. දෙහිවල සත්වෝද්‍යානයට එන දේශීය මෙන්ම විදේශීය නරඹන්නන්ගේ මෙන්ම සත්ත්ව ලෝලීන්ගේත් ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්වෙලා පුංචි දරුවෙක් වගේ බොහොම සතුටින් කල් ගෙවනවා.
ඒ දේවල් දකින අපි හැම කෙනෙකුගේම හිත් වල තියෙන්නෙත් අසනීප තත්ත්වයෙන් පසු වූ අපේ ගෙදරක දරුවෙක් සුවවෙලා නැවත ඉස්සර කරපු ක්‍රියාකාරකම් වල යෙදෙනවා දකිනකොට ඇතිවෙන තරමේ සතුටක්.
පැටවුන් රැකබලා ගැනීමේ අංශයේ සත්ත්ව බාරකරුවන් වන ඉරංග ශ්‍යාමල් වගේම ඒ. එම්. අනුරසිරිත් තමන්ගෙ දරුවෙක් වගේ හුරතල් වෙන අතරෙ සිම්බා කරන දඟකාරකම් බොහොම අනුකම්පා සහගතව ඉවසමින් මේ පුංචි පැටියට කතා කරන්නෙ හරිම ආදරෙන්.
ඇයි පුතේ දඟලන්නෙ…
මේ ඇවිල්ල ඉන්නෙ ඔයාගෙ ෆොටෝ ගන්නනෙ…
හොඳ පැටිය වගේ මේ පැත්ත බලන්න…
ඉන්න ඔයාට කිරි හදල දෙන්න…ඔන්න හැපුවොත් නම් තරහ වෙනව… හොඳ ළමය වගේ කියන දේ අහන්නකො…
කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන බොරුද මේ කැලෑවල හැදෙන වැඩෙන දරුණු ගණයේ සිංහයො ඔය කියන හුරතල් වචන වලට අවනත වෙයිද කියල. ඇත්තටම ඒ බැඳීම හරියටම දැකබලා ගන්න එ තැනට යා යුතුමයි. සිම්බා එයාව රැකබලා ගන්න ඔවුන්ට දක්වන්නෙ පුදුම ආදරයක්.
වඩා ගත්තත් ළඟින් හිටියත් සිම්බාගෙන් මේ අයට කන් දෙක බේරගන්න ලොකු සටනක් කරන්න වෙනවා. මුළින්ම හිමින් සීරුවේ කන ලෙවකන්න පටන් අරගෙන පස්සෙ ටිකක් විතර රිදෙන්න හපනවා. ඒ වෙලාවට රිදෙනව කියල කන පැත්තකට ගත්තොත් එතන එකම ගෝරනාඩුවයි. ඒ හැමදේම ආදරේ වැඩිකමට.
මේ හැමදේම දැකබලා ගන්න අතරේ අපි ඉරංග ශ්‍යාමල් එක්ක ටිකක් කතාබහ කළා…
ඇත්තටම මේ සිංහ පැටියා ගෙනාපු මුල් දවස්වල මමත් ජපුර විශ්වවිද්‍යාලෙන් පුහුණුවකට ආපු කල්පනීත් මෙයා ළඟටම වෙලා හිටියා. ඒ ඉන්න අතරෙ තමයි අපි දෙන්න කතාවෙලා යෝජනා කළේ අපි මෙයාට සිම්බා කියල නම තියමු කියල. ඒ නමින් තමයි අද මෙයාව හැමෝම හදුන්වන්නෙ. දැන් ඒ නම කිව්වම ළඟට එන තරමට එයාට නම හුරුයි. මුල් කාලෙ පශු වෛද්‍යවරු නියම කරල තිබුණා පැය එක හමාරකට වතාවක් කිරි දෙන්න. ඒ සඳහා උණු වතුර ප්‍රමාණය වගේම යොදාගන්නා කිරිපිටි ප්‍රමාණය නිවැරදිව ගත යුතුයි.
බෝතලය, සූප්පුව ජීවානුහරණය කරල බොහොම පරිස්සමින් කිරිවේල දෙන්න ඕන. රෑ තිස්සෙ නිදි වරාගෙන අපි ඒ රාජකාරිය දේවකාරියක් විදියට අදටත් කරන්නෙ මේ අහිංසක ජීවිතය බේරගන්න එක යුතුකමක් වගේම වගකීමක් නිසාමයි.
දැන් මස් වර්ග දෙන නිසා කිරි වේල් දෙකයි දවසකට ලබාදෙන්නෙ. නියමිත පරිදි වෛද්‍යවරුන් ලබාදෙන විටමින්, කැල්සියම් ටැබ්ලට්, පණු බෙහෙත් මස් වලට මිශ්‍ර කරල ලබාදෙනවා. කිරි පෙව්වට පස්සෙ ළමයෙක් වගේ උඩට වඩාගෙන ගුඩුස් අරින්න ඕන.
දවසින් බාගයක් අපේ අත්වලට වෙලා තමයි ඉන්නෙ. ඒ උණුසුමට එයා ගොඩක් ආසයි නිසා.දවසක් උදේ 10 ට විතර සිම්බට ෆිට් එක හැදිල රෑ අට විතර වෙනකම් අවසිහියෙන් වගේ හිටියෙ. ඩොක්ටර්ස්ල අවශ්‍ය ප්‍රතිකාර කරන අතරතුර අපි මාරුවෙන් මාරුවට වඩාගෙන හිටිය එයාට උණුසුම දෙන්න ඕන නිසා. රෑ අටට විතර සිම්බට සිහිය ආවට පස්සෙ තමයි අපිටත් දැනුණෙ අපි ජීවත් වෙනව කියල.
ධම්මික හේවාවසම්