කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ…
බුද්ධෝත්පාද කාලයක ජීවත් වීම භාග්‍යක්. ඒ වගේම මිනිසත් බව ලැබීමත් භාග්‍යක්. නමුත් මේ අන්දමින් මිනිසත් බව ලැබූ සෑම පුද්ගලයෙක්ම පින්වන්තයෙක් යැයි අපට කියන්න බැහැ.සමහර විට එක් එක් පුද්ගලයන් අළලා ඔබත් මේ අන්දමින් ප්‍රකාශ කර ඇති.අනේ හරිම පින්වන්ත මිනිස්සු, ඉස්සරත් පින් කරලා දැනුත් පින් කරන සමාජයේ ඇගයීමට පත් වෙන පුද්ගලයන් ඔබ අතරත් ඇති.
ඔවුන් සෑම අතින්ම සම්පූර්ණය, රූමත්ය, උගත් බුද්ධිමතුන්ය ඒ වගේම නීරෝග සම්පත්තියෙන් යුක්තය. ජීවිතය විඳීමට වඩා සැපවත්ව ගෙවති.එතැනින් නවතින්නේද නැත. මේ ආත්මයේදීත් ඔවුන් අනුන්ට කාරුණිකය. මෛත්‍රී ගුණයෙන් යුක්තය, පින් පව්, කුසල අකුසල විපාක දැනගෙන ජීවත් වන්නාහ. ඒ නිසාම මේ ආත්මභාවයේදීත් කුසල කර්ම රැස්කරති. මේ පින්වන්ත පුද්ගලයන්ගේ සැබෑ ජීවිතයයි.
අනේ මෙහෙමත් පව්කාරයෝ
ඉහතින් සඳහන් කළ පුණ්‍යවන්තයින් මෙන්ම ඉතා දුක්ඛිත ජීවිත ගත කරන පිරිසක්ද අප අතර ඇත්තාහ. ඔවුන් මිනිසත් බව ලබා ඇත්තේ නාමිකව පමණි කොටින්ම කිවහොත් ඔවුන් ගෙවන ජීවිතය තිරිසන් සතුන්ටත් වඩා දුක්ඛිතය. කන්නට, අඳින්නට දෙයක් නැත. අව්වට වැස්සට මුවා වෙන්නට තරම් හෝ නිවසක් නැත. මේ සියල්ල අතර ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා සේ රෝග, ව්‍යාධියන්ගෙන් පීඩා විඳින්නාහ.එහෙනම් අප දකින පින්වන්තයන් පෙර පින් කළ අයද?
පව් කරන්නේ පූර්ව ආත්මයන්හිදීත් පව්කම් කළ අයද?
බුදුරජාණන්වහන්සේ දේශනා කළ පරිදි අප කර්මය යෝනිය කරගෙන සිටි අපේ ජන්මය වෙනුවෙන් යහපත් මව්පියන් ලැබෙන්නේ පෙර පින් මහිමයටය. ඒ වගේම සමහර දරුවන්ට මව්පියන් යැයි කිව නොහැකි නාම මාත්‍ර දෙමව්පියන් ලැබෙති. ඒ පෙර අකුසල කර්මයන් නිසාය. ඒ වගේම පව්කාර දරුවන් ලැබෙන මව්පියන් සිටිති. ඒ අකුසල කර්ම විපාක නිසාය.
පතිරූපදේසවාසෝච
බුදුරජාණන්වහන්සේ මහා මංගල සුත්‍රයේදී වාසයට සුදුසු ප්‍රදේශයක ජීවත්වීමට ලැබීමත් උතුම් මංගල කාරණාවක් බැව් වදාළ සේක. පිනට, දහමට යොමු වීමට නම් ඊට ගැළපෙන පරිසරයක් තිබීම අවශ්‍ය වේ.
බාල කාලයේ පටන්ම මව්පියන් විසින් දරුවන් සුමගට යොමු කිරීමට නම් ඔවුන් යහපත් පරිසරයක ජීවත්වීම අත්‍යවශය සාධකයකි. මව්පියන් පමණක් නොව කළ්‍යාණ මිත්‍රයන් පවා ඇසුරට ලැබෙන්නේ යහපත් පරිසරයක ජීවත්වීම නිසාය. එක තරුණ දායක මහත්මයෙක් මට දවසක් මේ විදිහට පැවසුවා.
‘ හාමුදුරුවනේ… මාව පිනට දහමට යොමු කළේ මගේ මව්පියන් නොවේ. මම සේවයට සම්බන්ධ වුණ ආයතනයේ ප්‍රධානියා පිනට දහමට බොහොම කැමැතියි. ඔහු පින් දහම් කරද්දී ආයතනයේ සියලු දෙනාම සම්බන්ධ කර ගන්නවා. ඒ නිසාම මම පින්දහම් කිරීම නොදැනීම යොමු වුණා.’
මව්පියන්ගෙන් නොලද මග පෙන්වීම මේ තරුණයාට ලබා දුන්නේ ආයතන ප්‍රධානියා නිසා. කළ්‍යාණ මිත්‍ර ඇසුර නිසා පුද්ගලාගේ චර්යාව වෙනස් වෙන බැව් අපි දන්නවා. සත්තිගුම්බ ජාතක කතාවේදී එකම මවකගේ ගිරා පැටවුන් දෙදෙනොගේ ගති පැවැතුම් වෙනස් වුණ අන්දම ඔබ දන්නවා ඇති.
සොරමුලට වැටුණ ගිරවා ගේ ගති පැවැතුම් හා තාපස අරණට වැටුණ ගිරවාගේ ගති පැවැතුම් ප්‍රතිවිරුද්ධ ලෙසින් හැඩ ගැසුණේ පරිසරයේ බලපෑම නිසාය. මේ අන්දමින් පිනට වගේම අකුසලයට යොමු වීමටත් තමා ජීවත් වන පරිසරය මගින් ප්‍රබල බලපෑමක් සිදු වෙනවා.
පින් කරන්නා දොලොවම සතුටු වේ
අනේපිඬු සිටුතුමාගේ දියණිය සුමනා කුමරිය ජීවත්ව සිටියදී බොහෝ සෙයින් කුසලයන් කළාය. එහෙත් ඇය වයස අවුරුදු 16 දී මිය ගියාය. මරණාසන්න මොහොතේදී ඇය පියාට, පොඩි මල්ලීට ආමන්ත්‍රණය කළාය. අනේපිඬුසිටුතුමා මේ බැව්බු දුරජාණන්වහන්සේට කියා සිටි තැනදී උන්වහනසේ මේ අන්දමින් පිළිතුරු දුන් සේක.
‘මහරජ, ඔබතුමා සෝවාන් ඵලයෙහි පිහිටා සිටී එහෙත් ඔබතුමාගේ දියණිය මරණය පත් වනවිට ඇය සකෘදාගාමී ඵලයට පිවිස සිටියාය. ඒ නිසා ඇය ඔබට මල්ලී යනුවෙන් ආමන්ත්‍රණය කිරීම වරදක් නැත. ඇය මාර්ග ඵලයෙන් ඔබට වඩා ඉදිරියෙන් සිටියාය. පින් කරන්නා මෙලොවත් සතුටු වේ. පරලොවත් සතුටු වේ. තමා කරන ලද පින්කම් මෙනෙහි කරමින් දෙලොවම සතුටට පත් වේ.
ඉධ නන්දති පෙච්ච නන්දති
කනපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති
හිය්‍ය නන්දති සුගතො ගතො
( ධම්මපදය- යමක වග්ග )
අකුසල කර්මයන් කිරීම නිසා පරලොව දුගතිගාමී වීම
ඉධ සොචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ථ සොචති
සොචති සොවිඵඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ
අකුසලයෙහි යෙදෙන්නා මෙලොවත් ශෝක කරයි. පරලොවත් ශෝක කරයි.
කම්ම බන්ධු
බුදුරජාණන්වහන්සේ දේශනා කළ අන්දමට අප කර්මය ඥාතියා සේ සලකන අතර අපේ උපතේදී පටන් පෙර කරන ලද කර්ම අනුව ජීවිතය හැඩ ගැසේ. සියල්ල කර්මයට පවරා අපට නිහඬ වීමට නොහැක. කර්මයට ඉඩ නොදී උත්සාහයෙන් ජීවිතය ගොඩනගා ගත් චරිත ඇත. නමුත් පින් කිරීමට නම් ආර්ථික, කායික සහ ඊට ගැළපෙන පරිසර සාධක පැවැතීම අත්‍යවශය වේ.
මෙම පරිසර සාධක ලැබෙන විට පෙර කරන ලද කුසලා අකුසල කර්ම විපාකයන්හි බලපෑම දක්නට ලැබෙනවා. ඒ නිසා ඔබ සිතන අන්දමින් පින් කරන්නා පෙර ආත්මභාවයන්හිදීත් කුසල් කිරීමෙන් ලද පුරුද්ද මෙන්ම වාසනා ගුණය අනුව මෙලොව ජීවිතය ගොඩනගා ගෙන ඇත. යම් පුද්ගලයෙක් අකුසල කර්ම කරන්නේද භව පුරුද්දෙන් ගත් ආභාෂය නිසාය. ඔවුන් මේ ආත්මයේදීත් අකුසලයන්හි යෙදී අඳුරෙන් අඳුරට ගමන් කරන චරිත බැව් කිව යුතුය.
කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක
ධුරන්ධර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා