පරම්පරාවෙන් ඇතිවෙන්න පුළුවන්
පත්තර කලාව කියන්නේ වෙනම දෙයක්. මේක ඇතුළාන්තයේ යාන්ත්‍රණය නොදන්නා කෙනෙකුට තියෙන වගකීම, බැරෑරුම්කම වටහා ගන්න අමාරුයි. අපේ මොන පුද්ගලික වැඩ තිබුණත් ඒවා අදාළ නැහැ. නිත්‍ය විශේෂාංගයක් කරනවා නම්, සතිපතා පළවෙන, කර්තෘවරයා නියම කරන දිනයට ලබාදිය යුතුයි. මොකද දන්නවද හිස් පිටු යවන්න බැහැ වගේම පත්‍රය වෙළෙඳපොළට නිකුත් කිරීම දවසක්වත් පමා කරන්න බැහැ. හැබැයි ඉතින් පත්තරේ වෙළෙඳපොළට නිකුත් වෙලා පාඨක ප්‍රතිචාර ලැබෙන කොට පුදුමාකාර සතුටක් හිතට දැනෙනනවා.
ආයෙමත් පත්තර කලාවට යොමුවීම සම්බන්ධයෙන් සුබපැතුම් ගලාගෙන එනවා. එක කෙටි පණිවුඩයක තිබුණා…. ඔයාලා ගොඩක් වාසනාවන්තයි. ඇයි දන්නවද? කවදාවත් දැකලා නැතත්, ලියන දේවල් නිසා ගොඩ දෙනෙක් ඔයාලට ආදරය කරනවනෙ.මේ ලිපි පෙළට කරුණු ලබාගන්න හොරිවිල ගිහින් දින පහක් විතර නැවතිලා හිටියා.
ඒ දවසක හැන්දෑ වෙලා තේ බොන අතරේ වෙද ගෙදර සේවය කරන නුවන් ඇවිත් කිව්වා බෙහෙත් ගන්න ලෙඩෙක් ඇවිත් ඉන්නවා කියලා. දවස පුරාම ලෙඩුන් බලලා තෙහෙට්ටුවෙන් හිටියත් වෙද මහතා ලෙඩා බලන්න ගියා. ඒ එක්කම මමත් ගියා රෝගීන් පරීක්‍ෂා කරන ස්ථානයට. අතදරුවෙක් වඩාගත්තු තරුණ අම්මා කෙනෙක් වෙද මහත්තයා ඉදිරිපිට වාඩී වෙලා. අවුරුද්දක් විතර ඇති බබාගෙ වයස…. අම්මා අඬ අඬා විස්තරය කියනවා. තාත්තාගෙ ඇස් දෙකෙත් කඳුළු.
“අනේ වෙදමහත්තයා. අපේ දරුවට හැදිලා තියෙන්නේ අමුතුම ලෙඩක්. දොස්තර මහත්තුරු කියන්නෙ දරුවගෙ අස්ථි ශක්තිමත් නැහැ කියලා. ඒක උත්පත්තියෙන්ම එන එකක්ලු. අද උදේ වැටිලා අත කැඩුණා. ප්ලාස්ටරේ දාන්න බය හින්දයි වෙද මහත්තයාව හොයාගෙන ආවේ. දොස්තර මහත්තයා කිව්වා දිගටම ඉන්ජෙක්ෂන් ගහන්න වෙනවා කියලා. එහෙම කළත් හොඳටම හරියන එක විශ්වාස නැතිලු. ලොකුවට වියදම් කරන්න සල්ලිත් නැහැ අපිට.”
ඒ කතාවටයි මවුපියන්ගේ කඳුළුයි, පුංචි පැටියගෙ මුහුණේ තියෙන වේදනාවයි දැක්කාම හිත කීරි ගැහිලා ගියා.
“අතට බෙහෙත් ටික බැඳගෙන යන්න. තව දෙතුන් වතාවක් එක්කන් එන්න වෙයි.”
“අස්ථි දුර්වලතාවයට මොකද කරන්නේ
වෙද මහත්තයා. සිංහල වෙදකමෙන් සනීප කරන්න පුළුවන්ද?”
තාත්තා ඇහැව්වේ හරිම අසරණ විදිහට.
