අපි Ex කියලා කියන්නෙ හිටපු පෙම්වතාට හෝ පෙම්වතියටනෙ. හැබැයි හිටපු කෙනා ආයේ ජීවිතේට මුනගැහෙන එකක් නෑ කියල අපිට කොහොමවත් හිතන්න බෑ. එහෙම සම්භාවිතාවක් තියෙනවා වගේම එහෙම අත්දැකීම් ඕන තරම් මිනිස්සුන්ට තියෙනවා. ලංකාවෙනම් කොහොමද දන්නෑ. නමුත් පිට රටවලනම් තමන්ගෙ Ex ආයෙ පාරක් හම්බවෙන්න දින වෙන්කර ගන්න අයත් ඉන්නවා. එයාලා නැවත වතාවක් හමුවෙලා කෝපි කෝප්පයක් බොනගමන් ආගිය තොරතුරු කතා කරනවා. කොහෙහරි ඇවිදින්න යනවා. නමුත් අපේ රටේ Ex ව හම්බවුණොත් මොනවා වෙයිද? කියලා විශේෂයෙන්ම හිතන්න ගන්නවා.
ගොඩක් අය Exලා ගැන තරහක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් කරේ තියාගෙන තමයි යන්නේ. කලාතුරකින් තමයි මේ දේවල් වෙනුවට විරහවේදීත් ආදරයම විතරක් අරගෙන යන කෙනෙක් හම්බවෙන්නේ. ආදරය කියන දේ හරි විදිහට නිර්වචනය කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. හුණුවටයේ කතාවේ ආදරේ තිබුණේ අත්හැරීම තුළ. අතහැරියොත් විතරයි දරුවා වේදනාවෙන් මිදෙන්නෙ. තමන්ටම නතු කරගැනීම ප්‍රේමය නෙවෙයි. එතනින් එහාට ගියාම අනිත් මනුස්සයාගේ සුභ පැතීමක් එක්ක ආදරෙන් සමුගන්න මිනිස්සු හරි අඩුයි. ගොඩක් ඉන්නේ ඔය වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පැකේජ් පිටින් අරන් යන අය.
අපි ලංකාවේ විරහ ගීත අහුරක් අහඹු ලෙස තෝරගත්තොත් ඒ අතරේ ‘හන්තානට පායන සඳ’ වගේ ගීතයක් ඇරුණුකොට ගොඩක් ගීතවල තියෙන්නේ තමන්ට වෙච්ච අගතිය ගැන මිසක් අනිත් කෙනාට වෙච්ච සුබසිද්ධිය ගැන නෙවෙයි. ආදරේ කියන්නෙ තමන්ටම අයිති කර ගැනීමක් කියලා අපි අර්ථ නිරූපණය කරගන්න තැනම ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවනෙ ආදරය සහ වෛරය අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.
ඒ මොකද ආදරය තියෙන තැනක වෛරයක් කොහෙත්ම තියෙන්න විදිහක් නෑ. ආදරයක් නම් එතන තියෙන්න ඕන ආදරයම විතරයි. ආදරය වෛරයකට පෙරළෙනවනම් එතන තිබිලා තියෙන්නෙ ආදරයක් නෙවෙයි නතු කර ගැනීමක්.
ආදරයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට සමාන නම් ඇයි Exලා ආයෙ ආයෙ මුණගැහෙන්නෙ? ඇයි මුණගැහිලා කෑමකට එළියට යන්නේ? පාරෙදි දැක්කම හිනා වෙන්නෙ? එහෙම අය ගාව ප්‍රේමය ඇතුළේ නතු කරගැනීම කියන පටු චින්තනය තිබිලා නෑ.
මට මේ මාතෘකාව ගැන කතා කරද්දි හොඳ කතාවක් මතක් වෙනවා. මම ඉගෙනගත්තේ පේරාදෙණිය සරසවියේ. පේරාදෙණිය සරසවිය කියන්නේ ප්‍රේමයත් එක්කම තියෙන තැනක්නේ. අපි කැම්පස් එකෙන් අවුට් වුණත් අවුරුද්දකට සැරයක් යාළුවෝ ටික හම්බෙනවා. මං දන්න දෙන්නෙක් ඉන්නවා කැම්පස් කාලේ ආදරේ කරලා පස්සේ වෙන් වුණ. නමුත් ඒ දෙන්නා අවුරුද්දක් පාසා ගෙට් ටුගෙදර් එකේදි හම්බෙනවා. ඒ එයාලගෙ සහකරු, සහකාරිය සහ ළමයි එක්ක.
ඉතින් එයාලා එකට කනවා, බොනවා හිනා වෙනවා, එකට සුබපතා ගන්නවා. ඉතින් මේ එක කතාවක් විතරයි. මේ වගේ වෙන් වෙලා ගියත් හිතේ කිසි කහටක් නැතුව ආයේ ආයේ මුණ ගැහිලා කතා කරලා හිනා වෙන්න පුළුවන් Exලා ලංකාවේ තව ඇති. එහෙම Exලා හම්බෙන එක වාසනාවක්. හැබැයි අවාසනාවකට වැඩිපුරම අපි දකින්නේ ‘මට නැත්තං උඹටත් එපා’ මානසිකත්වයේ ඉන්න අය.
අපි ඕනතරම් අහල තියෙනවා තමන් යාළු වෙලා හිටපු කොල්ලා කෙල්ල දාල ගියාම “අනේ හොඳක්නම් සිද්ධ වෙන්න එපා” කියල සාප කරනවා. ඒත් ඇත්තටම ආදරේ කළානම් එහෙම හිතන්නවත් පුළුවන්ද? බෑ. ආදරය කොන්දේසි විරහිත විය යුතුයි.
වේදනාවක් කේන්තියක් හිත් ඇතුළෙ තියාගෙනනම් වෙන් වෙලා යන්නෙ නැවත අහම්බෙන් හෝ මුණගැසීම ඔවුන්ට වේදනාකාරී වෙන්න පුළුවන්. ඒත් ඔයාට පුළුවන්නම් වේදනාකාර මතකයන් තිබුණත් පස්සෙ කාලෙක Ex එක්ක හොඳට හිනාවෙලා කතා කරන්න ඔයා ඒ පරීක්ෂණයෙන් සමත් වෙනවා.
මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා