විහඟනාගේ ‘A’ 3 එක්ක තාත්තා හැඩූ කදුළින් කියන කතාව
ජීවිතය පැවතිය හැක්කේ ආශ්වාස ප්රාශ්වාස පවතින තෙක් පමණි. කුමන හේතුවක් නිසා හෝ එය නැවතුණ හොත් ඉන් එහාට ජීවිතය නොපවතින්නේමය. එකී ධර්මතාවයට පිටුපාන්න නොහැකි වූ ඇය ද වසර දහනවයක් තරම් වූ ඉතාමත් කෙටි කාල පරාසයක මතක සටහන් ඉතිරි කර ලොවක් හඬවා අවසන් ගමන් යන්නේ “ මරණයේ වේදනාව මිය යන්නාට නොව ජීවත් වන්නන්ටය ” යන කියමන නැවත වතාවක් සත්‍යයක් බවට පත්කරමිනි.
දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ බඩපිස්සිය වූ ඇය නමින් විහඟනා ආරියවංශය. අම්මාට තාත්තාට මෙන්ම ආදරණීය අක්කාටත් අයියාටත් කීකරු දැරියක වූ විහඟනා අධ්‍යාපන කටයුතුවලට දක්වන්නෙ සුවිශේෂී හැකියාවකි. ඒ දස්කම් නිසාම සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට තිබූ වුවමනාව නිසාම ඇය කුරුණෑගල මලියදේව බාලිකාවට ඇතුළත් වෙනවා.
වාණිජ විෂය ධාරාවෙන් පසුගිය උසස් පෙළ විභාගයට මුහුණ දුන් විහඟනා හරියටම විභාගයෙන් සතියක් ගත වෙද්දී නොසිතූ ලෙස මෙලොවින් සමු ගන්නවා. අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පැවතුණු සඳහිරු සෑයේ කටයුතු සඳහා ගඩොල් ඇදීමේ පින්කමට සහභාගි වී පැමිණි විහඟනා හදිසියේම රෝගාතුර වෙනවා.
ඊට පෙර කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත් එක්වරම හටගත් දරුණු හිසේ වේදනාවක් සහ වමනය හේතුවෙන් ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද ඇගේ රෝගී තත්ත්වය නොසිතූ ලෙස උත්සන්න වීම නිසා එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණද මොළය මියයාම නැමැති අවාසනාවන්ත තත්ත්වයට ලක්ව ලෝකයක් හඬවමින් මෙලොවින් සමුගත්තේ ඇය සතුව තිබූ නිරෝගී අවයව වැඩි ප්‍රමාණයක් තවදුරටත් ජීවිත යදිමින් සිටින පිරිසකට දන් දෙමිනි. ඒ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් පහක් පුද්ගලයින් හත් දෙනෙකුට බද්ධ කර ඇති අතර ඒ සියලු දෙනා අද වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසේ.
තමන්ට ආදරය කළ සියලුදෙනා සෝ සයුරක ගිල්වා ඇය මෙලොවින් සමුගෙන මාස හයක් ගතවන තැනෙදී ඒ දුක නැවත නැවතද හැම කෙනෙකුගේම සිත් ඉතා දරුණු ලෙස පාරන්නට සමත් වන්නේ මෙලොවින් සමු ගන්නට පෙර ඇය පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වීමත් සමඟය.
ඒ මොහොතේ ඇය සුජීවත්ව සිටියේ නම් මලියදේව බාලිකා විදුහල් මාතාව වෙත දිවගොස් තමන් හිමිකරගෙන ඇති උසස් ප්‍රතිඵල ආදරණීය අම්මාට තාත්තාට කියන්නට පැමිණියාට වඩා වේගයෙන් දිව යන බව නම් සහතිකය. ඒ කවදත් ඉගෙනුම් කටයුතුවලට මුල් තැන දුන් විහඟනාගේ උසස් පෙළ ප්‍රතිඵලය A තුනක් වූ බැවිනි.
දුකට පත් කෙනෙකුගේ හිත සුවපත් කරනු වෙනුවට තව තවත් එයින් සිත පෑරීම වරදක් බව දන්නමුත් මේ මොහොතේ අපි විහඟනාගේ ආදරණීය පියාණන් වන උපුල් ආරියසිංහ මහතා සමඟ ඒ ගැන කතාබහ කළා. හිතේ ඇතිවූ දැඩි සංවේදී බව යටපත් කරගනිමින් හැඟුම්බරව ඔහු තම ආදරණීය දියණියගේ ප්‍රතිඵල ගැන මෙසේ පැවසුවා…
මගේ රත්තරන් කෙල්ල නැතිවෙලා මාස හයක් ගත වුණා කවුරු කොහොම කිව්වත් හිත හදාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. අද හිටියනම් මේ ගේ දෙවනක් කරයි ලබාගත් ජයග්‍රහණයේ සතුටට. දුව විභාගය පාස් වෙනවා කියන එක ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුණා. හැම වෙලාවකම කිව්වෙ මට පාස් වෙන්න ඕන හැම
විභාගයක්ම පාස් කරල බැංකුවක රස්සාවක් කරනවා. ගන්න පඩියෙන් අම්මවයි තාත්තවයි හොඳින් බලා ගන්නව කියලයි. අනේ ඒ වචන අදටත් අපේ කන් ඇතුළෙ දෝංකාර දෙනවා. මගේ චූටි මැණික කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති.
අනේ ඒ වාසනාව එයාට වගේම අපටත් නැති වුණා. අපේ ලොකු දුව තමයි විභාග අංකයට අනුව පොඩි දුවගේ විභාග ප්‍රතිඵල බලලා ඒ ගැන අපට කිව්වේ. හැම වෙලාවකම මැවිල පේනවා දුව හිටියනම් තාත්තේ මම පාස් කියල එයා මා ගාවට දුවගෙන ඇවිත් කියන හැටි. ඒ වෙලාවට එයාව ආදරයෙන් වැළඳගන්න මමත් එයාගේ අම්මත් හීන මැව්වා.
මොනව කරන්නද අපිට ඒකට හිමිකමක් නැතුව ඇති. දුවට උගන්නපු දුවගෙ දක්ෂතා දන්න ගුරුවරු අපට කතා කළා. සමහර යාළුවෝ අපිව සනසන්න ගෙදරට ආවා. ඒත් අපි කොහොමද මලියදේව බාලිකාව පැත්තට යන්නේ ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ.
දුව අපිට බලාපොරොත්තු දුන්නා මම ඉහළින්ම සමත් වෙනවා කියල අපිත් එයාගේ හිතේ බලාපොරොත්තු ඇති කළා ඔව් ඔයාට පාස් වෙන්න පුළුවන් කියල. ඔය ප්‍රතිඵලය ගන්න දුව ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල ගැන අද හැමෝම කතාබහ කරනවා. එකම අඩුව ඒ සතුට විඳින්න අපේ දුව අපි අතර නැති එක. මොනව කරන්නද මේක අපේ ලැබීම. අනිත් දරුවො දෙන්නගෙන් පුතා පෞද්ගලික ආයතනයක සේවය කරනවා.
ලොකු දුව වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. අමාරුවෙන් හරි හිත හදාගෙන ඒ දරුවො දෙන්නගේ අනාගතය සාර්ථක කරන එක තමයි දැන් අපේ යුතුකම. මගේ චූටි මැණික ගොඩක් පිං රුස්කර ගත්තා.අපි කරන හැම පිනක්ම අනුමෝදන් වෙලා නිවනින් සැනසෙන්නේ කියල ප්‍රාර්ථනා කරනවා.
ධම්මික හේවාවසම්