“මෙහෙමයි පුතා…. මේක හරිම දුර්ලභ ලෙඩක්. කලාතුරකින් තමයි රෝගියෙක් හමුවෙන්නෙ. මට වුණත් සීයට හැත්තෑවක් – හැත්තෑපහක් මට්ටමමකට තමයි ගොඩදාන්න පුළුවන් වෙන්නේ. එක කරන්න පටන් ගන්නත් දරුවට වයස අවුරුදු එක හමාරක්වත් පහුවෙන්න ඕනෙ. කොහොම වුණත් දරුවට දැනුම් තේරුම් ගන්න පුළුවන් වයසකට එනකම් ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න වෙනවා. අන්න ඒ කාරණාව හොඳටම ධාරණය කරගන්න. දෙන්නගෙන් කාගෙ හරි ඇස් මානෙන් දරුවා ඈත් කරන්න එපා”
මවුපියො දෙන්නා වෙද මහත්තයාට වැඳලා පිටත් වෙන්න සූදානම් වුණා. එයාලා මුදලකුත් එක්ක තියාපු බුලත් අත අරගෙන ඒ මත තිබුණු මුදල් නෝට්ටුව ආපහු දීලා කියනවා,
“සල්ලි ඕනෙ තමයි. අද කාලෙ බොහොමයක් බෙහෙත් ජාති ඉන්දියාවෙන් ගෙන්වන්නේ. මේ ඩොලර් ප්‍රශ්නෙ නිසා මිල දෙතුන් ගුණයකින් වැඩි වෙලා. බෙහෙත් හොයාගන්න පුළුවන් ඒවටත් රටපුරා ඇවිදින්න වෙලා. කැලෑ විනාස කරලා. මිල කරන්න බැරි වටිනා ඖෂධ ශාක දරට, ලී දඬු, ලෑලිවලට විකුණලා. මම දැන් අවුරුදු විස්සක් තිස්සේ රජයෙන් ඉඩමක් ඉල්ලනවා. ඔසු උයනක් හදන්න. කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ කාලෙම ලැබුණා නම් අද විස්සක මහ ගස් වැවිලා. විදේශිකයන්ට අක්කර දාස් ගණන් දෙනවා කුණු කොල්ලෙට. එයාලා බිල්ඩින් ගහන්න ඒවායෙ තියෙන ගහකොළ විනාශ කරලා කොන්ක්‍රීට් වනාන්තර හදනවා.
කාටද මේවා කියන්නෙ. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙකටම අක්කර විස්ස ගානෙවත් ඔසු උයන් හැදුවේ නැත්නම් තව අවුරුදු පහළොවකින් විතර මේ වෙදකම නවත්වන්න වේවි.” රෝගීන් පරීක්‍ෂා කරලා ඉවරවෙලා මම පොඩි එකාගේ ආබාධය ගැන විමසීමක් කළා.
වෙද මහත්තයා, මොකක්ද ඒ දරුවාට තිබුණු දුර්ලභ රෝගය?
බටහිර වෙදකමේ මේ ආබාධය හඳුන්වන්නේ ඔස්ටියෝ ජෙනෝසිස් ඉන්ෆොසෙක්ටා කියලා. අපේ හෙළ වෙදකමේ එහෙම නිශ්චිත කමක් නැහැ. අස්ථි දුර්වලතාවය තමයි කියන්න වෙන්නේ.
මොනවද රෝග ලක්‍ෂණ?
අස්ථි හිතාගන්න බැරි තරමට දුර්වලයි. අස්ථි බිඳීමකට ලක්වෙන්න සුළු තෙරපුමක් වුණත් ප්‍රමාණවත්. ඒක වෙනත් කෙනෙකුට හිතාගන්න බැරි තරම් පුංචි සිදුවීමක්. නමුත් අස්ථි බිඳෙනවා. බොහොමයක් වෙලාවට මවුපියන් වුණත් සැලකිලිමත් වෙන්නේ දරුවා අත හෝ බය හොල්ලන්නේ නැතිව අඬද්දී. නිකමට හිතන්න අපේ මහත්තයා තුනටිය සමීපයේ උකුළු අස්ථිය බිඳීමට ලක්වුණොත් මොන තම් බරපතළයිද කියලා. අස්ථි බිඳීම් නිතර නිතර සිදුවෙන්න ගියොත් මොන තරම් වදයක්ද දරුවට. කායිකව මෙන්ම මානසිකවත්. දුවන පනින අනිත් ළමයි එක්ක එකතුවෙන්න බැරුව එක තැනකට වෙලා ඉන්න එක මොන තම් මානසික පීඩාවක් ද?
මේ රෝගයේ නරකම, අවාසනාවන්තම දෙයක් තියෙනවා. ඒ තමයි ටික කාලයක් යද්දී මවුපියන්ට පවා සාමාන්‍ය දෙයක් බවට පත්වීම. ගණන් නොගන්නා තත්ත්වයකට පත්වෙනවා. අන්න ඒ තත්ත්වයට නම් පත්වෙන්න එපා කියලා, වැඩිහිටියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි. අපේ වුවමනාවට හදාගත්තු දරුවො වෙනුවෙන් අපි කැපවෙන්නම වෙනවා.
මේ ආබාධයට හේතුව මොකක්ද?
පරම්පරාවෙන් ඇති වෙන්න ඉඩ තියෙනවා. නොදන්නා තරම් ඉහත පරපුරේ ලේ ඥාතියෙකුට තිබුණ වෙන්න පුලුවන්. භ්‍රෑණයා ගර්භාෂයේ ඉද්දි අම්මා ගත්තු අහිතකර ආහාර පාන නිසා වෙන්නත් ඉඩක් තියෙනවා. පෙර සංසාරේ කර්ම විපාකයක් කියලයි මට මුලින්ම හිතට එන්නේ.
අර කිව්ව ඉන්ජෙක්ෂන් කෝස් එක සාර්ථක නැද්ද?
මම කිව්වනේ… අපිට වුණත් සාර්ථක වෙන්න පුළුවන් ප්‍රමාණය. ඒ මට්ටමට එන්නත් අවුරුද්දක්වත් නොකඩවා ප්‍රතිකාර කරන්න වෙනවා. ඒ වෙලත් බරවැඩ, දුවන, පනනි ඒවා, කලබලේට, හදිස්සියකට වුණත් දුවගෙන යන එක, ලිස්සා වැටීමේ අවදානම තියෙන තැන් මඟහරින එක එහෙම ජීවිත කාලෙටම නොකර ඉන්න එක තමයි හොඳ.
වෛද්‍යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර